අඩුවන විට අඩු නොවන බැංකු ණය පොලිය

3928

● ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොවේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඉකුත් ජනවාරි මස 22 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කළේය. එනම් මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 9.00 සහ සියයට 10.00 ලෙස දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත. මේ බව ඊට පසුදින (23) නිකුත් කළ මහ බැංකුවේ 2024 ජනවාරි මස මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ සඳහන් වේ. එහෙත් මීට පෙර කිහිප විටක්ම මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කර මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කර ඇත. ඒ සෑම විටකම මහ බැංකුව කියන්නේ ඊට අනුරූපව වෙළෙඳපොළ පොලී අනුපාත ද අඩු විය යුතු බවයි. එනම් බැංකු සහ මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාත ද අඩු විය යුතු බවයි. බැංකු සහ මූල්‍ය ආයතනවල තැන්පතු පොලී අනුපාත නම් මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කළ වහාම එම ආයතන විසින් අඩු කරනු ලබයි. මේ නිසා ප්‍රශ්නය තිබෙන්නේ ණය පොලී අනුපාත සම්බන්ධයෙනි.

මේ අවස්ථාවේ මහ බැංකුවේ පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට ගත් තීරණය ගැන මහ බැංකුව මෙසේ පවසයි.

‘ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5 ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. නුදුරු කාලීනව උද්ධමනය ඉහළ යෑම සඳහා පීඩන ඇති කළ හැකි බදුකරණයේ සහ සැපයුම් අංශයේ සාධකවල මෑත කාලීන ප්‍රවණතාවන්හි බලපෑම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කළේය. කෙසේ වෙතත්, එම මෑතකාලීන ප්‍රවණතාවල බලපෑම මගින් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්මෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය.’

අඩුවන විට අඩු නොවන බැංකු ණය පොලිය

● ජනවාරි උද්ධමනය තවත් ඉහළට

මේ මාසයේ මුල සිට වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කළ නිසා මෙන්ම භාණ්ඩ රැසකට සියයට 0 සිට සියයට 18 දක්වා අලුතින්ම වැට් බද්ද පැනවීම නිසා මේ මාසයේ සිට එම භාණ්ඩවල සැලකිය යුතු මිල වැඩි වීමක් සිදු වනු ඇත. ඒ නිසා මේ මාසයේ උද්ධමනය ද සැලකිය යුතු ලෙස වැඩි වනු ඇත. එය පෙරේදා (23) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවේ දී ද ප්‍රකාශ විය. මේ අනුව 2024 ජනවාරි මාසය තුළ දී උද්ධමනය සියයට 7 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

විශේෂයෙන්ම වැට් බදු වැඩිවීම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සැපයුම් අංශයට සිදු වූ බලපෑම මත මෙලෙස උද්ධමනයේ ඉහළ යෑමක් සිදුවිය හැකි බවට මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. කෙසේවෙතත් කෙටිකාලීනව බලපා ඇති කාලගුණික තත්ත්වයන් මේ වන විට ස්ථාවර වෙමින් පවතින බවත්, එය තාවකාලික වැඩිවීමක් පමණක් බවත් අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ අනුව ඉදිරියේ දී මහ බැංකුවේ අපේක්ෂිත උද්ධමන ඉලක්කය වන සියයට 5 ක මට්ටමේ, එනම් සියයට 4 – 6 පරාසය තුළ සාමාන්‍ය වශයෙන් උද්ධමනය තබා ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියේය. මේ ගැන ජනවාරි මස නවතම මුදල් ප්‍රතිපත්ති විවරණයේ මෙසේ සඳහන් වේ.

‘මෑත කාලීන බදු සංශෝධන සහ සැපයුම් අංශයේ බාධාවල බලපෑම නුදුරු කාලීනව ඉවත්ව යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් උද්ධමනය ඉලක්කගත මට්ටමේ ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2024 ජනවාරි 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීම හා ඇතැම් එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් ඉවත් කිරීම හේතුවෙන් දේශීය මිල ගණන් ඉහළ යෑම, දේශීය ආහාර සැපයුමේ බාධා සහ හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම අඩු වීම හේතුවෙන්, අපේක්ෂිත පරිදි, උද්ධමනය නුදුරු කාලීනව ඉහළ යනු ඇතැයි පුරෝකථනය කෙරේ. කෙසේ වෙතත්, උද්ධමනයේ මෙම නුදුරු කාලීන වැඩි වීම තාවකාලික වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ආර්ථිකයේ පවතින අඩු යටිදැරි ඉල්ලුම් තත්ත්ව හේතුවෙන් එවැනි එක් වරක් පමණක් ඉහළ යෑමේ වක්‍ර බලපෑම් පාලනය වනු ඇත.’

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 4.0 ක් වූ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 4.2 ක් ලෙස ද වාර්තා වී ඇත. මේ උද්ධමනය මේ මාසයේ සියයට 7 දක්වා ඉහළ යෑම යනු සැලකිය යුතු වැඩි වීමකි. උද්ධමනය දිගුකාලීනව සියයට 5 ක මට්ටමේ පවත්වාගෙන යෑමට හැකි වීමෙන් අදහස් කරන්නේ රටේ පොදු මිල මට්ටම වැඩි වීමේ වේගය සියයට 5 ක මට්ටමේ පාලනය කර ගැනීමට හැකිවනු ඇති බවයි. එහෙත් එහි අදහස ජනවාරි මාසයෙන් පසු බඩු මිලේ අඩුවීමක් සිදු වීම නොව තවදුරටත් සාමාන්‍ය වශයෙන් මාසිකව සියයට 5 කින් බඩු මිල වැඩි වෙමින් පවතින බවය. ඒ බව මහජනයා තේරුම් ගත යුතුය.

● ලබාගත් ණයවල පොලී අනුපාත

මේ වන විට පොලී අනුපාතවල සැලකිය යුතු අඩු වීමක් සිදුව තිබුණත් ඇතැම් බැංකු ප්‍රමාණවත් ලෙස තවමත් ණය පොලී අනුපාත අඩුකර නොමැති බව රහසක් නොවේ. බැංකුවලින් ණය ලබාගත් ඇතැම් ණය ගැනුම්කරුවන් අපට පවසන්නේ පසුගිය කාලයේ පොලී අනුපාත වැඩි වූ විට බැංකු විසින් තම ණය මුදල් සඳහා අය කරන පොලී අනුපාත වැඩි කළ නමුත් මහ බැංකුව විසින් මේ වන විට කිහිප අවස්ථාවක්ම පොලී අනුපාත අඩු කළ නමුත් ඒ වාසිය තමන්ට එම බැංකු විසින් ලබා නොදෙන බවයි. මේ ප්‍රශ්නය තිබෙන්නේ විශේෂයෙන්ම දැනටමත් ලබාගෙන ඇති බැංකු ණය සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙස ඇතැම් බැංකු විසින් තවමත් ප්‍රමාණවත් ලෙස ණය පොලී අනුපාත අඩුකර නොමැති බව මහ බැංකුව පිළි ගන්නා කරුණකි. මේ සම්බන්ධයෙන් එම අදාළ බැංකු සමග සාකච්ඡා කරන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි. මහ බැංකුවට එක් එක් බැංකු ණය ගැනුම්කරුවා සම්බන්ධයෙන් වෙන වෙනම සොයා බැලිය නොහැකි බව සත්‍යයකි. එහෙත් ඔවුන්ගේ ණයවලට පොලී අනුපාත වැඩිවෙන විට අදාළ බැංකු විසින් පොලී වැඩිකරත් පසුව පොලී අඩුවෙන විට එම බැංකු විසින් පොලී අඩු නොකරන්නේ නම් එය ප්‍රශ්නයකි. එය එම ණය ගැනුම්කරුවන්ට සිදුවෙන අසාධාරණයකි. මේ සම්බන්ධයෙන් මහ බැංකුව කඩිනමින් සොයා බලා පියවර ගන්නේ නම් මැනවි.

● ණය පොලිය අඩු කිරීමට ඇති අවකාශය

පැරණි ණය සම්බන්ධයෙන් පමණක් නොව අලුතින් ගන්නා ණය සම්බන්ධයෙන් ද තවදුරටත් ණය පොලී අනුපාත අඩු කිරීමට හැකියාව තිබෙන බවට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට පෙනී ගොස් ඇත. එනම් පෙර ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග (එනම් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීම්) මෙන්ම රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ අවදානම් අධිමිල පහළ යෑම හේතුවෙන් වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම සඳහා ඇති අවකාශය පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙවර අවධානය යොමු කර ඇත.

වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිලාභ මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර හා පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස හා කඩිනමින් ලබා දිය යුතු බවට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කර ඇත. ඒ නිසා මේ කාරණය ගැන මහ බැංකුව මීට වඩා මහජනයාගේ පැත්තෙන් ක්‍රියාත්මක විය යුතු බව අපගේ අදහසයි. මේ අප කියන්නේ

පසුගිය කාලයේ බැංකු පොලී අනුපාතවල අඩුවීමක් සිදුව නැති බව නොවේ. මේ අනුව ලිහිල් මුදල් ප්‍රතිපත්තිය සහ සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතික අඩු කිරීමට ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ගවලට අනුකූලව වෙළෙඳපොළ පොලී අනුපාතික අඛණ්ඩව පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහෙත් මේ අතරම තවමත් ප්‍රමාණවත් ලෙස ණය පොලී අනුපාත අඩු කිරීමක් සිදුකර නැති බැංකු සම්බන්ධයෙන් මහ බැංකුවේ යම් මැදිහත් වීමක් අවශ්‍ය බව අපි එම බැංකුවල බැංකු ණය ගැනුම්කරුවන්ගේ පැත්තෙන් කියා සිටිමු.

● ආර්ථික ක්‍රියාකාරිත්වය ඉහළට

අපේ ආර්ථිකය මේ වන විට ඍණ ආර්ථිකයකින් ධන ආර්ථිකයකට පරිවර්තනය වෙමින් තිබේ. මේ අනුව මහ බැංකුව පවසන පරිදි අඛණ්ඩව කාර්තු හයකදී සංකෝචනය වීමෙන් පසු ගිය වසරේ (2023) තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය ධන වර්ධනයක් වාර්තා කර ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇස්තමේන්තුවලට අනුව 2023 තුන්වන කාර්තුවේදී ආර්ථිකය සියයට 1.6 කින් වර්ධනය වී ඇත. මෙය කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශවල වර්ධනයන් මගින් සහාය දැක්වූ ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් පදනමකින් වර්ධනය වීමක් වේ. වෙළෙඳපොළ පොලී අනුපාතික වෙත ලිහිල් මුදල් ප්‍රතිපත්ති වේගවත්ව සම්ප්‍රේෂණය වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ණය ඉල්ලුම ඉහළ යෑම, ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ අපේක්ෂා වර්ධනය වීම, සැපයුම් තත්ත්ව වැඩිදියුණු වීම සහ විදේශීය ඉල්ලුම් තත්ත්වයන්හි අපේක්ෂිත ක්‍රමික වර්ධනය මගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල යථා තත්ත්වයට පත්වීම තවදුරටත් තිරසාර ලෙස සිදුවෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මෙසේ රටේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධන වීමෙන් ආර්ථික වර්ධනය වේගවත් වීමටත් එය හේතුවනු ඇත.

● මහ බැංකුවේ මාධ්‍ය සන්නිවේදනය

මූල්‍ය සහ ආර්ථික කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන් වශයෙන් අප හැමවිටම උත්සාහ කරන්නේ අපේ පාඨක ජනයාට ඉතා ඉක්මනින් වේගවත්ව නිවැරදි තොරතුරු ලබා දීමටයි. මෙහිදී අපට මහ බැංකුවේ නිවේදන මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන වශයෙන්ම එවන්නේ ඊමේල් මගිනි. එසේම මෑත දී මාධ්‍ය වට්ස්ඇප් සමුහයක් ද මහ බැංකු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සකසා ඇත. එය ද අපට වඩාත් පහසුවකි. මෙහිදී මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති මාධ්‍ය නිවේදන මාධ්‍යයට එවීමේ දී මුලින්ම එවන්නේ ඉංග්‍රීසි නිවේදනයයි. සිංහල නිවේදනය එවන්නේ පැය කිහිපයක ප්‍රමාදයකින් පසුවය. එම ප්‍රමාදය හැකි නම් අවම කර ගන්නා ලෙස පෙරේදා (23) මහ බැංකු මාධ්‍ය හමුවේ දී මේ ලියුම්කරු ඉල්ලා සිටි නමුත් එම ප්‍රමාදය අප ලොකු ප්‍රශ්නයක් කර ගත්තේ නැත. මේ මූල්‍ය ප්‍රතිපත්ති සිංහල මාධ්‍ය නිවේදනය අපට වෙනදා මාධ්‍ය හමුව යන අතරතුර අපට ඊමේල් මගින් ලැබේ. මේ නිසා අප බලා සිටින්නේ අපේ ඊමේල් එක හෝ මහ බැංකුවේ මාධ්‍ය වට්ස්ඇප් සමූහය දෙසය. එහෙත් පැය හතරක් ඉක්ම ගිය ද එය නොලැබී තිබුණු බැවින් මහ බැංකුවේ මාධ්‍ය නිවේදන ගැන වෙනත් මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට සමගාමීව මමද මේ බව සිහිපත් කළෙමි. එය අවධානයට ගන්නා බව මහ බැංකු අධිපතිවරයා ඉතා නිහතමානීව සඳහන් කළේය. එහෙත් පසුව ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි නිලධාරිනියක් සඳහන් කළේ උදේ 11.00 ට පෙර මහ බැංකු වෙබ් අඩවියට එම මාධ්‍ය නිවේදනය අප්ලෝඩ් කර ඇති බවයි. එය යන්නේ කොහෙද ඇසූ විට මල්ලේ පොල් වැනි පිළිතුරකි. අපට අවශ්‍ය තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය වූ විට මහ බැංකු වෙබ් අඩවිය පරිශීලනය කරන නමුත් මහ බැංකුව අපට නිවේදන එවන්නේ ඒවා වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීමෙන් නොවේ. එසේ නම් ඒවා ඊමේල් කිරීමට හෝ මාධ්‍ය වට්ස්ඇප් සමූහයක් ද අවශ්‍ය නොවේ. එම නිවේදනය මේ ලියුම්කරුගේ ඊමේල් එකට ලැබුණේ එදින උදේ 11.53 ටය. පෙර කී නිලධාරිනියගේ පිළිතුර අනුව මහ බැංකු මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝව බලන අය සිතනු ඇත්තේ ඇත්ත වශයෙන්ම එම නිවේදනය මාධ්‍ය වෙත එදින උදේ 11.00ට පෙර යවන්නට ඇති බවය. එම ප්‍රමාදය අප ලොකු ප්‍රශ්නයක් කර ගත්තේ නැතත් මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් කටයුතු කළ ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා කියන්නේ නම් මෙය ලොකු ප්‍රශ්නයක් කරගත යුතු බවයි. සිංහල සහ දෙමළ යනු මේ රටේ රාජ්‍ය භාෂාවන්ය. ඔහු කියන්නේ “අපි වැඩ කරන කාලේ සිංහල සහ දෙමළ පිටපත යවල තමයි ඉංග්‍රීසි පිටපත යැව්වේ” කියාය. ඒ කලකට පෙර මහ බැංකුව කටයුතු කළ හැටිය. ඒ සිහිපත් කිරීමට ඔහුට ස්තුතියි. ඒ. එස්. ජයවර්ධන අධිපතිතුමාගේ කාලයේ සිටම මහ බැංකු මාධ්‍ය හමුවලට යන මේ ලියුම්කරුට ඒ අතීතය මතකය. කාලය වෙනස් වී ඇත. මේ රටේ රාජ්‍ය භාෂා දෙවන සහ තෙවන තැනට ඇද වැටී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment