පාස්කු කොමිසමෙන් පොලිසියට චෝදනා නෑ – ඇමැති සුසිල් කියයි

153

ටිරාන් වෙනුවෙන් උත්තර දෙන්න ගිය සුසිල්ට කේන්ති යයි

පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පොලිස් නිලධාරීන් වෙත චෝදනා එල්ල වී නැතැයි සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය. විපක්ෂ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට මහජන ආරක්ෂක ඇමැතිවරයා වෙනුවෙන් පිළිතුරු ලබා දෙමින් ප්‍රේමජයන්ත මහතා එසේ කීය. කෙසේ වෙතත් ආණ්ඩුව විසින් ලබාදුන් මෙම පිළිතුර පිළිගත නොහැති යැයි හෙක්ටර් අප්පුහාමි මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී සඳහන් කළහ.

අදාළ පිළිතුර ලබාදීමට විෂය භාර ඇමැති ටිරාන් අලස් මහතා සභාවේ නොසිටි බැවින් පිළිතුර ලබාදුන් සභානායක දැඩි අපහසුතාවට පත් වූ අතර වහාම විෂයභාර ඇමැතිවරයාට එන්නැයි සභානායක පණිවුඩයක් ද යැවීය. එහිදී “ඇවිල්ලා ඉන්නවා නම් එන්න කියන්න.. පාර්ලිමේන්තුව එක එක්කෙනාට ඕන ඕන වෙලාවට පටන් ගන්නේ නෑනේ. මමනේ මේවාට උත්තර දෙන්න ඕනේ” යනුවෙන් සභානායක දොස් කීවේය.

එහිදී මතුවූ සංවාදය මෙසේය.

හෙක්ටර් අප්පුහාමි මහතා – මම මේ ප්‍රශ්නයෙන් අහන්නේ පොලිස් නිලධාරීන්ට නඩු දාන්න කියලා තිබෙනවාද? ඒ නම් ටික මොනවාද කියලා.

සුසිල් ප්‍රේමජයන්ත මහතා – මම දැන් කියා සිටියේ මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් මා වෙත ලබාදුන් පිළිතුරුයි. ඒ ගැන වැඩි තොරතුරු මහජන ආරක්ෂක විෂයභාර ඇමැතිවරයාගෙන් ලබාගන්න පුළුවන්.

හෙක්ටර් අප්පුහාමි මහතා –

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරන්න ඕනා. මේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා වසරකට වැඩියි. මේ තුන්වෙනි වතාව අහන්නේ. දැන් අදත් පිළිතුරු දෙන්නේ වැරදිකාරයන් ගලවලායි. අපි මේවා දැන් කාටද කියන්නේ? අද විෂයභාර ඇමැතිවරයාත් නෑ මේ වෙලාවේ. මේ පිළිතුර සම්පූර්ණ නෑ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – මේ උත්තරය වැරදි උත්තරයක්. පෙරේදා අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි තුන් හතරවතාවක් බැලුවා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් කියලා තිබෙනවා ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධනට විරුද්ධව නඩු දාන්න කියලා. මොකද ඔහුට තමයි වට්ස්ඇප් පණිවුඩයකින් මුලින්ම තොරතුරු ආවේ. ඊට පසුව ඒ දුරකථන දත්ත ඔහු සියල්ල මැකුවා. ඇමැතිතුමා එන්නේ නැතුව වැරදි උත්තරයක් මේ දෙන්නේ.

හෙක්ටර් අප්පුහාමි මහතා – මිනිස්සුන්ගේ ලේ හලලා ඒක හංගන්න එන්න එපා. ලේ අතේ තැවරුණු අය ඉන්නවානම් මෙතන ඒක හැංගුවාට කමක් නෑ. අපිට පෙනෙන්නේ ලේ අතේ තවරගෙන ඉනන් අය මේක හංගනවා කියලා.

සුසිල් ප්‍රේමජයන්ත මහතා- විෂයභාර ඇමැතිවරයා තව මොහොතකින් පැමිණ මේකට පිළිතුරු ලබාදෙනවා.

ටික වේලාවකින් පසුව විෂයභාර ඇමැති ටිරාන් අලස් මහතා සභාවට පැමිණි අතර එහිදී ඔහු සඳහන් කළේ ද ජනාධිපති කොමිසම පාස්කු ප්‍රහාරයට අදාළව කිසිදු පොලිස් නිලධාරියකුගේ නම් සඳහන් කර නැති බවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම කිසිදු සඳහනක් කර නැතැයි ද ඇමැතිවරයා කීය.

මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙන නිලන්ත ජයවර්ධනට නඩු දැමීමට ආණ්ඩුව බයයි” කියාය.

හෙක්ටර් අප්පුහාමි මහතා- නිලන්ත ජයවර්ධන මෙතනට ගෙනල්ලා ප්‍රශ්න කළොත් ඇත්ත නැත්ත කියයි. මේකේ සුලමුල කවුද හංගන්න හදන්නේ කියලා කියයි.

ටිරාන් අලස් මහතා – නිලන්ත ජයවර්ධනට නඩු දාලා සුප්‍රීම් උසාවියෙන් වරදකරු කරලා දඩ ගහලාත් තිබෙනවා. එහෙනම් එතැනදී ඔහුට ඕනෑම දෙයක් කියන්න තිබුණා නේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – සිවිල් අධිකරණයකින් නඩු අහලා දඩ ගහන එකයි කරන්න පුළුවන්. නැතුව එයාව හිරේට යවන්න බෑ.

ටිරාන් අලස් මහතා – ඉතින් නිලන්ත ජයවර්ධනට මිලියන 75ක දඩයක් කන්නෙ නැතුව උසාවියේ දී ඔක්කොම කියන්න තිබුණානේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – ඒ අය තමයි දඩය ගෙව්වේ. මොකද නිලන්ත ජයවර්ධන කට ඇරියා නම් ඒ පැත්තෙයි මේ පැත්තෙයි ගොඩකට හිරේ යන්න වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් තිබෙනවා. ඒ වාර්තාවල තිබෙන නිර්දේශයන් ක්‍රියාත්මක කළොත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යම් සාධාරණත්වයක් ඉටුවේවි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment