මේක ජනතා අනුමැතියට යටත් අලුත් පක්ෂයක් – පාඨලී චම්පික රණවක

347

43 සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක නව දේශපාලන පක්ෂයත් සමගින් තම දේශපාලනය අලුත් කර ගැනීමට සැරසේ. ඒ එක්සත් ජනරජ පෙරමුණ නමින් නව පක්ෂයක් බිහිකිරීමෙනි. අලුත් පක්ෂයක් බිහිකරමින් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද? මේ ඒ පිළිබඳ පාඨලී චම්පික රණවක ‘ඉරිදා දිවයින සංග්‍රහය’ට පැවැසූ දේය.

ප්‍රශ්නය -මන්ත්‍රීතුමා මොකක්ද ඔබතුමා මේ අල්ලන්න හදන අඩව්ව…?

පිළිතුර – ඇත්තටම රට අලුත් විය යුතුයි. විශේෂයෙන් රට බංකොළොත්. රටේ සම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. නමුත් පක්ෂ හිතනව තාම තමන්ගේ සම්ප්‍රදායික මතවාදවලට, සම්ප්‍රදායික අනුගාමිකයන්ට, සම්ප්‍රදායික ප්‍රතිපත්තිවලින් ඉදිරියට යන්න පුළුවන් කියල. ඒත් අපි හිතනව අපි වෙනස් විය යුතුයි. ඒ නිසා අපි කල්පනා කළා නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරල, ඒක රට ඉදිරියේ තියල රටේ ජනතාවගේ අනුමැතියට යටත් කරන්න. ඒක එක්සත් ජනරජ පෙරමුණ නමින් එළැඹෙන 22 වැනිදා ජනරජ දිනයෙන් මහරගම තරුණ සේවා පරිශ්‍රයේදී සවස 2.30 එළිදක්වනවා.

ප්‍රශ්නය – ඇයි මේ එක්සත් ජනරජ පෙරමුණ කියල නමක් දැම්මෙ..

පිළිතුර – ඇත්තටම අපි 1972දී රට ජනරජයක් වුණා. මෑතදී චාල්ස් කුමාරයා රාජාභිෂේකය කළා. එහෙම කළාම තව රටවල් 17ක් එතුමා යටතට ආව. නමුත් අපි 1953 එළිසබෙත් මහ රැජණ රාජාභිෂේකය කළා. අපි ඒ රාජ්‍යත්වයෙන් ගැලවිලා රට ජනරජයක් කළා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය රට ජනරජයක් කළාට රටේ ජනතාවට පරමාධිපත්‍යය ලැබුණේ නැහැ, අපි ආපහු හැරිල බැලුවොත් යම් ප්‍රභූ කල්ලියක්, රටේ සම්ප්‍රදායික පවුල් කීපයක් විවිධාකාරයෙන් තමන්ට වඩා ගොනුවෙලා ඉන්න අනුගාමිකයෝ, අපි කියනව බයියො කියල, එහෙම නැත්නම් ටෙයියො කියල. එහෙම අනුගාමික පිරිසක් ගැටගහගෙන විටින් විට ජනතාව රවටමින්, රට ඉතා අවිදිමත් විදිහට පාලනය කරමින් ඉන්නවා. එහි ප්‍රතිඵලය හැටියට තමයි අපි බංකොළොත් වෙලා තියෙන්නෙ. ඒ අතර අපි කැරැලිවලට, විප්ලවවලට මුහුණ දුන්න. ඒ සියල්ලේම ප්‍රතිඵලත් අපිට ලැබුණ. ඒ නිසා අපි හිතනව ඉදිරියේ අපේ දරු පරපුර මේ රටේ ජීවත්වෙන්න අපේක්ෂා කරන්නෙ නෑ. ඔවුන්ගේ එකම අපේක්ෂාව රටින් පැනල යන්නෙ කොහොමද කියන එක. අන්න ඒ දරු පරපුරට අපි රට හදමු. රටක ඉන්න හිතෙන රටක් බවට කරමු කියන තේමාව යටතේ නියම ජනතාවගේ රජයක්, සැබෑ ජනරජයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට ඇත්තම ජනරජයක් බිහිකිරීමේ අරමුණ තමයි අපිට තියෙන්නෙ.

ප්‍රශ්නය – මේ අලුත් පක්ෂය බිහිකරන්න පෙර ඔබ 43 සේනාංකය නිර්මාණය කළා. ඒ වගේම ඔබතුමාගේ දේශපාලන ඉතිහාසය ගත්තම එකම පක්ෂයක දිගු කලක් රැඳෙන්නෙ නෑ, මැතිවරණයෙන් මැතිවරණයට පක්ෂ මාරු කරනවා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ මතවාද දරන දේශපාලන පක්ෂවලින් මැතිවරණවලට ඉදිරිපත් වෙනව. ඔබ හිතනවද ජනතාව ඔබ මේ පාරත් විශ්වාස කරයි කියල?

පිළිතුර – පළමුවැනි දේ ලංකාවෙ දේශපාලනය කරපු හැමෝම විවිධ දේශපාලන පක්ෂවල ඉඳල තියෙනව. රටේ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ හිටියා. ඊට පස්සෙ හංසයගෙන් ඡන්දය ඉල්ලුව. එක්සත් ජාතික පෙරමුණෙන් ඡන්දය ඉල්ලුව. අද වෙද්දි අපූරු සන්ධානයක් එක්ක එතුමා අවුරුදු තිහක් විරුද්ධ කටයුතු කළ කඳවුරක් එක්ක එකතුවෙලා වැඩකරගෙන යනව. මහින්ද රාපක්ෂ මැතිතුමා ශ්‍රීලනිපයේ හිටිය, පුටුවෙන් ඡන්දය ඉල්ලුව, බුලත් කොළයෙන් අව, පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලුව. ඒ පක්ෂවල සාමාජිකත්වයන් ගත්ත. මම සාමාජික වෙලා තියෙන්නෙ පක්ෂ දෙකක විතරයි. ඒ සිහළ උරුමය සහ ජාතික හෙළ උරුමය. හැබැයි අපි සන්ධානවල ඉඳල තියෙනව. හැබැයි වැදගත් දේ සන්ධානවල ඉඳීම නෙමෙයි. ඒ සන්ධානවලින් අපි රටට මොනවද ලබාදුන්නෙ කියන එක.

අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඇතුල්වෙලා මේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට පුරෝගාමී මෙහෙයක් කළා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයගෙ තුන් හිතකවත් තිබුණෙ නෑ එල්ටීටීඊ ය පරාජය කිරීමේ අදහසක්. ඒකට අපිට පුළුවන් වුණා මතවාදීමය වශයෙන් දේශපාලනමය නායකත්වය ලබාදෙන්න. ඒක කවුරුත් දන්නවා. මාවිල්ආරු ගිහින් සටන පටන්ගත්තෙ අපි කියල. හැබැයි ඒ ගෞරවය මහින්ද රාජපක්ෂ මහත්තයට දෙන්න මැලිවෙන්නෙ නෑ. හැබැයි එතුමා ඊළඟට තමන්ට ලැබුණු ඒ ගෞරවය අයථා විදිහට පාවිච්චි කරල, රටේ දේශපාලන ඒකාධිපතිත්වයක් හදාගනිද්දි, රට තුළ සංවර්ධනයේ නාමයෙන් විශාල පරිමාණයෙන් රට ණයකාරයෙක් කරද්දි, ඒ හරහා රට මංකොල්ලකන්න එතුමා පවුලෙ අයටත්, අනෙක් අයටත් ඉඩදෙනකොට ඒකට එරෙහිව නැඟී ඉන්නත් අපි මැලිවුණේ නෑ. අපි එදා ඊට විරුද්ධව කළ අරගලය නොවන්නට රට බංකොළොත් වෙන්නෙ අද නෙමෙයි එදා මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලෙ. එනිසා අපි මේ රට ඒ අවස්ථාවෙදි රට ගලවාගත්ත. මම 2007 ඉඳල ඇමැතිකම් කෙරුව. එතනදි මම ආදර්ශයක් දීල තියෙනව. ඒ තමයි දූෂණයෙන් තොරව අමාත්‍යාංශ කරන්න කොහොමද කියල අපි පෙන්නල දීල තියෙනව. රටේ දැවෙන ප්‍රශ්න විසඳල තියෙනව. කොළඹ කසළ ප්‍රශ්නය ගැන දැන් කවුරුවත් කතා කරන්නෙ නෑ. මොකද කසළින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් අපි දාල තියෙනව. හදල පෙන්නල තියෙනව. කොළඹ ගංවතුර ගැන කවුරුවත් දැන් කතා කරන්නෙ නෑ, උමං හදන්න බය වුණ යුගයක උමං හදල අපි ඒ වැඩකටයුත්ත කළා. අපි එදා පොදු ප්‍රවාහනයට ගෙනාපු බස් ප්‍රමුඛතා මං තීරු සහ ඒ සම්බන්ධ අනෙක් වැඩපිළිවෙළ අපිට ක්‍රියාත්මක කරන්න දුන්නනම් මේ රටේ, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කරන්න දුන්න නම් අද මේ රටේ ප්‍රවාහන අර්බුදයක් නෑ. ඒ වගේම ගොඩක් විවේචනයට ලක්වුණු පෝට්සිටිය එකම බිං අඟලක්වත් මේ රටින් පිටට ලබානොදී කිසිම පරිසර හානියක් සිදුකළේ නෑ. මම ආඩම්බරයෙන් කියනව මේ පාර්ලිමේන්තුව මෙගා ව්‍යාපෘති කරපු කණ්ඩායමක් ඉන්නවා ඒ මං සහ මගේ කණ්ඩායම. ඒ නිසා අපි දීල තියෙන්නෙ ආදර්ශයක්. බලන්න විදුලිබල මණ්ඩලය අවසාන වශයෙන් ලාභ ලැබුවෙ 2015 දී. කා යටතේද? ඒ මගේ යටතේ. බිලියන 45ක් පාඩු වෙන්න ගිය ආයතනය කෝටි 2000ක ලාභයකට ගියා. ගාස්තු වැඩිකරල ද, නෑ. ඒ විතරක් නෙමෙයි, මතකද ඩීසල් තිබුණ කියල රුපියල් 95 ට. පෙට්‍රල් තිබුණ රුපියල් 117ට. ඒ යුගය හැදුවෙ අපි. ඒ වගේම විධිමත් නාගරික සංවර්ධනයක් අපි කළා. ඒ කියන්නෙ මතුපිටින් පේන ජොගින් ට්‍රැක් හදල, ගස් හිටවල නගර ලස්සන කරන එක නෙමෙයි, නගර විධිමත්ව අභ්‍යන්තරව ගොඩනඟන ක්‍රියාවලියක් අපි කළා. අපි මෙතන හිටගෙන ඉන්නෙ අමාත්‍යාංශවල යමක් කරල. බංකොළොත්භාවය 2016දී නැවැත්තුවෙ මම.

මේ රට ගොඩගන්න අලුත් පරම්පරාවට ඉඩ නොදෙන විශාල පවුල් බලයක්, වැරදි ධනය මගින් ඇතිකරල තියෙන මාධ්‍ය අවකාශයක් තියෙනව. අන්න ඒක බිඳ දාල මේ රටේ සැබෑ උරුමක්කාරයන්ට රට භාරදිය යුතුයි.

ප්‍රශ්නය – ඔබතුමාට පුළුවන් වෙයිද ඒක බිඳ දාන්න…

පිළිතුර – පුළුවන්. මේක ඉතාම විශාල අභියෝගයක්. කොළඹ පිට පිට බෝම්බ පිපිරෙද්දිත්, ජාතිවාදී කෝලහාල ඇති නොවුණෙ ජාතික නායකත්වයේ අපි හිටපු නිසා. ඒ වගේම අවරගනයේ වැඩ ඒ කියන්නෙ ඔය පසුගිය කාලයෙ ඊනියා වහබ්වාදය, වඳකොත්තු වගේ අවර ගණයේ කතා වෙනුවට ජාතිවාදී පහත් ක්‍රියාවලිය වෙනුවට නෙමෙයි අප කළේ. ඒ කරපු දේ නිසා අද මේ රටේ භික්ෂුන් වහන්සේලාට මොකක්ද වෙලා තියෙන්නෙ. ඒ ඉරණම අත්කරල දුන්නෙ 2019 ඡන්දයෙදි ඉතාම පහත් විදිහට බෞද්ධ මූලධර්ම, ඇදහිලි, බෞද්ධ ජනතාවගේ පිළිගැනීම් කැත විදිහට පාවිච්චි කළා. නිවන් දකින්න පුළුවන් කිව්ව පොහොට්ටුවට ඡන්දය දුන්නොත් මහින්ද මහත්තයට බුදුහාමුදුරුවන්ට නෑකම් තියෙනවා කිව්ව, අපි ඒ වගේ අවර ගණයේ වැඩ කරල නෑ. ඒ වගේම මේ රට ඉදිරියට ගෙනියන්න නම්, දැන් කුසලතාවට මුල්තැන දෙන්න ඕන. එංගලන්තයට පුළුවන් වුණා නම් හින්දු භක්තිකයෙක් ඉන්දියානු සම්භවයක් තියෙන රිතික් සුනාක් තමන්ගේ අර්බුදයට මුහුණ දෙන්න, අපිටත් පුළුවන් වෙන්න ඕන කුසලතාවට අවස්ථාව දීල ඉදිරියට යන්න ඉඩ දෙන්න. සමහර විට දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන් සමහර විට සිංහල වෙන්න පුළුවන්. ජාති භේදයකින් තොරව කුසලතාව තියෙන අයට ඉදිරියට යන්න ඉඩදෙන්න පුළුවන් වෙන්න ඕන. අපි අභියෝග භාරගෙන තියෙනව. අපේ අරමුණ මේ වෙලාවෙ අලුත් කණ්ඩායමකට පාර හදල දෙන එක.

ප්‍රශ්නය – ඔබතුමාගේ ජනාධිපති සිහිනයට යන ගමන වේගවත් වැඩි නැද් ද?

පිළිතුර – ජනාධිපති සිහින ගැන කියන ප්‍රශ්නය තියෙන්නෙ මෙතන. ඒ තමයි අපේ තාත්තත් ජනාධිපති මමත් ජනාධිපති කියන අය තමයි ජනාධිපති සිහින දකින්නෙ. අපිට තියෙන්නෙ මේ රටේ ජනතාව ජනාධිපති කිරීමේ සිහිනය. ඒ වගේම ඒ හැමෝටම වඩා සුදුසුකම් අපිට තියෙනවා. ඔය කියන කවුරුවත් කියන්නෙ නෑ චම්පික රණවකට ජනාධිපති ධුරය දුන්නොත් රට ඉවරයි කියල. කවුරුත් කියන්නෙ නෑනේ නොහැකියාව පිළිබඳ ප්‍රශ්නයක්. අපිට සිහිනයක් තියෙනව. ඒ තමයි මේ රට උරුම ජන කණ්ඩායමක් ඉන්නවා. මේ රටේ අධ්‍යාපනයෙන් මතුවුණු දැන උගත් කණ්ඩායමක් මේ රටේ ඉන්නවා. ඔවුන්ට මේ පවුල්වාදී පිරිස් ඉදිරියට එන්න ඉඩ දෙන්නෙ නෑ. නිතරම තමන්ගේ බයි කණ්ඩායම, අනුගාමික කණ්ඩායම, තමන්ගේ ඡන්ද කුට්ටිය යොදාගෙන මේ අයගේ ඉදිරි ගමන නවත්වනව. අන්න ඒ ඡන්ද කුට්ටිය පරාජය කළ යුතුයි. අන්න ඒක තමයි එකම බාධාව මේ ගලන ගඟට. උතුරෙ නෙල්ලිඅඩි විද්‍යාලයේ ඉඳන් දික්වැල්ලේ විජිත විද්‍යාලය දක්වා පැන නැගිච්ච මේ මහා බලවේගයට තිබිච්ච ලොකු බාධකය තමයි පවුල්වාදී බාධකය. ඒ වටා ගොඩනැගිච්ච ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තියයි, දූෂිත නිලධාරීන් පැලැන්තියයි. මේක බිඳල දාල, මේ ගල කඩා දාල ගඟ ගලන්න ඉඩ දෙන එකම තමයි අපේ බලාපොරොත්තුව.

සැප්තැම්බර් මාසය වෙද්දි බරපතළ අර්බුදයක් එනව. ඒ තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසයෙ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගිහින් අපි අමාරුවෙ වැටුණා. මේ අවුරුද්දෙ සැප්තැම්බර් මාසයට පෙර අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. ඒක කරගන්න බැරිවුණොත් ගිය අවුරුද්දෙ වෙච්චදේ තමයි වෙන්නෙ.

ප්‍රශ්නය – ඔබතුමා එහෙම වෙයි කියන බලාපොරොත්තුවෙන්ද මේ අලුත් පක්ෂයක් හැදුවේ…

පිළිතුර – නෑ… ඇත්තටම රට බේරගන්න.

ප්‍රශ්නය – ඔබතුමාත් එක්ක දේශපාලනය කරපු සගයෙක් ඔබේ දේශපාලන ගමන් මග තුළදී ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනව ද?

පිළිතුර – මෙහෙමයි, දේශපාලනය කියන්නෙ හැමෝම එකතුවෙලා අවසානය දක්වා යන ගමනක් නෙමෙයිනෙ. දේශපාලනයේ විවිධ කට්ටිය ඉන්නව. සමහරු මුදල්වලට යටවෙනව. සමහරු පාව දෙනව. ඒක දේශපාලනයේ ස්වභාවය. හැබැයි ඒ මොන අය ගියත් අපි පෙන්නල තියෙනව නැවත නැවත මේ දේශපාලන ව්‍යාපාරය කරගන්න හැකියාව තියෙනව කියල.

ප්‍රශ්නය – රටක බලය ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ සඳහා අවශ්‍ය සම්පත් ඔබතුමා සතුව සහ ඔබේ වටපිටාවෙ තියෙනව ද?

පිළිතුර – ඒක ගොඩනඟාගන්න ඕන. ඒක ලොකු අභියෝගයක්. නමුත් දේශපාලන උපාය උපක්‍රම කියල දේකුත් තියෙනව. ඒ ක්‍රියාවලියෙදි අපි සාර්ථක වුණා අසාර්ථක වුණා කියල අපේ ඉතිහාසය කියවන කෙනෙක්ට තේරේවි. ඒකයි අපිට බය. කෙසේ නමුත් ඊළඟ ජනාධිපතිවරණයේදි පවුල්වාදී, දූෂිත ගල් කුට්ටිවලට ජාතියේ ඉදිරි මග අහුරන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ ජාතියේ ඉදිරි ගමන අහුරන නව පරම්පරාවට ඒ ගලන ගඟට ඉදිරියට යන්න අවශ්‍ය කැපකිරීම කරන්න අපි ලෑස්තියි.

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමා 2024 ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තරග කරනවා…

පිළිතුර – නෑ, එහෙම එකක් නෑ, එහෙම තරග නොකිරීම නෙමෙයි, ඒ ජනාධිපතිවරණයේදි මේ මහා ප්‍රවාහයට තියෙන බාධාවන් අපි අයින් කරල දෙන්න ඕන. ඒ වෙනුවෙන් අපි කැපවෙනව. කොටින්ම බයියො, ටෙයියො, කයියන් වෙනුවට වැඩ්ඩන්ට ඉඩකඩ සලසාදීම තමයි අපේ අරමුණ.

සංවාදය –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment