යල්පැන ගිය නීතිය වෙනස් කර නඩු ප්‍රමාදය වැළැක්වීමට පනත් රැසක් සම්මත කළා – ඇමැති විජයදාස රාජපක්‍ෂ

50

පරාටේ නීතියෙන් රටේ ව්‍යාපාරිකයන් රැක ගැනීම ගැන රජයට ස්තුතිය පිරිනැමිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ ව්‍යාපාරිකයා ශක්තිමත් නම් ආර්ථික කඩා වැටීමක් සිදුවන්නේ නැහැ – විජිත හේරත් (ජා.ජ.බ.)

නඩු ප්‍රමාදය වැළැක්වීමට හා යල් පැනගිය නීති වෙනස් කිරීමට අවශ්‍ය පනත් රැසක් සම්මත කිරීමට කටයුතු කළ බව අධිකරණ, බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත හා පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම පිණිස විධිවිධාන ඇතුළත් බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීම් (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ඇමැතිවරයා මේ බව කීය.

විවාදය ආරම්භ කරමින් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.

බෙදුම් නඩු අනික් නඩුවලට වඩා කල් යනවා. යල් පැන ගිය නීති අලුත් කරන්න අපි පනත් රැසක් ගෙනාවා. ප්‍රමාදය වැළැක්වීමට අත්‍යවශ්‍ය කරුණු රැසක් ඇතුළත් කළා.

පරාටේ නීතිය මේ වසර අග දක්වා අත්හිටුවීමට නව පනතට අනුව පියවර ගන්නවා.

රටේ කොඳුනාරටිය ව්‍යවසායකයන්. 2019 සිට ආර්ථිකය ප්‍රපාතයට ගියා. ව්‍යවසායකයාට සාමාන්‍ය ආකාරයට ගත් ණය ගෙවාගන්න බැරි වුණා. පසුගිය කාලයේ අපි ණය ගෙවීමට නොහැකි අයට සහන රැසක් ලබා දුන්නා. නමුත් නියමිත කාලයේදී තවත් ගෙවා ගන්න බැරිවූ අය ඉන්නවා. ඒ අනුව අපි මේ පනතින් දෙසැම්බර් දක්වා සහනය ලබාදෙනවා.

මේක උත්තරයක් නොවෙයි. පැලැස්තරයක් පමණයි. දෙසැම්බර් වන විට සියලුම අයගේ ආර්ථිකය ගොඩඑන්නේ නෑ. සමහර බැංකුවල නිලධාරීන් ව්‍යාපාරිකයන්ට නැඟිටින්න අත දෙන්නේ නෑ. ක්‍රමවේද තිබුණත් දැනුවත් කරන්නේ නෑ. ව්‍යාපාරිකයන් වට්ටලා වටිනා දේපළ බැංකුවට පවරා ගන්නවා.

බැංකුවට හිතුවක්කාරව තනි තීරණයක් ගන්න මෙහිදී ගනුදෙනුකාරයාට තම කරුණු දැක්වීමට ඉඩදිය යුතුයි. ඔම්බුඩ්ස්මන් කෙනෙක් සිටිය යුතුයි. ව්‍යවසායකයා හිටියොත් විතරයි බැංකුවට සල්ලි එන්නේ. බැංකුව රැකීමට නම් ව්‍යවසායකයා ශක්තිමත් විය යුතුයි.

පරාටේ ක්‍රමයට ඉදිරියේදී ගැලපෙන නීති ක්‍රමයක් හඳුන්වා දෙනවා. අව්‍යාජ ලෙස ගනුදෙනු කරන පුද්ගලයන්ට තම ව්‍යාපාර අඩපණ වූ අවස්ථාවකදී නඟාසිටුවීමේ වැඩපිළිවෙළක් ඇති කර ගැනීමට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ක්‍ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නඟාසිටුවීමට අපි ගත් උත්සාහය සුබවාදී ප්‍රතිඵලයක් තමයි පරාටේ නීතිය ගෙන ඒම. මෙය නීතියක් නොවුනානම් අදත් ව්‍යාපාරිකයන් ගැටලුවලට මුහුණ දෙනවා. රජයට ස්තුතිය පිරිනැමිය යුතුයි.

රජයේ සංගණනයකට අනුව ව්‍යාපාර 59100ක් තාවකාලිකව වැහිලා. තවත් ව්‍යාපාර 204100ක් ස්ථිරවම වැහිලා. කාන්තා ව්‍යවසායකයන් සතු ව්‍යාපාර 11700ක් තාවකාලිකව වැහිලා. තවත් ව්‍යාපාර 27600ක් ස්ථිරව වැහිලා. 2018ට සාපේක්‍ෂව අද වන විට මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියයට 40ක් පමණ වැහිලා.

රැකියා 24500ක් අහිමිවෙලා.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය:

පසුගිය කාලයේ අපට නීති ලිහිල් කරන්න බැරි වුණා. ප්‍රථමවරට අපි අද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ යහපත වෙනුවෙන් නීති ලිහිල් කරනවා.

ආර්ථිකය කඩා වැටීම හමුවේ ජනාධිපතිවරයා මැදිහත්වී රට මේ තත්ත්වයට නොගෙනාවා නම් කුඩා පරිමාණ ව්‍යාපාර පමණක් නොව සමස්ත රටම ඉවරයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජා.ජ.බ.):

ඕනම රටක එන්ජිම තමයි ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා. ආර්ථිකය නඟාසිටුවීමේදී මුල් තැන හිමිවිය යුත්තේ මෙම ව්‍යාපරිකයන්ට. අවාසනාවකට පසුගිය කාලයේදී එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැඟුනේ නෑ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ආර්ථිකය කඩා වැටුණේ. ව්‍යාපාරිකයා ශක්තිමත්ව තිබුණා නම් රට අභ්‍යන්තරයේ ආර්ථිකය කඩා වැටීමක් වන්නේ නෑ. කොවිඩ් වසංගතය ඇතිවූ අවට රටවල්වල ආර්ථිකය කඩා වැටුණේ නෑ. මාලදිවයින, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය ශක්තිමත්ව ආර්ථිකය හදා ගත්තා.

ක්‍ෂුද්‍ර, කුඩා, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහනදීම ශක්තිමත් කිරීම රජයේ ආර්ථික මූලෝපාය විය යුතුයි.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු:

රටක ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩවලදී පරිස්සමින් විපක්‍ෂයත් ක්‍රියා කළ යුතුයි. ඉදිරියේදී ආර්ථීකය ශක්තිමත් කරන්න සුළු ව්‍යාපාරිකයාට සහන ලබාදෙනවා. ආර්ථිකය කඩා වැටීම් තුළ බැංකු ආරක්‍ෂා කරමින් ව්‍යාපාරිකයා ද රැක ගැනීමට පියවර රැසක් ගත්තා. ව්‍යාපාරිකයා රැක ගන්න නීති ගෙනාවා.

අද වනවිට අපි උද්ධමනය පාලනය කරන ප්‍රශස්ථම රටවල් අතරට වේගයෙන් ඇතුල්වෙනවා. සීමා රහිතව ඉන්ධන, ගෑස් ලබාදෙනවා. රටේ උද්ඝෝෂණ නැතිව සාමකාමීව පවත්වා ගන්න අපට හැකි වුණා. සංචාරක ව්‍යාපාරය ශක්තිමත්ව ගොඩනැඟුවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට එය ශක්තියක් වුණා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (ස.ජ.බ.)

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සැලසීමට විපක්‍ෂ නායකතුමා දිගින් දිගටම බලපෑම් කිරීම නිසා අද මේ පරාටේ නීතිය ඇවිත් තියෙනවා.

රජයේ වැරදි ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා අද මේ ඉරණමට ගොදුරු වුණේ කොවිඩ් හෝ ආර්ථික ප්‍රශ්න නිසා නොවෙයි. පරාටේ නීතිය මේ වසරේ අත්හිටුවීම ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නවලට විසඳුමක්ම නොවෙයි. තාවකාලිකයි. මීට වඩා ගැඹුරුව සිතා විසඳුමක් ලබාදිය යුතුයි.

පරාටේ නීතිය ගෙනා නිසා බැංකු විසින් අවදානම ගැන සලකා ණය සඳහා පොලිය වැඩි කරන්න හිතාගෙන ඉන්නවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (ස.ජ.බ.)

සුළු හා මහා පරිමාණ කර්මාන්තවලින් සියයට 15කට පමණ පසුගිය ආර්ථික ගැටලුවලින් බරපතළ බලපෑම් ඇති වෙලා. රටේ ශ්‍රම බළකායෙන් ලක්ෂ 6කට පමණ රැකියා අහිමි වෙලා. දුප්පත් ප්‍රමාණය ලක්‍ෂ 26කට වැඩි වෙලා.

පසුගිය 2023 දෙසැම්බර් 31 වන විට රටේ බැංකුවල අක්‍රිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1307යි. එය සමස්ත ඉතුරුම් ප්‍රමාණයෙන් සියයට 12.8ක්. වෙනත් රටවල මීට වඩා මේ ප්‍රතිශතය විශාල ලෙස අඩුයි. අපේ රට වැටී ඇති බරපතළ තත්ත්වය එයින් පේනවා.

advertistmentadvertistment
advertistmentadvertistment