නත්තල (ආගම ආයුධයක් කර ගැනීමෙන් වැළකෙමු)

437

නූතන ලෝකයේ නත්තල් උත්සවය යනු ඉතා සශ්‍රීක උළෙලකි. එහෙත් මීට සහශ්‍ර දෙකකට පෙර එය කිසිසේත්ම එසේ වුණේ නැත. මුල් යුගයේදී නත්තල සමරන කිතු බැතිමතුන් අත්අඩංගුවට ගෙන වද දී මැරීමට රෝම රාජ්‍යයේ රජවරු පියවර ගත්හ. එයට හේතුව කිස්තුස් වහන්සේ මෙලොවට පහළවන යුගයේදී රෝම රාජ්‍යයේ පැතිර තිබූ මෝඩ විශ්වාසයන් ය. එකල රෝමයේ සාමාන්‍ය ජනයා ගස් ගල් වලටත් මළ පෙරේතයන්ටත් වන්දනාමාන කළහ. රෝම රජ පරම්පරාව විසින් ඒ වන්දනාමානයන් හඳුන්වන ලද්දේ මිථ්‍යාදෘෂ්ටික පිදීමක් ලෙසිනි. ඒ අතර රෝමන් රජපරම්පරාවේ ආගම වූයේ හිරු දෙවියන් ඇදහීමය. සූර්ය වන්දනාව මිථ්‍යාවක් ලෙස අනෙක් ආගම් ඇදහූ අය විසින් සලකන ලදි. මේ නිසා ස්වකීය ඇදහිල්ල සම්බන්ධයෙනුත් රෝමන් රජවරුත් සාමාන්‍ය ජනයාත් අතර නිතරම ගැටුම් ඇතිවිය. ඒ ගැටුම්වල ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය ජනයා අම්බානක ගුටි කා මැරුම් කෑම ය. ඊට හේතුව බලය නමැති සාධකය රජ පරම්පරාව අත තිබීමයි. මේ ආකාරයෙන් ක්‍රිස්තු වර්ෂ තුන්සිය වනතුරු ප්‍රසිද්ධියේ නත්තල් උත්සවයක් නොපවත්වන ලදී. වාර්තාවන අන්දමට ප්‍රසිද්ධියේ සැමරූ පළමුවැනි නත්තල ක්‍රිස්තු වර්ෂ තුන්සිය තිස්හයේ නත්තල ය. එකල සිටි රෝමවාසී ජනයා සාන්තුවරුන්ට ද මහත් සේ ගෞරව කළහ. ක්‍රිස්තුස් වහන්සේ බෞතිස්ම කරන ලද්දේ ජනවාරි මාසයේ 6 වැනිදාවක ය. එම බෞතීස්මය ස්නාවුක ජුවාම් නමැති සාන්තුවරයකු විසින් සිදුකරන ලදි. මේ නිසා මුල් යුගයේදී ජනවාරි 6 වැනිදා බෞතිස්ම උත්සවය මහත් ගෞරවයෙන් ද මහත් අභිමානයෙන් ද මහත් ආදරයෙන් ද සමරන ලදි.

2023 නත්තල අද මධ්‍යම රාත්‍රි 12.00 ට උදාවෙයි. එය කිසිසේත්ම 2023 වැනි නත්තල් උළෙල නොවේ. මන්ද ක්‍රිස්තු වර්ෂය පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 1 න් වුවද ක්‍රිස්තුස් වහන්සේ උපන් අවුරුද්ද ක්‍රිස්තු වර්ෂ 1 නොවීම ය. ක්‍රිස්තුස් වහන්සේ උපදින්නේ ක්‍රිස්තු වර්ෂ 1 සහ ක්‍රිස්තු වර්ෂ 50 අතර අවුරුද්දකදී යැයි විශ්වාස කෙරේ. එහෙත් එම සහශ්‍රයම ක්‍රිස්තු භක්තියට අයත් බව හැඟවෙන පරිදි ක්‍රිස්තු වර්ෂ 1 යනුවෙන් යොදනු ලැබේ. ක්‍රිස්තුස් වහන්සේ උපන් දිනය ගැන විවිධ මත ඇතත් දෙසැම්බර් 25 වැනිදා එම උපත සිදු වූ බව පිළිගැනීම වඩාත් සාධාරණ බව විලියම් ජේ. ටිගි නමැති ඉතිහාසඥයා ප්‍රකාශ කර තිබේ.

නූතන ලෝකයේ ආගම් අදහන වැඩිදෙනා ස්වකීය ආගම් කර්තෘවරුන්ගේ මූලික ඉගැන්වීම්වලින් සම්පූර්ණයෙන්ම බැහැරව කටයුතු කරති. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරමාර්ථය වූ දයාව, කරුණාව සහ ආදරය බෙදාහැරීම වෙනුවට අද සිදුවන්නේ අහසින් වෛරය බිමට හෙළීමය. ඊශ්‍රායලය මේ මොහොතේ සිදුකරන්නේ කුමක් ද? ඊශ්‍රායලය යනු ක්‍රිස්තුස් වහන්සේ උපන් දේශයයි. එහි ජීවත්වන යුදෙව්වන් මෙන්ම ක්‍රිස්තුස් වහන්සේ ද යුදෙව්වෙකි. අද පලස්තීනය සමතලා කරමින් කුඩා දරුවන් සහ කාන්තාවන් මරමින් විශාල විනාශයක් සිදුකරන ඊශ්‍රායල් හමුදාව ක්‍රිස්තුස් වහන්සේගේ මූලික ඉගැන්වීම්වලට පයින් ගසා ඇත. මේ අතර, හමාස් ඇතුළු අන්තවාදී ඉස්ලාමීය ගරිල්ලා කණ්ඩායම් ලෙබනනය සහ ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට පහරදෙමින් සිටිති. යුදෙව් ප්‍රාණඇපකරුවන් රාශියක් ද මේ මොහොතේ පලස්තීන ඉස්ලාමීය ගරිල්ලන්ගේ අත්අඩංගුවේ පසුවෙති. ඉස්ලාම් දහමේ පිතෘවරයා වූ මහම්මත්තුමා මෙවැනි මනුෂ්‍ය ඝාතනවලට අනුබල දුන් බවක් අපි කිසි කලෙකත් නොදනිමු. බෞද්ධයන් වැඩිදෙනාගේ තත්ත්වය ද මෙයම ය. මේ රටේ ථෙරවාදී බුදුදහම විනාශ කිරීම සඳහා ඉතා නරක සහ ගඳගහන ව්‍යාපාරයක් ගෙන යන චීවරධාරීහු රැසක් පහළව සිටිති. මෙයින් එකා දෙන්නා හිටපු ගමන් හිරේ විලංගුවේ වැටෙති. බුදු දහමට නිගා දෙන්නට මෙවැනි සිදුවීම් පමණක් ම ප්‍රමාණවත් ය. වෙසක් එකට කොතරම් තොරණ ගැහුවත් පොසොන් එකට කොපමණ දන්සල් දුන්නත් ඒ පව් මැකෙන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ අද ජීවත්ව සිටියා නම් තමන්ගේ යුදෙව් ඥාතීන් පලස්තීනයේ දරුවන් මරණ ආකාරය ගැන මහත් සේ කම්පාවට පත්වනවා ඇත. ඊශ්‍රායලය මේ සිටින්නේ ඒ රටේ ප්‍රමුඛ අනුග්‍රාහකයා වූ ඇමරිකාව පවා කියන දේ නාහන තැනක ය. මේ ආකාරයෙන් ඉවක් බවක් නැතිව පලස්තීනයට බෝම්බ දමන එක නවත්වන්නැයි ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා ඊශ්‍රායල් අගමැතිගෙන් ඉල්ලා සිටියේය. එහෙත් එම අගමැතිතුමා ඒ කියමන සත පහකටවත් ගණන් ගත්තේ නැත. ඊශ්‍රායලයට මහත් සේ උදව් කර එය ලෝක බලවතකුගේ තත්ත්වයට පත්කරන ලද්දේ ඇමරිකාව විසිනි. ඉස්ලාමීය ලෝකය තුළ බටහිරට ගැති යුද බලවතෙකු සිටීම ඇමරිකාවේ වුවමනාවය. ක්‍රිස්තුස් වහන්සේ ජීවත්ව සිටියේ නම් උන්වහන්සේත් ඒ වුවමනාව තරයේම පිළිකුල් කරනවා ඇත. ඇමරිකානුවන් අදහන්නේ ද කිතු දහමය. ඊශ්‍රායලය අදහන්නේ ද කිතු දහමය. මෙයින් හැඟී යන්නේ මේවා ආගම්වල වැරදි නොව මිනිසුන්ගේ වැරදි බව ය.

මේ කතුවැකිය ලිවීමේදී, මෙයට වසර කිහිපයකට පෙර පාස්කු ඉරිදා දින ඉස්ලාමීය ගරිල්ලන් විසින් කිතුනුවන්ට එරෙහිව එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය ගැන ලිවීමට අපට අවශ්‍යව තිබිණ. එහෙත් අප ඒ ගැන නො ලියමු. එයට හේතුව අන්තවාදී ආගමිකයන් කිහිපදෙනෙක් පාස්කු ප්‍රහාරය අල්ලාගෙන මේ රට ආණ්ඩු කිරීමට තැත් කිරීමය. ලංකාවේ ආණ්ඩුව මෙහෙයවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මිස කිසිම ආගමක් විසින් නොවේ. මේ බව දැන දැනත් ඇතැම් අය පමණ ඉක්මවා යමින් පිස්සු කෙළින්නට තැත් කරති. කෙසේ වුවද පාස්කු බෝම්බයේ භීෂණය අපි බලවත් ලෙස හෙළාදකිමු. එය සැලසුම් කළ අයට තවමත් හරියාකාරව දඬුවම් දී නැති බව එක් ජන කොටසකගේ මතය වේ. හැබැයි මේ මතය දේශපාලන ආයුධයක් ලෙස පාවිච්චි කිරීමට සමහර ආගමික කණ්ඩායම් ක්‍රියාත්මක වීම ගැන අප විරුද්ධය.

මේ නත්තල සුබ නත්තලක් වේවා! එය අපගේ හෘදයාංගම පැතුමයි. දුප්පතුන්ට උදව් කර දයාව සහ කරුණාව වැපිරීමට ක්‍රිස්තුස් වහන්සේ ගත් උත්සාහය මේ දිනවල බෝම්බ ගසා විනාශ කරනු ලැබේ. අප එයටද මහත් සේ විරුද්ධය.

advertistmentadvertistment
advertistmentadvertistment