කවුරුන් අවලාද නැගුවත් රට වෙනුවෙන් වැරැදි තීන්දු ගත්තේ නෑ

219

පක්‍ෂ පාට – ජාති – ආගම් – කුලමල භේද අමතක කර එකට නැගිටිමු – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

විවිධ පාර්ශව කොතරම් අවලාද නැගුවත් කිසි විටෙකත් රට වෙනුවෙන් වැරදි තීන්දු තීරණ කරා යොමු නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

‘මැර බලයට එරෙහි ජන බලය’ තේමාකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ආණමඩුව ආසන බල මණ්ඩල රැස්වීම මෙහිදී පැවති අතර ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙය සංවිධානය කර තිබිණි

ජනතාව කුලප්පු කර ප්‍රශ්න විචාරය කරන පමණින් ඒවාට කවදාවත් විසඳුම් ලැබෙන් නැහැ. ඒවාට උත්තර ලැබෙන්නෙත් නැහැ. ඇතමුන් උත්තර කියලා නැවතත් ප්‍රශ්නෙම කියනවා. තවත් සමහරු ප්‍රශ්න වෙනත් විදිහකින් කියනවා. සමහරු අපට අවලාද ගන්නේ ඒ වගේ දිග පළලවත් හරියට දන්නෙ නැතුව. කොවිඩ් වසංගතයෙන් පසුව සිදුවුන ආර්ථික විපර්යාසය ගැන ඔබ කාටත් වැටහීමක් ඇති. ප්‍රතිශක්තිකරණ එන්නත් ගෙනල්ලා ජනතාවගේ ජීවිත බේරෙන්නයි අපි ප්‍රමුඛත්වය දුන්නේ. හැබැයි ඊට පස්සේ ආපු ආර්ථික අභියෝගය අපි කාටත් විශාල අභියෝගයක් වෙලා. මේ ජනතා පීඩනය තමයි ඇතැමෙක් වැරදි විදිහට ප්‍රයෝජනයට ගන්නේ. අදටත් මිනිස්සු උසි ගන්වනවා. හැබැයි රට වෙනුවෙන් වගකීම ගන්න කිව්වම බෑ කියනවා. ඒ නිසා අර කතාවක් තියෙන්නේ පිස්සො කළබල වුනාට දොස්තරලා කලබල වෙන්නෑ කියලා. අපේ ක්‍රමය රට වැටුණ තැනින් ගොඩගන්න මිසක් ආයෙත් මේ රට ආපස්සට ඇදල දාන ක්‍රමය නෙවෙයි.

කවුරුන් අවලාද නැගුවත් රට වෙනුවෙන් වැරැදි තීන්දු ගත්තේ නෑ

ගිනි තියන්න ලේසියි නමුත් හදන්න අමාරුයි. අපි හිට ගන්න ඕන හදන පැත්තෙ. ගිනි තියෙන පැත්තෙ නෙවෙයි. මේ වයඹ පළාතේ ජනතාව භීෂණය ගැන හොඳට දන්නවා. ඒ ගැන අපි අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. මට මතකයි ඉස්සර අපි ඡන්දෙ කළේ මේ පළාතේ නැවතිලා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අපි හඳුනන්නේ ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරය දරණ කාලේ ඉදන්. ඒ නිසා ඔබට මට මතක ඇති මේ ප්‍රදේශ තිබුණු තත්ත්වයෙන් ගොඩ ගන්න අපේ ආණ්ඩු කාලයේ මොනතරම් මැදිහත්වීමක් කළාද කියලා.

මට මතකයි ඇතැම් මංමාවත් පිළිසකර කරද්දී ඔරුවෙන් තමා ගමනාගමනය සිදුවුණේ. අපි පුළුවන් විදියට ඒ හැම තැනටම පාලම් දැම්මා. දූපත් යාකළා. යටිතල පහසුකම් සංවර්ධන කළා. හැබැයි නොකෙරුණු වැඩ කොටසකුත් තියෙනවා. ඒවා ඉටු කරමින් ඉද්දි තමයි මේ ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ. මේ පළාතේ විශාල පිරිසක් ඉන්නේ ධීවර කර්මාන්තයේ නියැලෙන අය. ඒ වගේම තමයි විශාල පිරිසක් ඉන්නවා කෘෂිකර්මාන්තය නියැලෙන අයත්. ඉන්ධන නිසා ධීවර ජනතාවත් පොහොර නිසා කෘෂි කර්මාන්තයේ නියැලෙන ජනතාවත් පසුගිය කාලයේ විශාල ලෙස දුෂ්කරතාවලට මුහුණ දුන්නා. මේ පළාතේ විතරක් නොවේ. රටේ හැමතැනම එහෙමයි.

අද ඉස්සන් වගාව දුෂ්කර තැනකට ඇද වැටිලා. ඒ අයට උදව් අවශ්‍යයි. ඒ අයට උදව් කළොත් විශාල ආර්ථික ප්‍රතිලාභ ලබාගන්න පුලුවන්. අනෙකුත් කර්මාන්තත් එහෙමයි. නිසි වැඩ පිළිවෙළක් ඇතිව ක්‍රමානුකූල ගමනක් ගියොත් මේ ව්‍යාපාර දියුණු කරන එක් අපහසු නෑ. සියයට සියයකින් නැතිවුනත් තියෙන ප්‍රශ්න අපිත් එකිනෙක විසඳමින් යනවා. අපි පිළිගන්නවා මේ ප්‍රශ්න විසඳන්න ඕන. හැබැයි ජනතාව කුලප්පු කරන ප්‍රශ්න විචාරය කරන පමණින් ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ නෑ. හැබැයි හැම ප්‍රශ්නෙකටම මුහුණ දෙන්න වෙන්නේ ප්‍රශ්නවලට බය නැතුව රටේ අභියෝග බාරගන්නා කණ්ඩායමකට විතරයි. අදත් ඊට සුදුසු පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරක් බව ඔබට මතක් කරනවා. ඒකයි අපි කියන්නේ මැතිවරණයකට වුනත් අපි ලෑස්තියි කියලා. සමහර දේවල් අපට වළක්වන්න බැරි දේවල් තියෙනවා.

හැබැයි ඒ එකක්වත් අපේ පරාජයන් නොවන බව හොඳින් මතක තබා ගන්න. මේ සභාවේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම සහෝදරයෙක්ම ඉන්නවා. ඔබ මේ ප්‍රදේශයේ සමගියෙන් ජීවත් වෙනවා. අපි පක්ෂ පාට ජාති ආගම් කුලමල භේද එක්ක ඉදිරියට ගියොත් මේ ප්‍රශ්න එකකටවත් පිළිතුරු හොයන්න බැරි වෙනවා. ඒකයි අපි ඔබට යෝජනා කරන්නේ එක්ව නැගිටිමු කියලා. නැගිටිනවා විතරක් නොවෙයි අපි නැගිටින්නේ මේ රට මුහුණ දෙන ආර්ථික අභියෝයෙන් මේ රට එතෙර කරන වැඩපිළිවෙළ එක්ක බව ඔබට විශ්වාසයෙන් මතක් කරනවා. ඒ නිසා ඒ ගමන වෙනුවෙන් ඉදිරියට යමු යැයි අපි ඔබට ආරාධනා කරනවා.

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක වක්කුඹුර , හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ , අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න යන මන්ත්‍රීවරු මෙහිදී කතා කළහ.

නියෝජ්‍ය කතා කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරුන් වන අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර, ඩී.බී හේරත්, කාදර් මස්තාන්, මොහාන් පී ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, ඩී.බී චානක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, සුදර්ශන දෙනිපිටිය හිටපු පළාත් සභා මන්ත්‍රීන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment