GMOA පෙන්වා දුන් ක‍්‍රමයට නොගිය නිසා මරණ අනුපාතය ඉහළ ගියා – වෛද්‍ය නවීන්ද සොයිසා

496

සිය සංගමය මුල සිටම පෙන්වා දුන් එන්නත්කරණ වැඩපිළිවෙළ නිසි ප‍්‍රමුඛතා ලැයිස්තුවක් අනුව ලබාදීමට රජය අපොහොසත් වීම නිසා කොවිඞ් මරණ අනුපාතය ඉතා ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ‘දිවයිනට’ ඊයේ (11 දා) පැවසීය.

කොවිඞ් වෛරසය මර්දනය වෙනුවෙන් ඉකුත් මැයි මාසයේදී නිසි වැඩපිළිවෙළක් පෙන්වාදුන්නත් එය පැහැරහැරී නිසා මරණ අනුපාතය වැඩිවීමේ වගකීම අදාළ තීරණ කි‍්‍රයාත්මක නොකළ පුද්ගලයන් භාරගත යුතුව ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට මෙරටට එන්නත් මාත‍්‍රා මිලියන 19.5 ක් ගෙනවිත් ඇති බව ද කී හෙතෙම ඉන් එන්නත් මාත‍්‍රා 10 ක් නිවැරදිව ප‍්‍රමුඛතා ලැයිස්තුවක් අනුව ලබාදුන්නා නම් සිදුවෙමින් පවතින මරණවලින් 90%ක් පමණ වළක්වා ගත හැකිව තිබූ බව පැවසීය.

සිය සංගමය පෙන්වාදුන් ක‍්‍රමවේදයට අනුව වයස අවු. 60 ට වැඩි (මිලියන 2.7 ක) වැඩිහිටි ජනගහනය, අවුරුදු 60 ට අඩු බෝ නොවන රෝගවලින් පෙළෙන කාණ්ඩය සහ ජාතික ආර්ථිකය පවත්වා ගැනීමට වැදගත් වන අවදානම් කාණ්ඩ එන්නත්කරණය සඳහා අවශ්‍ය මිලියන 10 ක කොවිඞ් එන්නත් මාත‍්‍රා මගින් මිලියන 5 ක පමණ ජනගහනය එනම් ආසන්න වශයෙන් 20% ක ජනගහනයක් එන්නත්කරණය කිරීම තුළින් 90% ක මරණ වළක්වා ගැනීමට හැකියාව තිබූ බව ද වෛද්‍ය නවින්ද සොයිසා මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment