අරගලයේ විනාශය නූතන හයිටිය

975

කැරිබියානු කලාපයේ පිහිටි හයිටිය සැලකෙන්නේ එම කලාපයේ වඩාත්ම දුගී රාජ්‍යය ලෙසයි. මෙම රාජ්‍යය ලෝකය හඳුන්වනු ලබන්නේ ජීවත්වීමට තබා සංචාරය කිරීමටත් සුදුසු නැති රාජ්‍යයන් අතරින් එකක් ලෙසය. වර්තමානයේ එම රාජ්‍යය අරාජිකත්වයේ උපරිමයට පැමිණ තිබෙන්නේ එරට පාලන බලය කොල්ලකරුවන්ට පාතාල සාමාජිකයන්ට හිමිව තිබෙන නිසාය. එරට ආණ්ඩුවක් ක්‍රියාත්මක වන්නේ නැත. පොලිසි ගිනි තබා විනාශ කර තිබේ. හිටපු පොලිස් සාමාජිකයෝ පාතාල කණ්ඩායම්වලට නායකත්වය දෙමින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දෙති. මංකොල්ලකරුවන් රටේ මාධ්‍ය ප්‍රකාශකයන් වීම හරහා රටකට ලැබෙන අපමණ අගය කුමක්ද? හයිටි හි වරාය, ගුවන්තොටුපළ ඇතුළු ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථාන මේ වනවිට අවිගත් කල්ලි යටතේ පවතී. කලෙක සශ්‍රීක රාජ්‍යයක් වූ මෙම රටට මෙවන් විපතක් සිදුවූයේ එහි සිටි අදූරදර්ශී පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාය. මීට වසර දෙකකට පෙර ලංකාවේ පැවති අරාජිකත්වය දිගටම පැවතියානම් ලංකාවද කැරිබියානු කලාපය හා සමාන වීමට නියමිතව තිබිණි. ආර්ථික අර්බුදය උඩු දිවීම දේශපාලන අරබුදයක් බවට පත්වේ. රටක පාලනය පාතාල සාමාජිකයන් අතට පත්වීම බඩගින්න නිවෙන්නේ නොව මරණ බිය වැඩිවීමට කාරණයකි. ඇත්තෙන්ම හයිටිය නූතන විශාලාවකි.

ධනවත් හා බලවත් රටවලින් ආධාර පැතීමේ දී දෙවරක් නොව තෙවරක්ම සිතිය යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ බලවත් අවුලකට මුහුණ දීමටය. එසේ විනාශ වූ රටකි හයිටි රාජ්‍යය. ඇත්තෙන්ම හයිටි රාජ්‍යය දීර්ඝ ඉතිහාසයක් ඇති රටකි. උතුරු අත්ලාන්තික් සාගරයේ කැරිබියන් මුහුදේ ඇන්ටිලස් දූපත් සමූහයට අයත්ව කියුබාවට නැගෙනහිරින් පිහිටා ඇති ඩොමිනිකාවට භූමියෙන් සම්බන්ධ වුණු ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති දූපත් රාජ්‍යයක් ලෙස හයිටි රාජ්‍යය හඳුන්වාදිය හැක. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 27,750 කි. මිලියන 11 පමණ ජනතාවක් හයිටි රාජ්‍යයේ වෙසෙති. හයිටියේ ස්වදේශික ජනතාව හඳුන්වනු ලබන්නේ ටයිනෝ නමිනි. මෙහි 95%ක ජනතාව කළු ජාතිකයන්ය. 5% ක සුදු හා මුලාටෝ ජාතිකයන්ය. රටේ බහුතර ජනතාව කතෝලික ආගම අදහනු ලබයි. ඉතිහාසය සුන්දර වුවත් වර්තමානය අවලස්සන නම්, බඩගින්න නිවාගන්න පාන් ගෙඩියක් නැත්නම් කවරක් කරන්නද? වහල් භාවයෙන් මිදීමට විශාල අරගලයක් කර ජයග්‍රහණය කර ලොව පළමු රාජ්‍ය බවට පත්වූ අභිමානවත් ඉතිහාසයක් ඇති හයිටිය එදා කැරිබියන් කලාපයේ මුතු ඇටය ලෙස හැඳින්වුවත් එය අද හඳුන්වනු ලබන්නේ ‘කැරිබියන් දේශයේ ගණිකා මඩම’ ලෙසය.

අගනුවර පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරයකින් හයිටි ජනාධිපති යොවෙනෙල් මොයිස් ඝාතනය වූයේ 2021 ජුලි මාසයේදීය. එතැන් පටන් බලවත් අස්ථාවරත්වයක් ගොඩනැඟෙන්නට විය. අලුයම එකට පමණ හඳුනා නොගත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පොර්ට් – ඔ – ප්‍රින්ස් අගනුවර පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදී මෙම ප්‍රහාරය කර තිබිණි. ජනපති මන්දිරයට ප්‍රහාර එල්ල කිරීමට තරම් අනාරක්ෂිත තත්ත්වයක් ගොඩනැඟීම හරහා අද සිදුව ඇත්තේ එරට බලය පාතාලයට නතුවීමය. ඇමෙරිකානු හමුදා භටයෝ හයිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය කිරීමට ගොඩ බැස තිබේ. අවසානයේ හයිටි රාජ්‍යයම ඇමරිකානු බලයට නතුවුවහොත් ඒ ගැන පුදුම නැත. සමහරවිට හයිටියට ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරනු පිණිස ඇමෙරිකාව මැදිහත්විය හැකිය. ඇමරිකාව මුලින්ම හයිටිය ආක්‍රමණය කරනු ලබන්නේ 1991 වර්ෂයේදීය. ඒ එවකට හයිටියේ සිටි සන්නද්ධ හමුදාපති ජින් බර්ට්‍රන් ඇරිස්ටයිඩ් බලයෙන් පහකිරීමට මැදිහත්වූ අවස්ථාවේදීය. ඇමරිකාව සිය ත්‍රිවිධ හමුදාව මෙන්ම වෙරළ ආරක්ෂක හමුදාව පවා හයිටියට ඇතුල් කරනු ලැබීය. මෙම අරගලය අතරතුර හයිටි සාමාන්‍ය වැසියන් 300 කට අධික පිරිසක් මියගිය අතර ඇමරිකාව හයිටිය හඳුන්වා දෙනු ලැබුවේ මානව හිමිකම් කඩවන දූෂිත රාජ්‍යයක් ලෙසය. කවරක් නමුත් අරගලවලින් බලය පෙරළන්නට හදන අයට ලබා දිය හැකි හොඳම උදාහරණය හයිටිය වේ. අරගල නිසා සුරැකෙන රටක් නම් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment