චාල්ස් ඩාවින් – ජීවයේ උපත – පිටසක්වල

1092

චාල්ස් ඩාවින් උපත ලැබුවේ 1809 පෙබරවාරි 12 වන දින එංගලන්තයේ ෂ්රූස්බරි නම් කුඩා වෙළෙඳ නගරයේ ය. ස්වභාවධර්මය ගවේෂණය කිරීමට කැමති ධනය සහ වරප්‍රසාද ඇති පවුලක දරුවකු ලෙසින් ඔහු ඉපදිණි. ඩාවින්ට සහෝදර සහෝදරියන් පස් දෙනෙක් විය. ඔහුගේ පියා ආර්. ඩබ්ලිව්. ඩාර්වින් වෛද්‍යවරයකු වූ අතර ඔහුගේ සීයා ආචාර්ය ඉරැස්මස් ඩාවින් කීර්තිමත් උද්භිද විද්‍යාඥයෙකි. ඩාවින්ගේ මව සුසානා මිය ගියේ ඔහුට වයස අවුරුදු අටේදීය.

19 වැනි සියවසට පෙර දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා මැවූ බව මිනිසුන් විශ්වාස කළහ. නමුත් මානව පරිණාමය ස්වභාවිකව සිදුවන බව මුලින්ම පැහැදිලි කළේ ඩාවින් ය. චාල්ස් ඩාවින් හඳුන්වා දෙන තුරුම බොහෝ දෙනා විශ්වාස කළේ සියලු ජීවීන් දේව බලයකින් පිළිසිඳ ගත් බවයි. ඔහු මිනිසාගේ සම්භවය පිළිබඳ නව අර්ථකථනයක් ලබා දුන්නේය. ඩාවින් ඉතිහාසයේ ප්‍රමුඛතම විද්‍යාඥයා බවට පත් කළේ මෙම අර්ථ නිරූපණයයි. ඔහුගේ පර්යේෂණ සිදු කර එළි දැක්වීමට වසර 20ක් ගත විය. වයස අවුරුදු 22 දී ඔහු ඉගෙන ගත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව දිගු ගමනක් ගියේය. 1831 දී, ඔහු HMS බීගල් නෞකාවෙන් ලොව පුරා පස් අවුරුදු ගමනක් ආරම්භ කළ අතර, එම කාලය තුළ ඔහු විවිධ ශාක පිළිබඳ අධ්‍යයනයන් සිදු කළ අතර ඔහුගේ න්‍යායන් එළි දැක්වීමට කටයුතු කළේය. ඩාවින් බීගල් නැවෙන් දකුණු ඇමරිකාව බලා යාත්‍රා කළේය. එහිදී ඔහු මිනිසාගේ පරිණාමය පිළිබඳ පළමු ඉඟිය ලබා දුන් පළමු පොසිල රැස් කළේය. ඩාවින් ගැලපගෝස් දූපත්වලට ගිය විට විශාල කැස්බෑවන් දුටුවේය. එම කැස්බෑවන් විවිධ ලක්ෂණ සහිත විවිධ දූපත්වල ජීවත් විය. කැස්බෑවන් තම පැටවුන් වෙනස් කිරීම හරහා නව වර්ගයක් බවට පත් වන තුරු පුහුණු කරන බවත් උන්ගේ වෙනස්කම් පරිණාමයේ ප්‍රතිඵලයක් බවත් ඩාවින් වටහා ගත්තේය. 1859 දී ඩාවින් ජීවීන්ගේ සම්භවය පිළිබඳ ඔහුගේ පොත ප්‍රකාශයට පත් කළේය. ඉන් පසු ඔහු විද්‍යාවෙන් ඔබ්බට ප්‍රසිද්ධ විය.

චාල්ස් ඩාවින් - ජීවයේ උපත - පිටසක්වල

ඔහුගේ සොයාගැනීම් 19 වැනි සියවසේ බ්‍රිතාන්‍යයේ පර්යේෂණවල අඩිතාලම දෙදරා ගියේය. විවිධත්වය පැමිණියේ දෙවියන්ගෙන් නොව විද්‍යාවෙන් බව ඩාවින් පැහැදිලි කළ අතර වැඩිදුර පර්යේෂණ සඳහා මග පෑදුවේය. ඩාවින් මිනිසා සියලු ජීවීන් මෙන් එකම වේදිකාවක තැබීය. ඒ අතරම, කතෝලික සභාව ප්‍රකාශ කළේ පරිණාමය ඇදහිල්ල හා සම්බන්ධ බවයි. අදින් වසර 160කට පසු ඩාවින්ගේ න්‍යාය බොහෝ දෙනා දන්නා කරුණකි. පරිණාමය සැබෑවක් බව අපි දනිමු. ග්‍රහලෝකය වෙනස් වෙමින් පවතී, අපිත් එසේමය. කෙසේ නමුත් පරිණාමය පිළිබඳ න්‍යාය මත වැඩ කළ පළමු පුද්ගලයා ඩාවින් නොවේ. ක්‍රි.පූ. 7 වැනි සියවසේදී පවා පරිණාමය පිළිබඳ ඉඟි පළ කළ න්‍යායන් බහුලව පැවති අතර 19 වැනි සියවසේ මුල් භාගයේදී පවා ජීන් බැප්ටිස්ට් ලැමාර්ක් ඉතා ජනප්‍රිය පරිණාමවාදයක් යෝජනා කළේය. නමුත් ඩාවින් කළේ, ඔහු පරිණාමවාදයට වෙනස් හැඩයක් ලබා දීමයි.

බුදුන් වහන්සේ වසර 2500කට පෙර වදාළේ කුමක්ද ? අග්ගඤ්ඤ සූත්‍රය ලෝක ප්‍රභවය හා සමාජ ප්‍රභවය පිළිබඳව ඉගැන්වෙන බෞද්ධ ත්‍රිපිටකයට අයත් වැදගත්ම සූත්‍රයයි. බුදුන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කළේ විශ්වය පිළිබඳව ජනතාවට කරුණු කියා දීමට නොවේ. වාසෙට්ඨ හා භාරද්වාජ යන බමුණන් දෙදෙනා අතර පැවති අදහස්වල සාවද්‍ය බව සාක්ෂි සහිතව පෙන්වා දීමටය. “වාසෙට්ඨ, දීර්ඝ කාලයකට පසු මේ ලෝකය වැනසෙන කල්හි බොහෝ සත්ත්වයෝ මෙයින් චුතව ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඕපපාතිකව උපදිති. ධ්‍යාන චිත්ත බලයෙන් උපන් ඔවුහු ප්‍රීතියම ආහාරකොට ගෙන තමන්ගේම ශරීර ආලෝකයෙන් බබළවමින් ආකාශයෙහි හැසිරෙති. කල්යාමෙන් යළිත් මේ ලෝකය හට ගන්නා කල්හි ඒ සත්ත්වයෝ මිනිස් ලොව ඕපපාතිකව පහළ වෙති” නූතන පර්යේෂණ අනුවද ජීවයේ උපත සහ පිටසක්වළ ගැන සම්බන්ධයක් දක්වා ඇත. කොලොම්බියානු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් ජීව ග්‍රාහකයන් පෘථිවියට පැමිණීමට පෙර අඟහරු ග්‍රහයා මත උපන් බව අනාවරණය කරති. ඒ අනුව ඔවුන්ගේ අදහස වන්නේ පෘථිවියේ ජීවත් වන සියලු දෙනා පිටසක්වලින් පැමිණි ජීවීන්ගෙන් පරිණාමය වී ඇති බවයි. ඇත්තෙන්ම බුදුන් වහන්සේ ලෝකය දෙආකාරයකින් පෙන්වා දෙති. “මහණෙනි, මේ ලෝකයේ ආරම්භය අවිනිශ්චිතය. අවිද්‍යාවෙන් හා තෘෂ්ණාවෙන් මෙහෙයවනු ලැබ ජාතියෙන් ජාතිය සැරිසරන සත්ත්වයන්ගේ ආරම්භය ද පෙන්විය නොහැකිය.”

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment