පෑවිල්ල නිසා සිරුරේ ප්‍රතිශක්තියත් දුර්වල වේ

201

මව් කුසින් මෙලොව එළිය දකින සෑම පුද්ගලයෙක්ම මියයන තුරුම රෝග, පීඩා, උපද්‍රව වලට මුහුණ දෙමින් ජිවිතය ගත කරති. මේවාට ශක්තිමත්ව මුහුණ දී නිරෝගීව ජීවත්වීම සඳහා සිරුර තුළ ශක්තිය උපදී. එසේ උපදින ශක්තීන් අතර බාහිරින් සිරුර තුළට ඇතුළු වන විෂබීජ ආදී උපද්‍රව වලට එරෙහිව කටයුතු කිරීමට ප්‍රතිශක්තිය නිපදවයි. මෙම ප්‍රතිශක්තිය කුඩා දරුවන් සහ මැදිවිය ඉක්මවූවන් අතර ශක්තිමත්ව ක්‍රියා නොකරයි. තරුණ වියේ පසුවන අය අතර ශක්තිමත්ව ක්‍රියා කරයි. එබැවින් කුඩා දරුවන් සහ මැදිවිය ඉක්මවූවන් ඉතා පහසුවෙන් රෝග පීඩාවනට ගොදුරු වේ.

මෙම තත්ත්වය මත අප සෑම කෙනෙක්ම නිරෝගීව ජීවත්වීම සඳහා සිරුරේ ප්‍රතිශක්තිය ආරක්ෂා කර ගැනීම සහ එය වර්ධනය කර ගැනීමට අවශ්‍ය පෝෂණය ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

ප්‍රතිශක්තිය දුර්වල වීම

අප සෑම කෙනෙක්ම ජීවත් වන්නේ රස, රක්ත, මාංශ, අස්ථි, මේද, මජ්ජා සහ ශුක්‍ර යන සප්ත ධාතූන්ගේ පෝෂණය ශරීරයට ලබාගෙනය. මෙම පෝෂණ කොටස් සිරුරට නිසි ලෙස නොලැබෙන විට ශක්තිය දුර්වල වීමට පටන් ගනී.

මෙලෙස සිරුරේ ශක්තිය දුර්වල වන විට ප්‍රතිශක්තිය ද දුර්වල වේ. සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වීමට බලපාන ප්‍රධාන කාරණාව වන්නේ නිසි පෝෂණයෙන් යුතු සමබර ආහාර වේලක් නොලැබීමය. දෙවැන්න වනුයේ විවිධ රෝග පීඩා නිසා ශක්තිය දුර්වල වීමය. තෙවැන්න වනුයේ ඇතැම් රෝග සුවය සඳහා දිගු කලක් ඖෂධ වර්ග භාවිතා කිරීමට සිදුවීමය. සිව්වැන්න වනුයේ පරිසරයේ ඇතිවන වෙනස්කම් නිසා ඇතිවන පීඩාවන්ය. ඒ සඳහා උදාහරණයක් ලෙස මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා සිරුරින් අධික ලෙස දහදිය පිටවීම හේතුවෙන් ප්‍රතිශක්තිය දුර්වලවීමට බලපා ඇත. එනිසා බොහෝදෙනා අඟපත වේදනාව, හිසරදය, සෙම් රෝග මතුවීම ආදී පීඩාවනට ලක්ව සිටිති. ඊට අමතරව සමේ රෝග මතුවීම, සම කැසීම ආදී රෝගවලට ද මුහුණ දෙති. මේ සියල්ලටම බලපා ඇත්තේ වියළි කාලගුණයත් සමග සක්‍රිය වී ඇති විෂබීජ ආසාදනවලට එරෙහිව ක්‍රියා කිරීමට සිරුරේ ප්‍රතිශක්තිය ප්‍රමාණවත් නොවීමය. නිතර අධික ලෙස දහදිය පිටවීම නිසා සිරුරේ ශක්තිය වැයවේ. එසේ වැයවන ශක්තියට සරිලන ලෙස නිසි පෝෂණයක් නොලැබුණ විට සිරුර දුර්වල වේ. එවිට ප්‍රතිශක්තිය ද දුර්වල වීමට පටන් ගනී.

ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම

සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට නම් පෝෂ්‍යදායී ආහාර පාන ලබාගත යුතුය. ඒ සඳහා සමබර ආහාර වේලක් ගත යුතුය. සමබර ආහාර වේලක් යනු සප්ත ධාතූන්ගෙන් සපිරි ආහාර වේලකි.

අප ගනු ලබන බත් වේලකට පොලොස්, ධාන්‍ය වර්ගයක්, මැල්ලුමක්, මාළු හෝ මස් වර්ගයක් හෝ සෝයා ආහාරයක් එක්කර ගැනීමෙන් පිෂ්ටය, ප්‍රෝටීන් විටමින් සහ මේදය යන ප්‍රධාන පෝෂණ ඉතා පහසුවෙන් සිරුරට ලබාගත හැකිය.

මුං ඇට, කවුපි, කුරක්කන් ශක්තිය උපදවන ධාන්‍ය වර්ග වේ. දඹල, මෑ, නිවිති, ගොටුකොළ, සාරණ, තම්පලා, මඤ්ඤොක්ක කොළ, තෙබු කොළ ආදිය මගින් විටමින්, ඛනිජ ලවණ ආදිය සිරුරට ලබාගත හැකිය. එනිසා පෝෂණය සපිරි ආහාර වේලක් සඳහා අනවශ්‍ය වියදමක් දැරිය යුතු නොවේ.

මේ දිනවල පවතින වියළි කාලගුණය හමුවේ අප නිතර මෙවැනි ආහාර වර්ග වැඩිපුර දිනපතා ආහාර වේලට එක්කර ගත යුතුය. එහිදී කැකිරි, පිපිඤ්ඤා, වැටකොළු, පතෝල වැනි ජලය පිරි ආහාර වර්ග ඉතාමත් හොඳය. කෝමාරිකා ව්‍යංජනයක් ලෙස සාදා ආහාරයට ගත හැකිය. වෙරළු, නාරං, දොඩම් ආදී විටමින් ‘සී’ බහුල පලතුරු වර්ග ගුණදායකය.

මේ දිනවල අප වඩාත් ප්‍රතිශක්තිය ගැන අවධානය යොමු කළ යුත්තේ මෙම වියළි කාලගුණයෙන් පසු මතුවන රෝග පීඩාවන්ට මුහුණ දීමට සිදුවන නිසාය. පැපොල, සරම්ප, ඇස් රෝග ආදිය ඉන්පසු හිසඔසවයි. මෙම රෝගවලට මුහුණ දීමට නම් සිරුරේ ප්‍රතිශක්තිය ශක්තිමත්ව පවත්වා ගත යුතුය.

වෙනදාට වඩා ජලය පානය කිරීමට සිදුව ඇති බැවින්, කොත්තමල්ලි – වෙනිවැල්ගැට පානයක්, කැඳ වර්ගයක් පානය ද ගුණදායකය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 011250121 ඇමැතිය හැකිය.

පෑවිල්ල නිසා සිරුරේ ප්‍රතිශක්තියත් දුර්වල වේ

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment