මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 35දෙනෙක්  රු. කෝටියකට අධික ගිවිසුම් හා බැඳුම්කර කඩලා

867

කෝප් කමිටුවේදී හෙළිවෙයි

මොරටුව විශ්වවිද්‍යාලයේ පමණක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවූ විශ්වවිද්‍යාල අචාර්යවරුන් 35 දෙනෙක් ගිවිසුම් හා බැඳුම්කර කඩ කිරීම නිසා 2021 දෙසැම්බර් 31 දින වනවිට අය වියයුතු මුදල රුපියල් 51,649,961 බවට කෝප් කමිටුවේදී අනාවරණය විය.

ගිවිසුම් හා බැඳුම්කර කඩ කොට වසර 08ක් තිස්සේ නොගෙවූ අචාර්යවරු 16 දෙනෙකුගෙන් අයවිය යුතු මුදල රුපියල් 23,190,595ක් බවද එහිදී හෙළිදරව් විය.

මෙහිදි නිලධාරීන් සඳහන් කළේ ගිවිසුම් හා බැඳුම්කර කඩ කළ ආචාර්යවරුන්ගෙන් බැඳුම්කර වටිනාකම් අය කර ගැනීම පිළිබඳ සඳහන් කළ උපකුලපතිවරයා පැවසුවේ ඉහත සංඛ්‍යාවෙන් 05ක් දැනට අය කරගෙන ඇති බවත්, 12ක් වාරික වශයෙන් අයකර ගැනීමට කටයුතු කරන අතර 11ක් වෙනුවෙන් නීතිමය පියවර ගෙන ඇති බවයි.

මෙම කරුණු අනාවරණය වූයේ කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මොරටුව විශ්වවිද්‍යාලයේ 2019 සහ 2020 වර්ෂවලට අයත් විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාදනය විමර්ශනය කිරීම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණි.

මොරටුව විශ්ව විද්‍යාලය මූලික වශයෙන් ගණිත,විද්‍යා, ඉංජිනේරු සහ තාක්ෂණ විෂයන් මූලික කරගත් උපාධි පාඨමාලා පමණක් පවත්වන බව උපකුපතිවරයා දැනුම්දුන්නේ කොප් සභාපතිවරයා කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මේ වන විට අධ්‍යයන වර්ෂ දෙකක සිසුන් අධ්‍යාපනය ලබන බවත් ඊළඟ අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිත නමුත් පීඨය සඳහා කිසිදු ගොඩනැඟිල්ලක් මේ වන තෙක් ඉදි කොට නොමැති බවත් උපකුලපතිවරයා සඳහන් කළේය. වෛද්‍ය පීඨයේ තුන්වන සහ අවසාන අධ්‍යයන වර්ෂ සඳහා නියමිත අධ්‍යයන කාර්ය මණ්ඩලය නියමිත පරිදි ලබාදෙන ලෙසද උපකුලපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

පීඨයේ මහාචාර්ය ඒකකය නාගොඩ රෝහල ආශ්‍රිතව පිහිටුවීමට තීරණය කොට ඇති නමුත් එහි අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා දැනට තෝරාගෙන ඇති අක්කර 15ක කළුතර නාගොඩ ඉඩම අත්පත් කර ගැනීම පිණිස ප්‍රතිපාදන ලැබී නොමැති බවද හෙතෙම සඳහන් කළේය. ඒ සඳහා බැංකු ණයක් ලබා ගැනීමට රජය විසින් උපදෙස් ලබා දී ඇති නිසා ඒ අනුව කටයුතු කරමින් පවතින බවද මහාචාර්යවරයා පැවසීය.

මෙහිදී කෝප් සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දුන්නේ මේ පිළිබඳ සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු වන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, ජයන්ත සමරවීර, එරාන් වික්‍රමරත්න, මේජර් සුදර්ශන දෙනිපිටිය, ප්‍රෙම්නාත් සී. දොලේවත්ත යන පහත්වරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එන්. ඩී. ගුණවර්ධන ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment