හම්බන්තොට වරායෙන් ගැහිල්ලක්: ගත් විදෙස් ණය කිසිම ගිණුම් ප්‍රකාශනයක නෑ!

683

ණය හා පොලී ශේෂය සහ රු. මිලියන 31,545 ක
විදේශ විනිමය පරිවර්තන අලාභය මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත්ව කරලා

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේවන විට නොපෙන්වන බවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වී ඇත.

ඊට අමතරව හම්බන්තොට වරාය 2017 වසරේදී බදුදීමෙන් ලද මුදලින් වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවා නැති බවත් එම මුදල් වෙනත් කාර්යන් සඳහා යොදවා ඇති බවත් පෙරේදා (22දා) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී තිබේ.

ඒ අනුව 2017 වසරේ වරාය 99 වසරක බද්දට දීමේදී ලැබුණු මුදල මෙන්ම ඉතිරි ණය මුදල වරාය අධිකාරිය විසින් මහා භාණ්ඩාගාරයට ලබා දුන් බවත් ණය පොලී අනුපාතය අඩු අගයක් ගත් බැවින් වරාය ඉදිකිරීමට ගත් ණය මුදල පියවීම සිදුනොකොට භාණ්ඩාගාරය විසින් රජයේ වියදම් සඳහා යොදා ගෙන ඇති බවත් මෙහිදී හෙළිවිණි.

මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට ණය හා පොලිය ආපසු ගෙවීම සිදු කළද ගිණුම් ප්‍රකාශනවල නිසි පරිදි එය ණය ගෙවීමක් බව සටහන් නොවන බවද මෙහිදී අනාවරණය වී ඇත.

2017 නොවැම්බර් 30 වන විට වරාය අධිකාරියේ ගිණුම්වල ඉතිරිව පැවති රු. මිලියන 147,746 ක ණය හා පොලී ශේෂය සහ රු. මිලියන 31,545 ක විදේශ විනිමය පරිවර්තන අලාභය වරාය අධිකාරිය විසින් මහාභාණ්ඩාගාරයේ හෝ කැබිනට් අනුමතියකින් තොරව මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත් කර ඇති බව ද අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2019, 2020 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

මේ අනුව මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශය, වරාය අධිකාරිය සමග සාකච්ඡා කොට නිසි පරිදි මෙය ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගෙන මසක් ඇතුළත කෝප් කමිටුවට වාර්තා කරන ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

2017 නොවැම්බර් සිට මෙහෙයුම් කටයුතු නතර කර තිබූ අධිකාරියේ පරිපාලිත සමාගමක් වන මාගම්පුර වරාය කළමනාකරණ සේවා පුද්ගලික සමාගම විසින් 2014 වර්ෂයේදී නැව් තෙල් මිලදී ගැනීම සඳහා මෙරට බැංකුවකින් ඇ.ඩො. මිලියන 24 ක ණය මුදලක් ලබා ගෙන ඇති බවත් එම මුදල පියවීමට අපොහොසත්වීම නිසා අදාළ බැංකුව මෙම සමාගමට විරුද්ධව නඩු පවරා ඇති බවත් මෙහිදී හෙළි විය.

මෙහිදී අනාවරණය වූයේ ඇ.ඩො. මිලියන 24 ක නැව් තෙල් මිලදී ගත්තද එම තෙල් භාවිත නොකොට දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම නිසා කල් ඉකුත් වූ පසු ඇ.ඩො. මිලියන 3.5 කට විකුණා ඇති බවයි. මේ අනුව ඇ.ඩො. මිලියන 20.5 කට ආසන්න අලාභයක් මෙහිදී සිදුවී ඇති බවට නිරීක්ෂණය විය.

චීන සමාගමකට 2017 දී වරාය බදු දීමේදී මෙම මාගම්පුර වරාය කළමනාකරණ සේවා පුද්ගලික සමාගමේ තෙල් ටැංකි සියල්ලමද පවරා දීම සිදු කර ඇති බවත් එම අවස්ථාවේදී මෙම ණය මුදල් පිළිබඳව අනාවරණය කර නොමැති බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය. එම හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය සහ උපදේශකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වහාම මැදිහත් වන ලෙස මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටුව නිර්දේශ කළේය.

වරාය අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව වන 9990 ඉක්මවා නොගියද අවිධිමත් හා සංකීර්ණ ලෙස බඳවා ගැනීම් සිදුව ඇති බව මෙහිදී හෙළිවිය. වරාය අධිකාරිය 2010 වසරේදී ඉදිරිපත්කොට ඇති සේවකයන් බඳවා ගැනීමේ පටිපාටිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත වී නොමැති බවද මෙහිදී අනාවරණය විය. ආයතනය සහ සේවකයන් අතර සාමුහික ගිවිසුම් මගින් බඳවා ගැනීමේ පටිපාටිය හා වැටුප් තල තීරණය කොට ඇති බවත් මෙහිදී වරාය අධිකාරියේ නිලධාරීහු පැවසූහ.

මේ අතර වරාය අධිකාරියේ සේවකයන් සඳහා ගෙවා ඇති අතිවිශාල අතිකාල දීමනා ගෙවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

එහිදී 2021 වසරේදී සේවක අතිරික්ත පැවති අංශවල සේවකයන් වෙනුවෙන් ගෙවන ලද රුපියල් මිලියන 1173 ක් ඇතුළු වර්ෂය සඳහා ගෙවා ඇති රුපියල් මිලියන 5,850 ක සමස්ත අතිකාල ගෙවීම් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුවිය. වැඩ සහයකයන් ලෙස සුදුසුකම් රහිත 1500 කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගෙන ඇති තත්ත්වයක එම වෘත්තිය හැකියාව සහිත පුද්ගලයන් සඳහා රාජකාරිය වෙනුවෙන් අමතරව අතිකාල දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය. තවද මසකට පැය 400 ක් පමණ අතිකාල දීමනා ගන්නා සේවකයන් සිටින බවත් මෙහිදී හෙළි විය.

මුදල් පනත සහ ලංකා වරායවල් පිළිබඳ අධිකාරි පනත අනුව ඒකාබද්ධ අරමුදල වෙත ලාභාංශ හා අතිරික්ත මුදල් ලබා නොදීම පිළිබඳව ද සාකච්ඡා විය. 2016 සිට 2021 දක්වා අධිකාරිය රු. මිලියන 69,686 ක් ලාභ ලබා තිබුණද භාණ්ඩාගාරයට ලබා දී ඇත්තේ රු. මිලියන 600ක් බවද මෙහිදී අනාවරණය විය. ඇතැම් ණය වාරික ගෙවීම, නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක්ද වැය වන බව වරාය අධිකාරියේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

ලාභ ලබන ආයතනයක් ලෙස වරාය අධිකාරියේ කාර්ය භාරය අගය කරන අතරම වරාය පනත අනුවද 8% ක ලාභයක් භාණ්ඩාගාරයට දිය යුතු බැවින් ඒ සඳහා කටයුතු කරන ලෙසද කෝප් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment