ශ්‍රී ලංකා තේ මණ්ඩලය රු. මි. 2300ක් ගිලලා!

422

ඵලදායී නිසි ප්‍රචාරයක් කර නෑ
වසර 7ක් ගියත් තොරතුරු තාක්‍ෂණ පද්ධතිය හදා නෑ

ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන 2300ක් වැය කර ඇතත් කිසිදු ඵලදායී ප්‍රචාරයක් කර නැතැයි කෝප් කමිටුව හමුවේ පෙරේදා (19දා) අනාවරණය වී ඇත.

කෝප් කමිටුව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කියා සිටියේ දැන්වීම් ප්‍රචාරය සඳහා රුපියල් මිලියන 2300ක් වෙන් කර ටෙන්ඩර් කැඳවා ආයතන දෙකක් තෝරාගෙන සියයට සියයක අත්තිකාරම් මුදල් ලබාදී ඇතත් මේ වනතෙක් කිසිදු දැන්වීම් ප්‍රචාරයක් සිදුව නොමැති බවය. මෙය මුදල් නාස්තිවීමක් බවද හෙතෙම කීය.

කෝප් කමිටු සභාපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුමත කාර්ය මණ්ඩලය 335ක් වුවත් මේ වනවිට ඉන්නේ 255ක් බවය. විශේෂයෙන් ප්‍රධාන තනතුරු 4 ක් සම්පූර්ණ නොකර තේ මණ්ඩලය පවත්වාගෙන යන්නේ කෙසේද යන්නද කෝප් කමිටු සභාපතිවරයා තේ මණ්ඩලයේ සභාපතිවරයාගෙන් විමසීමක්ද කළේය.

එහිදී තේ මණ්ඩලය වෙනුවෙන් අදහස් දක්වමින් නිලධාරිනියක් කියා සිටියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර අනවශ්‍ය බවට තීරණය කර බඳවා ගැනීම් සිදු නොකළ බවය. එහිදී කමිටු සාමාජික මහාචාර්ය චරිත හේරත් මහතා කියා සිටියේ එම තනතුර පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව සිදුකරන ලෙස දැනුම් දී ඇති බවත්ය. එසේ සිදු නොකරන්නේ නම් ඇමැතිවරයා මගින් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

මෙහිදී කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කමිටුව හමුවේ කියා සිටියේ එම තනතුරට බඳවා ගැනීම සඳහා 2018 වසරේ කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බවය. කැබිනට් මණ්ඩල තීන්දු පවා මගහැර තේ මණ්ඩලය කටයුතු කර ඇති බවත් තේ මණ්ඩලය ස්වාධීනව කටයුතු නොකරන බවට පෙනී යන බවද කෝප් කමිටු සභාපතිවරයා කීය.

මෙහිදී කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා කියා සිටියේ තොරතුරු තාක්ෂණ පද්ධතිය වසර 7ක් ගතවීත් සකස් කර ගැනීමට තේ මණ්ඩලයට නොහැකි වී ඇති බවය. තේ මණ්ඩලයේ නිලධාරීන් ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබානොදෙන බවද පවසා එදිරිමාන්න මන්ත්‍රීවරයා නැගිට යෑමටද කටයුතු කළේය.

මෙහිදී කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා කියා සිටියේ ඩේටා බේස් එකක් හදන්න වසර 07ක් ගතවීත් නොහැකි වී ඇත්නම් රොකට් එකක් හැදීමට දුන්නොත් පරම්පරා 15ක්වත් යයි කියාය.

එමෙන්ම විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකන් තේ ලෝක වෙළෙඳ පොළේ ප්‍රචාරය කිරීම අඩු වී ඇති බවත් 2016 තේ කිලෝ මිලියන 228ක් අපනයනය කර ඇතත් 2020 වසරේ දී අපනයනය කර ඇත්තේ තේ කිලෝ මිලියන 250ක් බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කෝප් කමිටු සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා හමුවේ කියා සිටියේ සති දෙකක් ඇතුළත සවිස්තර වාර්තාවක් සකස් කර කමිටුවට ලබාදෙන ලෙසය.
චමින්ද සිල්වා, අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment