දැන් ගන්නෙ අන්දිරිස් මාමගෙ එළවළු ලෑල්ලෙන්

ආර්ථික අර්බුදය නිසා ලොකු නෝනල මහත්තුරුත් ෆුඩ් සිටියෙන් මහ පාරට

පසුගියදා ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ ක්‍ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් අසූහත් දාහකට අධික පිරිසක් ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවකි. එය ප්‍රතිශතයක් ලෙස ගෙන බැලුවොත් සියයට නමය දශම දෙකකි.

මිනිසකුට ශක්තිමත්ව කෙළින් සිට ගැනීමට කොඳුඇට පෙළ උපකාරී වනවා මෙන්ම හොඳ ශක්තිමත් ආර්ථිකයක් ඇතිවීමට නම් ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් සිටිය යුතුය. ආර්ථිකය ශක්තිමත් කිරීමට නොයෙක් නොයෙක් ක්ෂේත්‍ර විශාල පිටිවහලක් වන බව සත්‍යයකි. ඒ අතරිනුත් වැඩිම දායකත්වයක් එසේත් නැතිනම් ආර්ථික විශේෂඥයන් පවා පෙන්වා දෙන ආකාරයට රටේ කොඳුනාරටිය බඳු ක්‍ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අවදානමකට ලක්ව ඇත්දැයි සොයා බැලීම අප කාගේත් ඉවත දැමිය නොහැකි වගකීමකි. ඒ නිසාම අද අප සාකච්ඡා කරන්නේ එවන් අය පිළිබඳවය.

අප මුලින්ම රට තුළ ඇතිවී ඇති ආර්ථික අර්බුදයේ බලපෑම ක්‍ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑම් එල්ල කරන ආකාරය පිළිබඳ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතකෝරල මහතාගෙන් විමසූ විට ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

මොනවද මේ ක්‍ෂුද්‍ර ව්‍යාපාර

ක්‍ෂුද්‍ර කර්මාන්ත හෝ ව්‍යාපාර යටතට ගැනෙන්නේ සේවකයන් එකත් හතරක් අතර සංඛ්‍යාවක් සිටින ව්‍යාපාර හෝ කර්මාන්තයි. මේ යටතට පාරක් අයිනේ එළවළු, පලතුරු විකුණන කෙනාගේ සිට පුද්ගලයන් සිව් දෙනෙක් දක්වා සේවය කරන ව්‍යාපාර හෝ කර්මාන්ත ගැනෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්‍ෂණවලින් හෙළිවෙලා තිබෙනවා 2019 දී 1203,600ක් වුණු ක්ෂුද්‍ර කර්මාන්ත 2022 වසර වන විට 948,900 අඩු වී ඇති බව. කුඩා කර්මාන්ත 88,000 සිට 80,000 දක්වා අඩු වී තිබෙනවා. පිළිවෙළින් එය සියයට 21ක් හා සියයට 08ක්.

ක්‍ෂුද්‍ර ව්‍යාපාර කරන පිරිසගේ ආදායම පිළිබඳ මහාචාර්යවරයා පැවසුවේ මෙවන් අදහසකි.

මේ කාණ්ඩයේ ව්‍යාපාර කරන අය පිළිබඳ සලකා බැලීමේදී විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා. සමහරු දවසම ව්‍යාපාර කරන අතර තවත් සමහරු උදේට පමණයි. තවත් පිරිසක් දවල්ට හෝ සවසට පමණයි ව්‍යාපාරය කරන්නේ. තවත් කොටසක් රාත්‍රියට පමණයි. මේ අය පිළිබඳ සලකා බැලීමේදී සැලකිය යුතු පිරිසකගේ ආදායම් මට්ටම ඉහළයි. හැමෝගෙම නොවේ. සමහරුන්ගේ දිනක ආදායම රුපියල් දස දහස පහළොස්දාහ අතර වෙනවා. විශේෂයෙන්ම එළවළු, පලතුරු විකුණන අයගේ ආදායම ගොඩක් දුරට හොඳයි. ඒ වගේම සමහරුන්ගේ දිනක ආදායම රුපියල් දාහයි එක්දහස් පන්සීයයි වගේ. ඒ වෙනත් පොඩි පොඩි බඩු විකුණන අයගේ.

ආර්ථික අර්බුදයෙන් බලපෑමක් වුණාද?

ආර්ථික අර්බුදයෙන් මේ පිරිසට වුණු බලපෑම පිළිබඳව මහාචාර්යවරයා දැක්වූයේ මෙවන් අදහසකි.

ආර්ථික අර්බුදයෙන් මේ කාණ්ඩවල ව්‍යාපාරවලට ලොකු බලපෑමක් එල්ල වුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව ආර්ථික අර්බුදයත් සමඟ ඉහළ ගිය විදුලි බිල්, දුරකථන බිල්, ජල බිල්, කඩ කුලිය මේ අයට බලපෑමක් එල්ල නොකිරීම. මේ අයගේ වියදම පවතින්නේ විකුණන භාණ්ඩ නිෂ්පාදනයට එසේත් නැතිනම් මිලදී ගැනීමට වියදම් වන මුදලට පමණයි. නමුත් මෙම පිරිස කොරෝනා කාලයේ නැත්තටම නැති වුණා කිව්වොත් නිවැරදියි.

ක්‍ෂුද්‍ර ව්‍යාපාරවලට සිදුවුණු වාසිය

ක්‍ෂුද්‍ර ව්‍යාපාරවලට මේ වන විට හිමිව ඇති වාසි පිළිබඳවඳ මහාචාර්යවරයා අදහස් දැක්විය.

ආර්ථික අර්බුදයක් සමග භාණ්ඩ මිල ඉහළ යෑම නිසා මිනිසුන් අඩුවට බඩු මිලදී ගැනීමේ ප්‍රවණතාවක් ඇතිවුණා. කලින් සුපර් මාර්කට් ගිය පිරිස පාර අයිනේ එළවළු කරත්තයෙන් එළවළු පලතුරු මිලදී ගැනීමට පුරුදු වෙලා තියෙනවා. මේක මේ අයට එක්තරා විදිහට ලොකු වාසියක් වෙලා.

නගරබදව ඩේලි බිස්නස් කරන කොටසකට ආර්ථික අර්බුදයෙන් යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒ අයගේ ආදායමේ ඉහළ යෑමක් පසුගිය කාලයේම පෙන්නුම් කළේ නැහැ. ඒකට හේතුව ජනතාව විනෝදාස්වාදය සඳහා වියදම් කිරීම උපරිමයෙන් සීමා කරලා තියෙන නිසා. කොරෝනා සමයේ මෙන්ම මේ කාලයේත් ජනතාව එම වියදම් කපා හැරලා තිබෙන්නේ.

කුඩා ව්‍යාපාරිකයන් ණය උගුලේ හිරවීමට හේතු

ක්‍ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරිකයන් ණයකරුවන් වීම සම්බන්ධයෙන්ද මහාචාර්යවරයා අදහස් දැක්විය.

මේ පිරිසට රජයේ හෝ පෞද්ගලික බැංකුවලින් ණය මුදලක් ලබා ගැනීමට නොහැකියි. ඒකට හේතුව ඔවුන්ට ඇපයට තැබීමට තරම් වත්කමක් ඔවුන් සතුව නොමැති වීම. ඒ නිසා මේ පිරිස වැඩි වශයෙන් යොමුවන්නේ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත හෝ ගමේ ගොඩේ පොලියට මුදල් දෙන පුද්ගලයන් වෙතයි.

එසේම, බැංකුවල මෙන් දීර්ඝ ලියකියවලින් තොරව ක්ෂණිකව මුදල් ලබාගත හැකිවීම මෙන්ම වැඩි ඇපකරුවන්ගෙන් තොර වීමත් ඒ කෙරෙහි යොමුවීමට හේතුවක්. නමුත් එම ආයතන මුදල් ලබාදෙන අවස්ථාවේ ආකර්ෂණීය වදන් පැවසුවත් මුදල් ලබා ගත් පසුව අය කරන අධික පොලිය හේතුවෙන් මේ වන විට බොහෝ ව්‍යාපාරිකයන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඒ වගේම මෙරට වාණිජ බැංකු තුළින් සහන හිමිවන්නේත් බැංකු සමග හොඳින් ගනුදෙනු කරන පුද්ගලයන්ට පමණයි. මූල්‍ය අතින් ශක්තිමත් පුද්ගලයන්ට බැංකුව කිසිදු පැකිලීමකින් තොරව ණය ලබා දෙනවා. නමුත් දුර්වල කණ්ඩායම් වෙත අඩු පොලී ණය හෝ සහන කිසිවක් හිමිවන්නේ නෑ.

ක්‍ෂුද්‍ර ව්‍යාපාරවල වටිනාකම

ක්‍ෂුද්‍ර ව්‍යාපාරවල වටිනාකම පිළිබඳ අදහස් දැක්වූ මහාචාර්යවරයා

බොහෝ රටවල් දියුණු වී තිබෙන්නේ එවැනි දේශීය ව්‍යවසායකයන් නිසා. එහි මුල් අදියර එසේත් නැත්නම් මුල් අඩිතාලම තමයි මෙවැනි ක්‍ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරිකයන්. ඒ නිසා ඔවුන් වැඩි වැඩියෙන් දිරිමත් කිරීම, දේශීය අවශ්‍යතාවට සරිලන දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීම හා අතිරික්තය අපනයනය සඳහා ඔවුන්ව යොමු කිරීම රජයේ වගකීමක්. ආණ්ඩුවෙන් සහන හිමිවන්නේත් ඇති හැකි අයට පමණි.

පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබුණේ රුපියල් බිලියන ගණනින් ණයට ගත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය බොල් ණය ලෙස කපා හැර ඇති බවකි. රුපියල් දහසක හිඟ මුදලක් තිබුණත් නඩු දාන පාලකයන් මෙලෙස පොලු තබන පුද්ගලයන් දෙස ඇහැක් ඇර බලන්නේ නැත.

සුපර් මාර්කට් එකෙන් එළවළු ගත්ත අය

ආණ්ඩුවේ අසාර්ථක උත්සාහයන්

ක්‍ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න පිළිබඳ ආණ්ඩුවේ අවධානය පිළිබඳ මහාචාර්යවරයා දැක්වූයේ මෙවන් අදහසකි.

ආණ්ඩු හැම විටම උත්සාහ කරන්නේ සමස්තයටම එකවර උත්තර ලබාදීමට. එය අසාර්ථක ක්‍රමයක්. ආණ්ඩුව එක එක පුද්ගල කණ්ඩායම්, වර්ග කර ඒ අයට තිබෙන ප්‍රශ්න හඳුනාගෙන ඒවාට වෙන වෙනම විසඳුම් ලබාදිය යුතුයි. හැමදෙනාටම අයවැයෙන් පොදුවේ මුදල් වෙන් කළත් එයින් නිසි ඵලක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.

ආණ්ඩුවෙන් බදු නොගසන්නේ ඉපදෙන්නට මවගේ කුසේ සිටින දරුවාටත් මැරුණු පුද්ගලයාටත් පමණි. මව්කුසින් එළියට පැමිණි දා සිටම බදු වදින රටක් බවට ලංකාව පත් වී හමාරය. එහෙව් තත්ත්වයක් තුළ අද අප කතාකරන ක්‍ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ද දැඩි අවුලකට පත්වුණු බව සැබෑවකි. බොහෝ දෙනා සිතන්නේ ඔවුන් නැත්තටම නැතිවූ බවකි. නමුත් එසේ සිදුවී නැත. යම් පිරිසකට ආර්ථික අර්බුදය දැඩි බලපෑම් එල්ල කරන අතර තවත් පිරිසකට මෙම අර්බුදය ආශිර්වාදයක් වී තිබේ. ඒ බව සනාථ වූයේ අප රටේ විවිධ ප්‍රදේශවල මෙවන් පුද්ගලයන් හා කළ කතාබහ හේතුවෙනි.

මුලින්ම අප හා කතාබහට එකතු වූයේ කළුතර නගරයේ සපත්තු මසන්නකු වන ආර්. මුරුගෙසු මහතාය.

අප ඔහුගෙන් විමසූ පළමු පැනය වූයේ මේ වන විට ව්‍යාපාර කටයුතු කොහොමද, සරුයි ද කියාය. එවිට ඔහු සිනාමුසු මුහුණින් පැවසුවේ ඉස්සර අහක බලන් ගිය ලොකු නෝනල මහත්තුරු දැන් ෂෝක් එකට ඔවුන් ගාවට පැමිණෙන බවයි.

ඔහුගේ කතාවේ අර්ථය දැනගැනීමේ අටියෙන් ඒ පිළිබඳ වැඩි විස්තර විමසූ විට ඔහු පැවසුවේ මෙවන් අදහසකි.

මුලින්ම කියන්න ඕන කොරෝනා කාලේ ඉඳන් අපි ලොකු දුකක් වින්දා. ඉස්සර වගේ නෙවෙයි මහත්තයෝ දැන්නම් අපට තරමක් දුරට බිස්නස් සරුයි. ඒ වගේම මේ ආර්ථික අර්බුදයේ බලපෑම අපට නැතුවාම නොවෙයි., ඒත් දැන්නම් කලින්ට වඩා පොඩ්ඩක් අපි වගේ කට්ටියට හොඳයි. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි වෙනදා පොඩ්ඩක් කැඩුණත් පැත්තකට දාන සපත්තු සෙරප්පු හොඳ හොඳ ලොකු නෝනලා මහත්තුරු ඇවිත් යස අගේට මහගෙන යනවා.

ඒ විතරක් නෙවෙයි කුඩ, හෑන්ඩ් බෑග් වගේ දේවලුත් කලින්ට වඩා දැන් නැවත නැවත හදාගෙන පාවිච්චි කරන තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. දැන් මිනිස්සුන්ට බඩුවක් කැඩුණු ගමන් පැත්තකට දාන්න තරම් වත්කමක් නැහැ. ඒක නිසා දැන් බලන්නේ අන්තිම අවස්ථාව දක්වාම ඒවා පාවිච්චි කරන්න. මොනවා වුණත් ඒකෙන් අපේ බිස්නස් ටිකක් වැඩි වෙලා තියෙනවා.

මීළඟට අදහස් දැක්වූයේ පානදුර දුම්රියපළ ආසන්නයේ කරත්තයක එළවළු විකුණන අන්දිරිස් මාමාය. ඔහු පවසන ආකාරයට ඔහුගේද බිස්නස් දැන් වෙනදාට වඩා හොඳය.

එළවළු මිල අහස උසට ගිය නිසා මේ දවස් කීපයේ නම් බිස්නස් එක පොඩ්ඩක් අඩුයි. දැන් ඉස්සර වගේ නෙවෙයි පේමන්ට් එකේ අපි වගේ එළවළු ලෑලි වලට හොඳයි. ඒ වෙන මුකුත් නිසා නොවේ නොවෙයි අපි අඩුවට බඩු දෙන නිසා. ඉස්සර ලොකු ලොකු නම් තියෙන සුපර් මාකට් වලින් එළවළු කරලක් කරලක් තෝරලා අතගාල බලලා ගත්ත නෝනලා මහත්තුරු දැන් පොරකකා අරන් යනවා. මිනිස්සුන්ට දැන් ඕන කොහොම හරි එදා වේල ශේප් කරගන්න. ඒ වගේම මිනිස්සුන්ගේ පිළිගැනීමකුත් දැන් අපට තියෙනවා.

අපට ඉතින් ලොකු ලොකු කඩවල වගේ අර බිල්, මේ බිල් නැහැනේ. ගෙවන්න තියෙන්නේ නගර සභාවට විතරයි. ඒ වගේම මේ දිගටම තියෙන්නෙ එළවළු ලෑලි. ඒක නිසා අපි අතරත් ලොකු තරගයක් දෙන්න ඕනේ බඩු ටික විකුණ ගන්න. මේ ගන්න බඩු සියයට සීයක්ම කොලිටි නැතිවෙන්න පුළුවන්. ඒත් අපි කුණු බඩු විකුණන්නේ නැහැ. හංගල ගහන්නේ නැහැ. ඒක නිසා දැන් මගේ ළඟින් බඩු ගන්න ලොකු නෝනලා මහත්වරු කීපදෙනෙක්ම පුරුදු වෙලා ඉන්නවා. ශේප් එකේ පාඩුවේ බිස්නස් එක කරගෙන යනවා.

බොරැල්ල ප්‍රදේශයේ මත්පැන් අලෙවි හලක් අසල බයිට් වර්ග විකුණන පී. ඒ. නිහාල් මහතාත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙකි. මේ ඔහුට ආර්ථික අර්බුදය බලපාන හැටිය.

ඉස්සර වගේ නෙවෙයි දැන් බිස්නස් බොහොම අඩුයි. වෙනදා පරිප්පු කිලෝ දහයක පහළොවක වගේ වඩේ විකුණුවා. දැන් කිලෝ හතර පහක විකුණ ගන්නෙත් බොහොම අමාරුවෙන්. දැන් බාර් එකට එන පිරිස අඩුයි. එන්නෙ එදා ඉඳන්ම එන, අරක්කු කීයට
ගියත් කාලක් බාගයක් බොන කට්ටිය. ඒ අයට බයිට් ඕනේ නැහැ. නිකන්ම කටේ හලා ගන්නවා. වෙනදා මගෙන් බැදපු මාළුවෙක් ගත්තු කට්ටිය දැන් උපරිම වුණොත් වඩේ එකක් දෙකක් ගනියි.

මේ අහල පහල ඔෆිස්වල කීපදෙනෙක් හැමදාම ගෙදර යද්දි යද්දී වඩේ, රෝල්ස් අරන් යන්න පුරුදු වෙලා හිටියා. මිනිස්සුන්ට දැන් එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්නේ. තේ ටිකක් බොන්න තවත් අමතර දෙතුන් සීයක් වියදම් කරන්න හිතෙන්නෙ නෑ.

කලින් රුපියල් 2000-3000 ආපු ලයිට් බිල දැන් රුපියල් 7000-8000 වෙලා. අපි විඳින දුක් කන්දෙන් ළමයින්ව හරි ගොඩ දාන්න ඕන නිසා මේ දුක් විඳගෙන ළමයින්ට උගන්වනවා. ළඟ තියෙන රත්තරන් බඩුවක් තියල හරි ඒව කරන්න ඕනනෙ.දැන් රත්තරන් බඩු සේරම බැංකුවලට සින්න වෙලා. යාළුවන්ගෙන් ඉල්ල ගත්ත රුපියල් ලක්ෂයක් විතර තියෙනවා ණය ගෙවන්න.

එස්. ඒ. සුසන්ත කුමාර මාර්ගය අයිනේ තැඹිලි විකුණන ව්‍යාපාරිකයෙකි. මේ ඔහුගේ හඬයි

ඉස්සර මේ වගේ පායන කාලයකට තැඹිලි ගෙඩි දෙතුන් සියයක් විකුණ ගන්න පුළුවන්. ඒත් දැන් දවසට තැඹිලි ගෙඩි පනහක් හැටක් විකුණ ගන්නෙත් හරිම අමාරුවෙන්. ඉස්සර තැඹිලි ගෙඩියක් රුපියල් සීයට එකසිය විස්සටත් විකුණුවා. දැන් රුපියල් අසූවකටවත් දෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මිනිස්සු දැන් සල්ලි වියදම් කරන්නේ බොහෝම පරිස්සමෙන්.

බඩු ගන්න සල්ලි හිර කරන්න බයයි. මොකද ඒවා බේරගන්න බැරි වුණොතින් රට වටේට ණයකාරයෝ වෙනවා. තැඹිලිවලට අමතරව මම බුලත් විටත් විකුණනවා. ඊට අමතරව එක එක කාලෙට එන පොඩි පොඩි පලතුරු වර්ග එහෙමත් විකුණනවා. මොනවා කරත් ජීවිතේ ගැට ගහගන්න ලොකු ගේමක් දෙන්න වෙලා තියෙන්නේ. ඒ වෙන මුකුත් නිසා නොවේ ආණ්ඩුවලින් පනවන බදුයි බිලුයි නිසා. මස් මාළු කෑල්ලක් එක්ක ළමයෙකුට කටට රසට කන්න දෙන්න ලොකු ගේමක් දෙන්න වෙලා. මම ග්‍රාමීය බැංකුවකින් රුපියල් ලක්ෂ පහක් ණයට ගත්තා. දැන් ඒකේ වාරික දෙක තුනක් ඇරියස් වෙලා තියෙන්නේ. කන්න බොන්න වියදම් කරහම ණය ගෙවන්න ඉතුරු වෙන්නේ නැහැ. ජීවිතේ හරිම දුෂ්කරයි.

ක්‍ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් එක කොටසකට ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩාවක් ගෙන දී ඇති අතර ඔවුනගෙන්ම තවත් කොටසකට යාන්තම් එයින් ගොඩ යෑමට මාර්ගයක් පෑදී ඇත. ඒ කෙසේ වෙතත් මේවනවිට සෑම කෙනෙක්ම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින බව නම් සත්‍යයකි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment