කෙහෙළිය ඇතුළු හතම යළි රිමාන්ඩ් උසාවි නාවේ බොරු ලෙඩ අරගෙන

580

විශේෂඥ වාර්තාව ඉදිරිපත් කරමින් නීතිපති අධිකරණයට කියයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය අරඹුක්වැල්ල මහතා 14 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (29 දා) නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු හය දෙනාද එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය රෝගී තත්ත්වයන් පිළිබඳ ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පෙර දින අධිකරණය හමුවේ පෙනී සිටීම මඟ හැර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊයේ (29දා) අධිකරණයට පැවසුවාය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීම පිළිබඳ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කැඳ වූ අවස්ථාවේදී ඇය මෙසේ ප්‍රකාශ කළාය.

පසුගිය නඩු වාරයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් පරීක්ෂා කර කරුණු වාර්තා කිරීමට අධිකරණය විසින් පත්කරන ලද නව පුද්ගල විශේෂඥ කමිටුවේ වාර්තාව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් ඊයේ විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලදි. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට අධිකරණයේ පෙනී නොසිටීමට තරම් රෝගී තත්ත්වයක් නොපැවති බව එම කමිටු වාර්තාව මගින් සනාථ කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පැවසුවාය. එමෙන්ම සැකකරු බන්ධනාගාර රෝහලෙන් රජයේ රෝහලකට මාරු කිරීමට තරම් හෝ බරපතල රෝගී තත්ත්වයකින් නොසිටින බව ද එම වාර්තාවේ සඳහන් යැයි ඇය කියා සිටියාය.

එබැවින් බන්ධනාගාර වෛද්‍යවරයා අධිකරණයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් එබැවින් ඔහු පිළිබඳ ගත යුතු පියවර සම්බන්ධව සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉල්ලා සිටියාය. වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ කරුණු පිළිබඳ ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරිය මෙම සිදු වීමට සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායකගේ මැදිහත් වීම කුමන ආකාරයක ද යන්න විමසුවාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහි දී පවසා සිටියේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් වාර්තා සකසා ඇත්තේ වෛද්‍ය නිෂ්පාදන හා සැපයුම් නියාමන අංශය තුළ බවත් එම අංශය සමන් රත්නායක යටතේ ක්‍රියාත්මක වී තිබෙන බවත් ය. ප්‍රශ්න සහගත කැබිනට් පත්‍රිකා සැකසීමේ මුල්ගොනු අස්ථාන ගතවීම සම්බන්ධව වගකිව යුතු තැනැත්තා ද මොහු බව ඇය පැවසුවාය. වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීමට ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස පෙරේදා දින සමන් රත්නායක මහතාගේ කුරුණෑගල ස්ථිර පදිංචි ලිපිනයට දැන් වූ බවත් එය ඔහුගේ බිරිඳ භාර ගත් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.

ඒ අනුව කරුණු සලකා බලා අද (01) දින උදෑසන 9ට සමන් රත්නායක මහතාට ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එහි දී මහෙස්ත්‍රාත්වරිය නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට උපදෙස් ලබා දුන්නාය.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment