හොර නළුවගේ බලූ වැඬේ – අබ්ලික් Story

598

මේ දිනවල විකාශනය වන බොහොම ජනපි‍්‍රය ටෙලිනාට්‍යයක තිරකථා රචකයාට මීට මාස කීපයකට උඩදී රටේ බොහොම ප‍්‍රසිද්ධ හිමිනමකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා.

මහත්තයො ඔයා ලියන ටෙලිනාට්‍ය අපි හැමදාම බලනවා. ඒක දැන් රටේ ජනපි‍්‍රය නාට්‍යයක් වෙලා. මහත්තය කොහොමත් ලස්සන කථා ලියන්න දක්‍ෂයිනෙ…

ප‍්‍රසිද්ධ හිමිනම නාට්‍යයේ තිරකථා රචකයා මහ ඉහළින් වර්ණනා කළා.

මහත්තයො මගෙ අක්කගෙ කොලූවා රඟපාන්න පුදුම ආසාවකින් ඉන්නෙ. ඌට ඔය මහත්තය ලියන නාට්‍යයේ චරිතයක් ඕනෙලූ. හැමදාම මට කන්කෙඳිරි ගානවා. මහත්තයට පුළුවන්නම් ඌට පොඩි අවස්ථාවක් දෙන්න.

ප‍්‍රසිද්ධ හිමිනම කිව්වා. ටෙලිනාට්‍යයේ තිරකථා රචකයාටත් හාමුදුරුවන්ගේ කීම අහක දාන්න බැහැනේ. ඒ තරම් ප‍්‍රසිද්ධ හිමිනමක් නිසා වැඬේ භාරගන්න දවස් දෙකතුනකට පස්සෙ ලොකු හාමුදුරුවන්ගෙ අක්කගෙ පුතා ආවා තිරකථා රචකයා හම්බවෙන්න.

මහත්තයො මං ගැන තමයි ලොකු හාමුදුරුවො අර කථා කරලා කිව්වෙ.

මැදිවියේ තට්ටේ පෑදුණු පුද්ගලයා බොහොම  ගරුසරු ඇතිව තිරකථා රචකයාට කිව්වා.

එදා ඉදලා ලොකු හාමුදුරුවන්ගෙ අක්කගෙ පුතා ටෙලි නාට්‍යයේ රඟපානවා. ලොකු හාමුදුරුවොත් දවස් දෙකතුනකට සැරයක් අපේ තිරකථා රචක මහත්තයට කෝල් දෙනවා.

මහත්තයා ඕනෙම උදව්වක් මගෙන් ඉල්ලන්න. මට මේ රටේ කරන්න බැරි දෙයක් නැහැ. මං වෙලාවක අපේ කොල්ලත් එක්ක එන්නම් ෂූටින් බලන්න. මාත් ආසයි ඕකෙ ෂූටින් කරනවා බලන්න.

ලොකු හාමුදුරුවො නාට්‍ය ගැන කෙළවරක් නැතිව වර්ණනා කරනවා. අපේ තිරකථා රචකයත් දැන් හැමදාම වගේ ලොකු හාමුදුරුවන්ගේ අක්කගෙ පුතාට තැන දෙනවා. හැමදාම නාට්‍යයේ කොටසක මේ මනුස්සය ඉන්නවා.

ටික දවසක් යද්දී නාට්‍ය රූපගත කරන කාර්ය මණ්ඩලයෙන් මේ මනුස්සයට විරුද්ධව පැමිණිලි එන්න ගත්තා.

ඌ මෙලෝරහක් නැති එකෙක්. අනුන්ගේ දේවල් හොයනවා. ඕපදූප කියවනවා. කිසිම වැදගත්කමක් නැති මිනිහෙක්. කාගෙන් පැමිණිලි ආවත් මේ මිනිහාව නාට්‍යයෙන් අයින් කරන්න බැහැ. ලොකු හාමුදුරුවො නිතරම මිනිහා ගැන කථා කරනවා. වර්ණනා කරනවා. තිරකථා රචක මහත්තයා දැන් අසරණ වෙලා. එයා දස අතේ කල්පනා කරනව මොනවද කරන්නේ කියලා.

ඒ අස්සේ ලොකු හාදුරුවො ෂූටින් බලන්න එන්න අහනවා. පන්සල පැත්තෙ ඇවිත් යන්න එන්න කියලා ආරාධනා කරනවා.

මේ නාට්‍යයෙ පන්සලට සම්බන්ධ දර්ශනත් රූපගත කෙරෙනවා. ඉතිං තිරකථා රචකතුමා නොදන්න සමහර දේවල් පවා ලොකු හාමුදුරුවන්ගෙන් අහගෙන නිරාකරණය කර ගන්නවා.

දැන් මෙච්චර සමීපවෙලා ඉන්න ලොකු හාමුදුරුවන්ට කොහොමද කියන්නෙ එයාගෙ අක්කගෙ පුතා මෙලෝ රහක් නැති එකෙක් කියලා.

තිරකථා රචකතුමාට මොකුත් කර ගන්න බැරිවුණාම නාට්‍ය රූපගත කරන කණ්ඩායම ඇරියෙ නැහැ. ඒ අය මේ ලොකු හාමුදුරුවන්ගෙ අක්කගෙ පුතා ගැන ක්‍ෂෘ පාරක් දාලා තොරතුරු හොයන්න ගත්තා.

ටික දවසක් යද්දී නාට්‍යයේ කාර්ය මණ්ඩලය හැම දෙයක්ම හොයාගත්තා.

මාස ගාණක් තිස්සේ අපේ තිරකථා රචකතුමාට ලොකු හාමුදුරුවො කියලා කථා කරලා තියෙන්නෙ ඒ මනුස්සයමයි. මිනිහට රඟපාන්න ඕනෙ නිසා ලොකු හාමුදුරුවන්ගෙ නම විකුණලා තමයි ඒ චරිතය ඉල්ලගෙන තියෙන්නෙ.

මාස ගාණක් තිස්සේ ලොකු හාමුදුරුවෝ විදිහට රෑට රෑට කථා කරලා තියෙන්නෙ හාමුදුරුවන්ගෙ අක්කගෙ පුතා කිව්ව මනුස්සයමයි.

මේක දැනගත්ත දාට පසුවදා ඉඳලා නළුවා අතුරුදන්. තිරකථා රචකතුමාටත් කර කියාගන්න දෙයක් නෑ වෙච්ච දේට.

මධ්‍යම පළාතේ බොහොම ප‍්‍රසිද්ධ පන්සලක ලොකු හාමුදුරුවන්ගෙ නම විකුණලා මේ මනුස්සයා කරපු මහා වංචාව ගැන පොලිසියට පැමිණිලි කරන්න කියලා නාට්‍යය රූපගත කිරීම්වලට සම්බන්ධ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නෙ.

රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment