ලිට්‍රෝ ගෑස් මිල උස්සයි

558

රු. 1045 කින් මිල වැඩි කළ යුතු වුවත් පාරිභෝගිකයා අපහසුතාවට පත් කළේ නෑ – ලිට්‍රෝ සභාපති

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල ඊයේ (04 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 145 කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 3127.00 ක් වේ.

ලිට්‍රෝ ගෑස් මිල උස්සයි

කිලෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 1045 කින් වැඩි කළ යුතු වුවත් සිය සමාගම මිල වැඩි කළේ රුපියල් 145 කින් යැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 58.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1256.00 ක් වේ. කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 26 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 587 ක් වේ. මීට සාපේක්‍ෂව කර්මාන්ත සඳහා සැපයෙන මිල ද ඉහළ ගොස් තිබේ. ගෑස් මිල සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මෙසේද කියා සිටියේය.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඩොලර් 100 කින් පමණ වැඩි වී තිබෙනවා. ගිය මාසයේ මිල වැඩි කළ යුතුව තිබුණත් අපි මිල වැඩි කළේ නැහැ. හැබැයි ගිය මාසයේ අපි දැක්ක ගෑස් මිල වැඩි වන බව. ඒ නිසා වැඩිපුර තොග ඇණවුම් කළ නිසා සත්‍ය ලෙසම කිලෝ 12.5 ක ගෑස් මිල රුපියල් 1045 කින් පමණ වැඩි කළ යුතු වුවත් සමාගම කල්වේලා ඇතිව පැවති මිලට ගෑස් ඇණවුම් කර ගෙන්වා ගත් නිසා අපිත් සුළු ලාභයක් තබාගෙන පාරිභෝගිකයා ද අපහසුතාවට පත් නොවන ආකාරයට ගෑස් මිල වැඩි කරන්න හැකි වුණා.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල පවතින්නේ මීට මාස 07 කට පෙර තිබූ තත්ත්වයකයි. එම වකවානුවේදී කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක් මෙරට අලෙවි කළේ රුපියල් 4187 ක් වැනි මිලකටයි. එදා එසේ කිරීමට සිදුවූයේ නිසි කළමනාකරණයක් නොතිබූ නිසයි. නමුත් අපි එවැනි තත්ත්වයකට පත් වී නැහැ.

දැනට පවතින ගෑස් තොග සම්බන්ධයෙන් කතා කළොත් ලබන වසරේ (2024) ජුනි පමණ වන තෙක් ගැටලුවක් මතුවන්නේ නැහැ. නමුත් ඉන් එහාටත් ගෑස් ගෙන්වා ගැනීම සඳහා මාස කිහිපයක් ගත වන විට ටෙන්ඩර් කැඳවීමකින් සොයා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment