ඵල ඇති රුකටලු ගල් ගහන්නෙ

350

කනට ඇසෙන ඇහැට ගැටෙන සියල්ලම සැබවින් ම ප්‍රකෘතිය ද? මනසින් උසස් බැවින් මිනිසුන් වූ කොයිකවුරුත් සමාජය තුළ රඟ දක්වන ඔවුනොවුන්ගේ භූමිකාව කෙතරම් නම් ඔවුනට උචිත ද යන්න යළි යළිත් සිතා බැලිය යුතුය.

පවුල, රැකියා ස්ථානය හෝ අප නිරන්තරයෙන් පිවිසෙන සමාජය තුළ හමුවන, ගැටෙන පිරිස විවිධ ය. විසම්මුතික ය. එනිසා ම එක අන්තයක සිට අනෙක් අන්තයෙහි සත්‍යවාදීත්වය හෝ ගුණ දොස් ඒ ඒ පුද්ගල දෘෂ්ඨි කෝණයෙන් විනිශ්චය කිරීම කිසිවිටකත් ප්‍රායෝගික වන්නේ නැත. නමුත් එදා සිට අද දක්වා මානව සමාජය කෙතරම් භෞතිකව ඉදිරිගාමී වුවද මානසික වශයෙන් අතිශය පසුගාමී අදහස් මතවාද දැරීම සමාජයේ අඛණ්ඩතාවට සහ පැවැත්ම ට අහිතකර ලෙස බලපා ඇත.

හොඳ හෝ නරක, කලු හෝ සුදු වැනි දේ එකිනෙකට සාපේක්ෂ ය. මානව සමාජ ප්‍රපංචය කිසි විටෙකත් සර්ව සම්පූර්ණ වූවක් නොවේ. එනිසා ම එහි ගතික බව නිරන්තරයෙන් රඳා පවතී. සමාජයීය පැතිකඩ තුළින් බොහෝ අවස්ථා තුළ අප ගනු ලබන නිගමන පුද්ගල සන්තානගත හෝ අනුමානඥානයෙන් කල්පිතව ගොඩනඟා ගන්නා ලද්දකි. එනිසාම එම නිගමන වල තාර්කික බවක් හෝ සත්‍ය අසත්‍යතාවයේ මැන බැලීමක් සිදු නොවේ. නමුත් විද්‍යාත්මක ක්‍රමවේදය පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමන තුළින් අවසානය ප්‍රත්‍යක්ෂ කර ගනු ලබයි.

මෙකී ස්වභාවය තේරුම්ගත යුත්තේ පවුලක, රැකියා ස්ථානයක හෝ පොදු සමාජය තුළ එකිනෙකාගේ ප්‍රතිරූපය, ගරුත්වය වැනි ප්‍රමුඛ සාධක විනාශ කර දමන ඇතැම් පීඩාකාරී මානසික තත්ත්වයන්ගෙන් යුතු පිරිස් තුළින් එල්ල වන නින්දා සහගත ප්‍රකාශයන් හේතුවෙනි. පවුලක වුවද පවුලේ දියුණුව උදෙසා ඇප කැපවී ක්‍රියා කරන පුද්ගලයා, කිසියම් ආයතනයක වුවද ජනප්‍රියත්වය පසෙකලා සිය වගකීම ඉටු කරන පුද්ගලයන් ද සමාජයක සමාජ සේවය උපරිමයෙන් සිදු කරන පුද්ගලයන් ද නිරන්තරයෙන් විවේචනයට භාජන වන්නේ ඔහු හෝ ඇය තුළ තිබෙන දුර්වලතාවයක් නිසා ම නොව, ඔහුගේ හෝ ඇයගේ මට්ටමින් එම කාර්ය කොටස ඉටු කළ නොහැකි, තම වගකීම පැහැර හැර ප්‍රතිරූප පමණක් පෝෂණය කර ගැනීමට උත්සාහ දරන මෙන්ම ඇඳුම, පෙනුම සහ ඇතැම් පුද්ගල ඇගයීම් කෙරෙහි වන නොසතුට, පුද්ගලික පළිගැනීම් මානසිකව රඳවා ගත්තවුන් නිසාවෙනි.

ඇසට ගෝචර වන සෑම දර්ශනයක් ම තම මතය අනුව සංස්කරණය කර ගන්නට මානව සමාජය අතිශය කැමැත්තක් දක්වයි. මෙනිසා ම විනාශ වන පුද්ගල ප්‍රතිරූපයන් පිළිබඳ එම මතවාද සකසන්නන්ට තැකීමක් නොමැත. එනිසා තම මනෝලෝකය සමාජ ගත කරන්නේ ළිඳ ළඟ සංගමයේ සමාජිකාවන් පරිද්දෙනි. එය ඔවුන්ගේ මානසිකත්වය යැයි සිතා නිහඬවිය නොහැක්කේ එම එක් වචනයක් පුද්ගල ජීවිතයක් විනාශ කරන මට්ටමට පත් විය හැකි නිසා ය. තුන්වන ලෝකයේ රටවල් තුළ බහුලව දැකිය හැකි මෙම තත්ත්වය සබුද්ධික ප්‍රජාවක් ගොඩනැඟීමට ප්‍රබල බාධාවකි. ඇතැම්විට දුර්මතධාරීන්ගේ ක්‍රියා කලාපයන් නිසා පවුලට, රැකියා ස්ථානයට පමණක් නොව සමාජයට ද බොහෝ අවස්ථාවන්වල හොඳම සහ දක්ෂතම පුද්ගලයා මඟහැරී යයි.

මෙම තත්ත්වය යම් පමණක හෝ මඟහැර ගැනීමට නම් ඕනෑම තැනක සිටින එකිනෙකා පිළිබඳ මනා අවබෝධයක්, සබුද්ධික බවක් ගොඩනඟා ගැනීමත් පාර්ශ්ව දෙකට ම ජය අත්පත් කරගත හැකි ජය . ජය මට්ටමකට ගමන් කිරීමත් කළ යුතු ය. එපමණක් නොව බොහෝ දෙනා තේරුම් නොගන්නා තත්ත්වය නම් කෙනෙකු මානසික වශයෙන් කෙතරම් පීඩනයක සිටිනවාද යන්න අවබෝධ කර ගැනීමට උත්සාහ නොකිරීම යි. මෙම තත්ත්වය හේතුවෙන් අනවශ්‍ය පීඩනයක් ආතතියක් අනෙකා මත පටවා තම අරමුණු අභිලාෂයන් ඉෂ්ට කර ගැනීමට කටයුතු කිරීම තුළ සහ පමණ ඉක්මවා වගකීම් පැවරීම තුළ ද කෙතරම් සාර්ථක පුද්ගලයෙකු වුවද එය කළමනාකරණය කර ගැනීමේ යම් පීඩනයකට මුහුණ දේ. එය පසුබිම් කර ගනිමින් ප්‍රතිරූප විනාශ කිරීම හෝ මානසික වශයෙන් පීඩනයකට ලක් කිරීම සබුද්ධික සමාජ ප්‍රපංචයක ඉදිරිපෝෂණයට උචිත නොවන්නකි.

මෙවැනි තත්ත්වයන් අප තේරුම් ගත යුත්තේ සැමවිට ම මමත්වයකින් යුක්තව ය. වචනයෙන් කෙතරම් හරඹ කළ හැකි වුවත් ක්‍රියාව සැම විටම ප්‍රායෝගිකත්වය මත පිහිටන්නකි. යමක් කළ හැකි බව වචන කරන තරමට එහි ප්‍රායෝගිකත්වය කෙතරම් සාපේක්ෂදැයි සාධාරණීකරණය කළ හැක්කේ සැම විටම ප්‍රායෝගිකත්වයට සජීවීව මුහුණ දෙන පුද්ගලයා පමණි. ක්‍රීඩා ලෝලීන් ප්‍රේක්ෂකාගාරයේ සිට කෙතරම් සතුටුවන්නට උත්සාහ දැරුව ද සෑම පන්දුවකම පහරක ම පීඩනය සැබෑ ලෙස ම අත්දකින්නේ අත්විඳින්නේ ක්‍රීඩකයා ම පමණි.

එනිසාම සබුද්ධික සමාජයක සමාජ පුරවැසියන්ගේ පුද්ගල ප්‍රතිරූපය විනාශ කිරීම ඵල ඇති රුකට ගල් ගැසීමක් හා සමාන ය. මනසින් උසස් මිනිසුන් ලෙස සමාජයේ ඕනෑම තත්ත්වයක් තුළ වචන නිසි තැන පිහිටා භාවිතය අතිශය වැදගත් ය. එයට හේතුව අප මුවින් පිට කරන එක් වචනයක් හෝ යළි ඇතුන් ලවා හෝ ආපසු ඇද්දවිය නොහැකි නිසා ය. දකින දෙය, පෙනෙන දෙය විචාරාත්මකව තාර්කිකව දකින්නටත් එහි ගත යුතු දේ තමන්ට තිබේ නම් පමණක් ගෙන නොගත යුතු නොවැදගත් දේ එම මොහොතේ ම බැහැර කිරීමටත් ඇසෙන දේ වුවද තේරුම් ගෙන එය ඇගයීමකට ලක් කර සුදුසුතම ප්‍රතික්‍රියාව දැක්වීමත් මානව සමාජයෙන් උන්නතියට පාලමක් බවට පත් කර ගැනීම ඔබෙත් මගෙත් යුතුකම වන්නේ ය.

බී. ආර්. සමීර සඳරුවන්
කොළඹ විශ්වවිද්‍යාලය
[email protected]
සංස්කරණය . වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment