ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධ කරුණු විමසීම සඳහා එහි නිලධාරීන් අනිද්දා (05) පෙ.ව. 10.30ට පැවැත්වෙන පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර තිබේ. පෙරේදා (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩය, පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට ද කැඳවීමට නියමිතය. මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව මේ ලියුම්කරුට කියා සිටියේය. මේ අනුව මෑතක දී සිදුකරන ලද ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් අනිද්දා පක්ෂ නායකයන්ට සහ පසුව මුදල් කාරක සභාවට ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කිරීමට නියමිත බව අපට දැනගන්නට තිබේ. මේ විශාල වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද අදහස් පළ කර ඒවා මාධ්‍ය හරහා සමාජගත වී ඇත. මේ සම්බන්ධයෙන් මහජනතාව තුළ ද බලවත් විරෝධයක් ඇත. මේ නිසා මහ බැංකු නිලධාරීන් සඳහා මේ වැටුප් වැඩිවීම සිදු වූයේ කෙසේ ද සහ ඊට හේතු වූ කරුණු මොනවා ද යන්න ගැන පැහැදිලි කර ගැනීම වැදගත්ය. එහෙත් මහ බැංකුව මුදල් කාරක සභාවට පැමිණ අදාළ වැටුප් වැඩි කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කර එම වැටුප් වැඩි කිරීමට මහ බැංකුවට එලෙසම ඉඩ ලැබෙනවා නම් ඵලක් නැත. සාමාන්‍ය මහජනතාවට නම් අවශ්‍ය වන්නේ රටත්, ජනතාවත් අමාරුවෙන් සිටින, ආර්ථික පීඩාවේ වේදනා විඳිමින් සිටින මේ අවස්ථාවේ මෙතරම් විශාල වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට ඉඩ නොදීමයි.

පඩි වැඩි කළ හැටි අහන්න මහ බැංකු ලොක්කෝ පාර්ලිමේන්තුවට

මේ පසුබිම තුළ මහ බැංකු පාලක මණ්ඩලය පාර්ලිමේන්තුවට කැඳවීම ගැන වෙනදාට වඩා මහජන අවධානයක් ඇති බව අපගේ අදහසයි. මේ රැස්වීමේදී මහ බැංකුව විසින් එම වැටුප් වැඩි කිරීම ගැන ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කරනු ඇත. එහෙත් එය එලෙසම පිළිගැනීමට ඔවුන් බැඳී නැති අතර එහි සිටින පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ට මේ ගැන ප්‍රශ්න රට සහ ජනතාව සිටින අමාරු තත්ත්වය හමුවේ මහ බැංකුව විසින්ම ඔවුන්ගේ වැටුප් මෙසේ වැඩි කර ගැනීමේ තාර්කිකභාවය, සාධාරණත්වය සහ සදාචාරය ගැන ප්‍රශ්න කළ හැකිය. නව මහ බැංකු පනත අනුව ඔවුන්ට එසේ වැටුප් වැඩි කර ගැනීමේ නෛතික හැකියාව තිබිය හැකිය. ඒ ගැන අප ප්‍රශ්න කරන්නේ නැත. එහෙත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා නම් ඒ ගැන ප්‍රශ්න කරමින් කියා තිබුණේ මහ බැංකුවට ඔවුන්ගේ වැටුප් ගණනය කළ හැකි වුවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. පාර්ලිමේන්තු කටයුතුවලටත් වෙනම පනතක් තිබෙන නමුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩි කිරීමට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව ද ඔහු සඳහන් කර තිබුණි. මේ නිසා නව මහ බැංකු පනත අනුව තමන්ට ඕනෑම ආකාරයකින් මෙසේ වැටුප් වැඩි කර ගැනීමේ හැකියාවක් තිබේ ද යන්නත් මුදල් කාරක සභාවේ දී පුළුල් වශයෙන් සාකච්ජා කෙරෙනු ඇති බව අපට සිතිය හැකිය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මහ බැංකු සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම, මහ බැංකු සේවකයන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් තීරණය කිරීමට එවකට මුදල් නීති පනත යටතේ මුදල් මණ්ඩලයටත්, වර්තමානයේ දී ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව එහි පාලක මණ්ඩලයටත් බලය පැවරී ඇති බවයි. 2000 වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමනාකාරීත්වය සහ එහි පිළිගත් වෘත්තිය සමිනි අතර වසර 03 කට වරක් ඇති කරගනු ලබන සාමූහික ගිවිසුමක් යටතේ එහි සේවකයන්ට අදාළ වැටුප් සංශෝධන සිදුකරනු ලබයි. මෙම වැටුප් සංශෝධන වලදී ගිවිසුම මගින් ආවරණය වන වසර 03 ක කාලය තුළ අපේක්ෂිත උද්ධමනය, අනෙකුත් වෙළෙඳපළ තත්ත්වයන් සහ වෘත්තීය සංගම්වලින් ඉදිරිපත් කරනු ලබන සාධාරණ ඉල්ලීම් ද සලකා බලනු ලබයි. මේ සම්බන්ධයෙන් මහ බැංකු වෘත්තීය සමිති සහ මහ බැංකුවේ කළමනාකාරීත්වය අතර සාකච්ඡා පවත්වනු ලබයි. එම සාකච්ජා මත පදනම්ව අවසන් එකඟතාවකට පැමිණීම සිදු වේ. පසුව එම එකඟතාව එවකට නම් මුදල් මණ්ඩලයේ ද වර්තමානයේ නම් මහ බැංකු පාලක මණ්ඩලයේ ද අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබයි. මේ සදහා පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු කළමනාකාරීත්වය සහ පිළිගත් වෘත්තීය සමිති අතර සාමූහික ගිවිසුම අත්සන් කිරීම සිදු කරයි. වසර තුනකට වරක් මහ බැංකුවේ වැටුප් සංශෝධන සිදු වන්නේ ඒ ආකාරයටය. මේ ක්‍රියාවලිය මෙවර ද අනුගමනය කර ඇත. එසේ කරමින් පාලක මණ්ඩල අනුමැතිය සහිතව 2024 – 2026 වසර තුනට අදාළ මහ බැංකු සේවක වැටුප් සංශෝධනය මේ වසරේ (2024) ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත. මේ අනුව නොයෙකුත් චෝදනා එල්ල වුවත් අපට මහ බැංකුව පැත්තෙන් දැන ගන්නට ඇත්තේ මෙය නව මහ බැංකු පනත අනුව පවතින නීති ප්‍රතිපාදනවලට යටත්ව සිදුකර ඇති දෙයක් බවයි. මේ ක්‍රියාවලියේ දී කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදු කර නැති අතර තොරතුරු වසන් කිරීමක් ද සිදු කර නැති බවයි. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවක වැටුප් වාර්ෂිකව වැඩි වුවත්, මහ බැංකුවේ වාර්ෂිකව වැටුප් වැඩි වීමක් සිදු නොවේ. එහි වැටුප් වැඩි වන්නේ වර්ෂ තුනකට වරක් නිසා යළිත් වර්ෂ 2027 දක්වාම මහ බැංකු නිලධාරීන්ට වැටුප් වැඩි වීමක් නැත. මේ වසරේ (2024) ජනවාරි මාසයේ සේවක වැටුප් වශයෙන් ගෙවන ලද මුළු මුදලෙන් සාමාන්‍ය අගයක් වශයෙන් ගත් විට සියයට 24 ක ප්‍රමාණයක් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු වශයෙන් රජයට ගෙවා ඇති බව ද වාර්තා වේ. එසේම ඉහළ වැටුප් ලබන නිලධාරීන් තම වැටුපෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු සියයට 36 ක් ද රජයට ගෙවා ඇත. ඒ අනුව මහ බැංකුව පෙන්වා දෙන්නේ ඉහළ වැටුප් ලබන නිලධාරීන්ගේ ශුද්ධ වැටුප අඩු අගයක් ගන්නා බවයි. එනම් මුළු වැටුපෙන් සියයට 64 ක් පමණක් ඔවුන්ට ඉතුරු වෙන බවයි. මේ අනුව මහ බැංකුව තර්ක කරන්නේ චෝදනා එල්ල වන පරිදි ඉහළ නිලධාරීන්ගේ වැටුප් සියයට 70 ක් වැනි ප්‍රතිශතයකින් වැඩි වී ඇතැයි යන්න සත්‍යයක් නොවෙන බවයි. මේ කියන කතාව සත්‍යයක් වුවත් මේ කියන වැටුප මත රජයට බදු ගෙවිය යුතු වන්නේ මහ බැංකු නිලධාරීන් පමණක් නොවේ. රටේ අනෙකුත් නිලධාරීන් ද සිය වැටුප මත අදාළ රජයේ බදු ගෙවීමට බැදී සිටී.

පඩි වැඩි කළ හැටි අහන්න මහ බැංකු ලොක්කෝ පාර්ලිමේන්තුවට

මහ බැංකුව පැත්තෙන් මේ කරුණු අපට දැනගන්නට තිබුණත් නව මහ බැංකු පනත අනුව විධිමත් ලෙස මේ ක්‍රියාවලිය සිදුව ඇති ද යන්න ගැන තවදුරටත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් විමසීම් කරනු ඇත. එසේම පසුව මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට කැඳවන්නේ නම් එහි දී ද මේ ගැන වැඩිදුරටත් සාකච්ජා කෙරෙනු ඇත. එසේම ඒ ගැන පක්ෂ නායකයන් සහ මුදල් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ද ප්‍රශ්න කර මහ බැංකුවේ නිලධාරීන්ගෙන් සහ මහ බැංකු පාලක මණ්ඩල සාමාජිකයන්ගෙන් පිළිතුරු ලබාගනු ඇත. අප සිතන්නේ මේ සංවාදය මහජනයාට ද සන්නිවේදනය වීම වැදහත් බවයි. එසේ නැතහොත් මේ ගැන මහජනයා දැනුවත් කිරීමේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සහ පසුව මාධ්‍ය හමුවක් කැඳවා මහජනයා වෙනුවෙන් මාධ්‍යට කරුණු පැහැදිලි කිරීම ද වැදගත්ය. එවිට මාධ්‍යවේදීන්ට ද මහජනයා වෙනුවෙන් මේ වැටුප් වැඩි කිරීම ගැන ප්‍රශ්න කළ හැකිය. එහෙත් මේ මහ බැංකුවේ වැටුප් සංශෝධනය එලෙසම ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙනවා ද එසේ නැතහොත් යම් වෙනසක් ඇතිව ක්‍රියාත්මක කරනවා ද යන්න සම්බන්ධයෙන් යම් තීරණයක් ගෙන මහ බැංකුවට නිර්දේශ කිරීමක් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවට පමණක් බව අපගේ අදහසයි. ඒ සම්බන්ධයෙන් මහ බැංකු ලොක්කන් කැඳවන, පක්ෂ නායකයන්ගේ හමුවේ දී සහ වෙනත් පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම්වල දී කවර තීරණයක් ගනු ඇති ද සහ ඒ අනුව මේ වැටුප් වැඩි කිරීම පහත හෙළීමට යම් නිර්දේශයක් මහ බැංකුවට ලබාදෙනු ඇති ද යන්න අපි බලා සිටිමු.

මහ බැංකුවේ 2024-2026 යන වසර තුනට අදාළ වැටුප් සංශෝධනයේ දී විශේෂයෙන් මහ බැංකුවේ අවධානයට ලක්ව ඇති ප්‍රධාන කරුණු දෙකක් මෙසේ සඳහන් කළ හැකිය. එනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිශ්චිත, සුවිශේෂී අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යක්ෂම සහ ඉහළ ඵලදායීතාවකින් යුතුව එකී කටයුතු සඳහා දායකත්වය ලබා දිය හැකි සුදුසුකම්ලත්, විශේෂ නිපුණතාවන්ගෙන් හෙබි මානව සම්පතක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වීමයි. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට බඳවා ගනු ලබන්නේ සංඛ්‍යාත්මක වශයෙන් ඉතා සීමිත පිරිසක් වන අතර එය අතිශය තරගකාරී තෝරා ගැනීමේ ක්‍රියාවලියක් හරහා සිදුකරන බව ද අපට පිළිගත හැකිය. මේ අනුව ඔවුන්ට ඉහළ වැටුපක් ලැබිය යුතු බවට තර්කයක් නැත. මේ සම්බන්ධයෙන් කිව යුතු වන්නේ මේ වැටුප් වැඩි කිරීමට පෙරද වෙනත් රාජ්‍ය සේවකයන්ට වඩා මහ බැංකු නිලධාරීන්ට සාපේක්ෂව වඩා හොඳ වැටුපක් තිබුණ බවයි. මීට පෙර මහ බැංකුවේ වැටුප් වැඩි වීමක් සිදුව ඇත්තේ වර්ෂ 2021 දීය. මේ අනුව මේ වසරේ (2024) දී අනිවාර්යයෙන්ම මහ බැංකු නිලධාරීන්ට වැටුප් වැඩි වීමක් සිදුවිය යුතු බව ඇත්තකි. එහෙත් මේ අප මුහුණ දෙමින් සිටින්නේ අනෙකුත් සියලුම කාලවලට වඩා තීරණාත්මක හා දුෂ්කර කාලයකි. මේ නිසාම වර්තමානයේ අතිමහත් බහුතර ජනයා ඉතිහාසයේ අනෙකුත් සියලුම කාලවලට වඩා දුෂ්කර කාලයක් පසු කරමින් විශාල කැප කිරීම් කරමින් සිටිති. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අයිඑම්එෆ් නිර්දේශ මත රජය විසින් ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. ඒවායේ දැඩි ආර්ථික පීඩාවන්ට ජනයා මුහුණ දෙමින් සිටී. මේ දුෂ්කර තත්ත්වයට මුහුණ දෙමින් තවත් වසර දෙක තුනක් ගත කිරීමට ද අපේ ජනයාට සිදුවනු ඇත. එසේ නම් අප සිතන්නේ මේ සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් ද යම් කැප කිරීමක් කළ යුතු බවයි. ඒ අර්ථයෙන් බලන විට හැන්ද තමන්ට තිබෙන නිසා මේසා විශාල වැටුප් වැඩි කිරීමක් තමන්ටම සිදු කර ගැනීමට මෙය සුදුසු අවස්ථාවක් ද යන්න සහ එසේ කිරීමේ සදාචාරය ගැන මහජනයාගේ පැත්තෙන් අපට ප්‍රශ්න කිරීමට සිදු වේ. අප මේ කියන කරුණු මහජනයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් ද මහ බැංකු ලොක්කන්ගේ කරුණු පැහැදිලි කිරීම්වලට ප්‍රතිචාර ලෙස විමසනු ඇතැයි අපට සිතිය හැකිය.

පඩි වැඩි කළ හැටි අහන්න මහ බැංකු ලොක්කෝ පාර්ලිමේන්තුවට

2024.02.19 වන දිනට පන්ති හා ශ්‍රේණි වශයෙන් මහ බැංකුවේ සේවක සංයුතිය බලන විට කාර්යාල කාර්ය සහායකයාගේ සිට මහ බැංකු නියෝජ්‍ය අධිපති දක්වා විවිධ ප්‍රතිශතයන්ගෙන් වැටුප් වැඩි වී ඇත. අඩුම වැටුප් වැඩි වීම සිදුව ඇත්තේ පළමු ශ්‍රේණියේ කාර්යාල කාර්ය සහායකයාට සියයට 29.53 කි. මහ බැංකු සහකාර අධිපතිවරයෙකුට සියයට 76.79 කින් සහ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකුට සියයට 76.97 කින් ද වශයෙන් විවිධ ප්‍රතිශතයන්ගෙන් වැටුප් වැඩි වීම් සිදුව ඇත. මේ නිසා රටේ අනෙකුත් සේවක ප්‍රජාවගේ වැටුප් වැඩිවීම් පොදුවේ සලකන විට ඒවාට සාපේක්ෂව මේ මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි වීමේ ප්‍රතිශත ඉතා ඉහළ අගයක් ගන්නා බව පැහැදිලිය.

මේ වැටුප් වැඩි කිරීම සාධාරණීකරණය කරන තවත් කරුණක් අපට මෙසේ විස්තර කළ හැකිය. එනම් අනෙකුත් රාජ්‍ය ආයතනවලට සාපේක්ෂව වඩා ඉහළ සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවා ගැනීම සහ අදාළ ක්ෂේත්‍රවල නිපුණතාව ඉහළ නැංවීම සඳහා එලෙස බඳවා ගන්නා සේවකයන් පුහුණු කොට රඳවා ගැනීම, බාධාවකින් තොරව මහ බැංකුවේ කටයුතු පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වීමයි. මේ නිසා සුදුසුකම් සහිත නිලධාරීන් මහ බැංකු කටයුතු කිරීම සඳහා තවදුරටත් පුහුණු කිරීමට ද අවශ්‍ය බව සත්‍යයකි.

පසුගිය වසර කිහිපය මුළුල්ලේ සමස්තයක් ලෙස රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මහ බැංකු සේවකයන්ගේ මූර්ත වැටුප් විශාල ලෙස පහළ යෑමත්, බදු ප්‍රතිපත්තියේ සිදු කළ සංශෝධන හේතුවෙන් සේවක වැටුපෙන් වැය කළ හැකි ආදායම සීමා වීමත්, ඉහත කී සුදුසුකම් සහිත පළපුරුදු මහ බැංකු සේවකයන් සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පැවතීමත් හේතුවෙන් මහ බැංකු සේවකයන් සේවයෙන් ඉවත්ව යෑම කැපී පෙනෙන ලෙස ඉහළ ගිය බව අපට මහ බැංකුවෙන් දැනගන්නට ඇත. මේ නිසා එදිනෙදා අත්‍යවශ්‍ය මහ බැංකු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම ද අභියෝගයක් වී ඇත. මේ අනුව 2022 – 2023 වසර තුළ සේවකයන් 99 දෙනෙක් මහ බැංකු සේවයෙන් ඉවත්ව ගොස් ඇත. මේ පසුබිම තුළ එවන් පළපුරුදු නිලධාරීන් මහ බැංකු සේවයෙන් ඉවත්ව යෑම වළක්වා ගැනීම සඳහා තරගකාරී වෙළෙඳපොළ තත්ත්වයන් හා සියයට සියයක් ගැලපිය නොහැකි වුව ද සාධාරණ මට්ටමේ වැටුප් ඉහළ නැංවීමක් සිදු කළ යුතු බව මහ බැංකු පාලක මණ්ඩලයේ මෙන්ම මහ බැංකු කළමනාකාරීත්වයේ ද අදහස වී ඇත. රටේ සාමාන්‍ය කාලවකවානුවක දී මේ කියන තර්කය එලෙසම වලංගු විය හැකි නමුත් මෙවැනි දරුණුතම ආර්ථික අගාධයකින් ගොඩ එමින් සිටින දුෂ්කර මොහොතක ජනතාව කරන බලවත් කැපකිරීම් දෙස ද බලන විට මේ බලවත් ආර්ථික පීඩාවන්ගේ වේදනාව අප සියලු දෙනා අඩුවැඩි වශයෙන් බෙදා ගත යුතු නොවේ ද? එසේ නම් ඒ සඳහා මහ බැංකු නිලධාරීන් ද කැප කිරීමක් කළ යුතු නොවේ ද ? මේ ප්‍රශ්න අපට තිබේ. ඒ නිසා මේ කියන සාධාරණත්වය කියන්නේ මහ බැංකු නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් වුවත් අපට නම් රට තිබෙන මේ අමාරු මොහොතේ සාධාරණත්වය සැලකීමට සිදුවන්නේ මේ රටේ අතිමහත් බහුතර ජනයා ගැනම සලකා බව කිව යුතුය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment