බෞද්ධයන්ගේ සිංහ නාදය

206

“ඉධේව භික්ඛවේ සමණෝ, ඉධ දුතියෝ සමණෝ, ඉධ තතියෝ සමණෝ, ඉධ චතුත්ථෝ සමණෝ, සුඤ්ඤා පරප්පවාදා සමණේහි අඤ්ඤේති, ඒවමේව භික්ඛවේ සම්මා සීහනාදං නදථ”

(මජ්ඣිම නිකාය, මුල පණ්ණාසක, චුලසීහනාද සූත්‍රය)

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන කාලේ භික්ෂුන් අමතා මේ දේශනාව කළහ. ලොව ඇති අනෙකුත් ආගම් හා දර්ශනවාද සමඟ සසඳා බලන කල බුදුදහමේ ඇති ශේ්්‍රෂ්ඨත්වය කුමක්දැයි මේ දේශනාවේ සඳහන් වේ.

“මහණෙනි, සෝවාන් ඵලයට පැමිණි පළමු ශ්‍රමණයා සිටින්නේ මේ බුද්ධ ශාසනයේමයි. සකදාගාමී ඵලයට පැමිණි දෙවන ශ්‍රමණයා සිටින්නෙත් මේ බුද්ධ ශාසනයේමයි. අනාගාමී ඵලයට පැමිණි තෙවන ශ්‍රමණයා සිටින්නෙත් මේ බුද්ධ ශාසනයේමයි.

රහත් ඵලයට පැමිණි සිව්වන ශ්‍රමණයා සිටින්නෙත් මේ බුද්ධ ශාසනයේමයි. අන්‍ය ආගම් සියල්ල

මග-පල ලාභී මේ ශ්‍රමණයන්ගෙන් හිස්. ඒ කිසිම ආගමක ශ්‍රමණයෙකුට සසරින් මිදී නිවනට පත් වන මේ මාර්ග ඵලයන්ට පත්වෙන්නට බැහැ යනුවෙන් නුඹලා මනා කොට සිංහනාද කරවූ” යනුවෙන් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට තමන් අනුගමනය කරන ධර්මය, විමුක්තිය පිණිස හේතුවන එකම ධර්ම මාර්ගය බව අභිනව ප්‍රකාශ කරන ලෙස මෙහිදී උපදෙස් දුන්හ. මෙසේ ප්‍රකාශ කරනවිට අන්‍ය ආගමිකයන්ගෙන් එල්ලවන අභියෝග සහේතුකව බිඳ දමන ආකාරයද පෙන්වා දුන්හ.

“මහණෙනි, නුඹලා මෙසේ සිංහ නාද කරන විට අන්‍ය ආගමිකයන් ‘එසේ කීමට නුඹලාට ඇති අස්වැසිල්ල කුමක්ද? බලය කුමක්ද?’ යනුවෙන් අසාවි. එවිට ඇවැත්නි, අපගේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම හතරක් අප කෙරෙහි ඇත. අපට අපේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇත. උන්වහන්සේ වදාළ ධර්මය කෙරෙහි පැහැදීම ඇත. අප සියලු දෙනා සීලය සම්පූර්ණ කිරීමෙහි යෙදී වාසය කරනවා. ඒ වගේම බෞද්ධ ගිහි – පැවිදි ආර්ය ශ්‍රාවකයන් (මග-ඵල ලාභින්) සියලුදෙනාම එකිනෙකාට ප්‍රියමනාපයි. මේ ධර්ම හතර අප තුළ ඇති නිසා මෙසේ සිංහ නාද කරන බව පිළිතුරු වශයෙන් කියන්න. එවිට අපටත් ඔය ධර්ම හතර අපේ ආගමට අනුව ඇත. එසේ ඇති විට නුඹලාගේත් අපගේත් වෙනසක් නැතැයි ඒ අන්‍යාගමිකයන් කියනු ඇත. මහණෙනි, එවිට නුඹලා මෙසේ අසවු. “ඔබලා තුළ ඇති ඒ පැහැදීමෙන් ලබන අවසාන ප්‍රතිඵලය (නිෂ්ඨාව) එකක්ද? ගොඩක්ද?” එකම නිෂ්ඨාවයි කියා ඔවුන් පිළිතුරු දෙනු ඇත. එවිට නුඹලා ඒ ආගමිකයන්ගෙන් මෙසේ අසවූ.

“ඇවැත්නි, ඔබලාගේ ආගමේ කියන ඔය නිෂ්ඨාව ලැබෙන්නේ රාග සභිකයාටද? ද්වේශ සභිකයාටද? මෝහ සභිකයාටද? තණ්හා සභිකයාටද? උපාදාන සභිකයාටද? නුවණැත්තාටද? නුවණ නැත්තාටද? රාගයෙන් බැඳුණු කෙනාටද? ක්‍රෝධයෙන් කිපුණු කෙනාටද? එසේ නැති නම් මේ රාග, ද්වේශ, මෝහාදිය නැති කෙනාටද? එවිට ඔවුන් කියාවි ‘රාග, ද්වේශ, මෝහ ආදිය නැති, නුවණ ඇති කෙනාටයි ඒ නිෂ්ඨාව ලැබෙන්නේ’ කියලා.

මහණෙනි ඔවුන් එසේ කීවත් ඒ සෑම ආගමක්ම එක්කෝ බව දෘෂ්ටිය (ශාස්වත වාදයට) බැඳිලා. එසේ නැති නම් විභව දෘෂ්ටියට (උච්ඡේද වාදයට) බැඳිලා. ඔවුන් මේ අන්ත දෙකෙන් එකක් උපාදාන කරගෙන එයට බැඳිලා ඔවුන්ට මේ දෘෂ්ටි දෙක හටගන්නා ආකාරය ගැන, නැති වන ආකාරය ගැන, මෙහි ආස්වාදය ගැන, ආදීනව ගැන, නිස්සරණය හෙවත් මේ දෘෂ්ටිවලින් මිදෙන ආකාරය ගැන නිවැරැදි වැටහීමක් නැහැ. එසේ නිවැරැදි වැටහීමක් නැති නිසා ඔවුන් තුළ රාග, ද්වේශ, මෝහ ආදිය නැතැයි කීම අසත්‍යයක්. ඒ හැමදෙනාම රාග, දෝස, මෝහ, තණ්හා සහිතයි. ඒ නිසා ඔවුන් තුළ උපාදාන කරන ස්වභාවය පවතිනවා. උපාදාන කරනවිට, දෘෂ්ටිවලට තදින් බැඳෙන විට ප්‍රපංච හෙවත් කෙලෙස් හට ගනී. කෙලෙස් හට ගන්නා විට ජාති, ජරා, මරණ, සෝක පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසවලින් ඔවුන්ට සසරින් මිදෙන්න බැහැ. ඒ නිසා ඔවුන් කෙසේ කීවත් ශ්‍රමණයන් සතර දෙනා ඔවුන්ගේ ශාසනවල නැහැ. යමෙක් භව, විභව දෘෂ්ටිවල හට ගැනීම, විනාශය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය දනිත් නම් ඔවුහු සසරින් මිදෙත්.

මහණෙනි, ලෝවැසියන් දැඩිව බැඳෙන කරුණු හෙවත් උපාදාන සතරක් ඇත. එනම් කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අන්තවාද උපාදානය යන හතරයි.

චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කය, මන යන අභ්‍යන්තර ආයතන සය මගින් රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම (කලින් ගත් අරමුණු නැවත සිහි කිරීම) නමැති බාහිර ආයතන සය සමඟ සම්බන්ධ වනවිට ලැබෙන අරමුණුවලට කැමති වන ස්වභාවය ‘කාම’ නම් වේ. අසුබ වූ ඒවා සුබ යැයි විපරීත අදහස් (=විපල්ලාස) ඇති කරගෙන ඒවාට ඇලීම කාම උපාදානයයි. ඒ ඉන්ද්‍රිය ගෝචර කාම වස්තුන්ගෙන් පටිච්ච සමුප්පන්න ස්වභාවය නොදැක ඒවා සත්‍ය වශයෙන් පවතිනවා. ඒවායින් සැප විඳිය හැකිය යනුවෙන් සිතීම එහි ස්වභාවයයි. දානයෙහි විපාක නැත යනාදී වශයෙන් දස ආකාරයට ඇති වන මිථ්‍යා දෘෂ්ටිය, දිට්ඨි උපාදානයයි. බුදු සසුනේ නිවන් දැකීම සඳහා පෙන්වා දී ඇති ප්‍රතිපදාවෙන් බැහැර වූ විවිධ වෘත පිරීම, පුද පූජා යාච්ඤා කිරීම මගින් විමුක්තිය ලැබේ යැයි සිතා ඒවායෙහි යෙදීම සීලබ්බත උපාදානයයි. රූප, ශබ්ද ආදී වශයෙන් බාහිරව ඇති දෙයින් සැප විඳින, ඒවා අරමුණු කරන රස විඳින ‘මම’ කියා පුද්ගලයෙක් ආත්මයක් මා තුළ ඇත යනුවෙන් සිතීම අන්තවාද උපාදානයයි. කෙටියෙන් කිවහොත් පංචස්කන්ධය ආත්ම වශයෙන් ගැනීමයි.

“මහණෙනි, සියලු උපාදානයන් ප්‍රහානය කරනවා යයි ඒ අන්‍ය ආගමිකයන් කීවත් ඔවුන්ට ඒ සියලු උපාදානයන් ප්‍රහානය කිරීමට අවශ්‍ය පිළිවෙතක් නැහැ. එබඳු අන්‍ය තීර්ථක ශාසනයක ශාස්තෘවරයා කෙරෙහි, ඔහුගේ ධර්මය කෙරෙහි ශ්‍රාවකයන් ඇති කරගන්නා පැහැදීම අසම්පූර්ණයි. එම ශ්‍රමනයන් තුළ ආදී බ්‍රහ්මචරියක ශිලා ශික්ෂාවද සම්පූර්ණ නොවේ. වැරදි ලෙස ඉගැන්වූ මාර්ග-ඵල ලැබීම පිණිස නොපවතින සම්බුද්ධ නොවූ අය විසින් ප්‍රකාශ කරන ලද ධර්ම නිසයි, එසේ වන්නේ.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ මේ සතර උපාදානයන්ගේම ප්‍රහානය ගැන දේශනා කරති. ඒ සඳහා මඟ හෙළි කරති. එබැවින් මෙබඳු ධර්මය විනයක ශාස්තෘවරයා ගැන, ධර්මය ගැන ඇති වන පැහැදීම අංග සම්පූර්ණයි. නිවැරදි ආදි බ්‍රහ්මක ශීල ශික්ෂාව සම්පූර්ණ කරන ආකාරය දැක්වෙන්නේ මේ බුද්ධ ශාසනයේමයි. එම ශාස්තෘවරයා ගැන ධර්මය ගැන ඇති වන පැහැදීම අංග සම්පූර්ණයි. ශීල ශික්ෂාව මැනවින් සම්පූර්ණ කළ හැකිය. ගිහි – පැවිදි ආර්ය ශ්‍රාවකයන් අතර ප්‍රියමනාප බව පවතී. මනාකොට දේශනා කළ මනාකොට ඉගැන්වූ, ආර්ය වූ මාර්ග-ඵල පිණිස පවතින, කෙලෙස් සංසිඳීම පිණිස පවතින, සම්බුදුවරයකු විසින් දේශනා කරන ලද ධර්මයක් නිසයි එසේ වන්නේ.

මහණෙනි, මේ සතර උපාදාන ඇති වන්නේ තණ්හාව ඇති විටයි. තණ්හාව ඇතිවන්නේ වේදනාව ඇති විටයි. වේදනාව ඇතිවෙන්නේ චක්ඛු ආදී ඉන්ද්‍රියන් රූප ආදී බාහිර අරමුණුවල ගැටෙන ස්වභාවය හෙවත් ඵස්ස නිසාය. ඵස්සය ඇති වන්නේ සළායතන ඇතිවිටය. සළායතන ඇතිවන්නේ නාම රූප ඇති විටය. නාම-රූප ඇතිවන්නේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඇති විටය. ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඇතිවන්නේ සංඛාර හෙවත් කෙලෙස් ඇති විටය. කෙලෙස් හටගන්නේ යථා තත්ත්වය නොදැකීම නමැති අවිජ්ජාව ඇති විටය.

මහණෙනි, යම් කලෙක අවිiාව ප්‍රහීන කොට අරහත් මාර්ග විiාව හට ගනීද එවිට මේ උපාදාන හට නොගනී. උපාදාන නැති විට තණ්හාව පහළ නොවේ. එසේම තණ්හාව නැති විට උපාදානද පහළ නොවේ. එවිට පුද්ගලයා ක්ලේශ පරිනිර්වාණයට පත්වෙයි. බඹසර වැස නිමවන ලදී. නිවන් පිණිස මතු කළ යුතු කිසිවක් නැත. මේ අවබෝධය තමා තුළම ඇති වේ. එසේ ක්ලේශ ප්‍රහානය අත්දැකීමෙන්ම ලද ශ්‍රමණයන් සිටින්නේ මේ බුද්ධ ශාසනයෙහි පමණි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

බෞද්ධයන්ගේ සිංහ නාදය

දෙහිවල ශ්‍රී සුදර්ශන ධම්ම නිකේතනාධිපති ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරාධිකාරි කොළඹ නාලන්දා මහානාම විiාලවල
හිටපු ධර්මාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත
පූජ්‍ය ලේල්වල සමිත හිමි






සංස්කරණය සුසිල් ජයකොඩි

බෞද්ධයන්ගේ සිංහ නාදය


0722081522

advertistmentadvertistment
advertistmentadvertistment