ආගන්තුකයා නොහොත් මාරාන්තික හමාස් ප්‍රහාරයේ මහ මොළකරු

1458

ඊශ්‍රායලයේ වසර 75ක ඉතිහාසය තුළ පලස්තීන ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවූ මාරාන්තිකම ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල බුද්ධි අංශ පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ. ඔක්තෝබර් 07 වැනි සෙනසුරාදා ඊශ්‍රායලයට බෙහෙවින් මාරාන්තික දිනයක් විය. එදින එල්ලවුණු ගොඩබිම්, ගුවන්, හා මුහුදු ප්‍රහාරයක් මඟින් හමාස් ත්‍රස්තවාදීන් 1500කට වැඩි පිරිසක් ගාසා ආරක්ෂක බාධකය හරහා යුදෙව් දේශයට කඩා වැදීමට සමත්විය. හමාස් සංවිධානය දේශසීමාව හරහා ගොස් ඊශ්‍රායලය තුළ මාරාන්තික ප්‍රහාරය එල්ල කිරීමට තෙදිනකට පෙර එනම් ඔක්තෝබර් 04 වැනිදා ඊජිප්තු බුද්ධි අංශ විසින් ඊශ්‍රායලයට ප්‍රහාරයක් පිළිබඳව අනතුරු අඟවා තිබිණි. අපි ඔවුන්ට අනතුරු ඇඟෙව්වා ඉතා ප්‍රචණ්ඩ තත්ත්වයක් එනවා, ඒක ඉක්මනින්ම එනවා, ඒක ලොකු සිද්ධියක් වේවි කියලා. නමුත් ඔවුන් එවැනි අනතුරු ඇඟවීම් අවතක්සේරු කරලා තියෙනවා,” යනුවෙන් ඊජිප්තු බුද්ධි අංශ නිලධාරියෙක් විදෙස් පුවත් සේවාවකට පවසා තිබිණි.

ඊශ්‍රායල නිලධාරීන් ගාසාහි තර්ජනය අවතක්සේරුකර, ඒ වෙනුවට බටහිර ඉවුර වෙත අවධානය යොමුකර තිබුණු බව ඊජිප්තු නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. නමුත් ඊජිප්තු වාර්තා “මුළුමනින්ම අසත්‍ය” බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යානු කියයි. ඊශ්‍රායලයේ හමාස් ප්‍රහාරවලින් මියගිය පිරිස 1300 වඩා වැඩි මිස අඩු නොවේ.

ඊශ්‍රායලයේ අභ්‍යන්තර ඔත්තු සේවය වන ෂින් බෙට්, එරට විදේශ ඔත්තු ඒජන්සිය වන මොසාඩ් සහ ඊශ්‍රායල් ආරක්ෂක අංශ සතු සියලු සම්පත් ඒකාබද්ධ කර ගනිමින් දැරූ ප්‍රයත්නයන් තිබියදීත් එම ප්‍රහාරය එල්ල වන බවට කිසිවෙකුත් නොදැන සිටීම පුදුමසහගත ය. ඇමරිකාවට පමණක් දෙවැනි වන මොසාඩ් ඔත්තු සේවය සඳහා 2023 වසර වෙනුවෙන් වෙන්කර ඇති මුදල ඩොලර් බිලියන 03කි. එහි සේවය කරන පිරිස හත්දහසකි. නමුත් සියලු සතුරන් විනිවිද ගොස් සිටි මොසාඩ් ඔත්තු සේවයට මාස කිහිපයක් තිස්සේ හමාස් සංවිධානය සිදු කළ ප්‍රහාර සැලසුම්

ගැන හාන්කවිසියක් හෝ දැනගැනීමට ලැබුණේ නම් නැත. මෙය බරපතළ නිග්‍රහයට කාරණයකි. පසුගිය කාලය පුරාම ඊශ්‍රායලයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්විණි. ඒවා සිදු කෙරුණේ අගමැති බෙන්ජමින් නෙතන්යානු ට එරෙහිවය. මේ සඳහා එරට ආරක්ෂක අංශවල පිරිස් ද එක්ව තිබිණි. මීට මාස හතකට පමණ පෙර ඊශ්‍රායල පුවත්පතක පළවූ වාර්තාවක දැක්වුණේ මොසාඩ් ඔත්තු සේවයේ සේවය කරන අයට පවා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයවලට සහභාගි වීමට එහි ප්‍රධානි ඩේවිඩ් බාර්නියා විසින් අවසර ලබා දී තිබුණු බවයි. එසේනම් අරගල කරමින් සිටියා මිස නිවැරදි බුද්ධි තොරතුරු සෙවීමට මේ පිරිස් ක්‍රියාත්මක වී නොතිබුණු බව පැහැදිලි නොවන්නේද? ආණ්ඩු විරෝධය නිසාම ජාතික ආරක්ෂාව හීන වී ගොස් අවසානයේ මොසාඩ් අධිතක්සේරුව හමාස් ප්‍රහාරය නිසා දෙදරිණි. එය නැවත ගොඩ නැගීම ලෙහෙසි වන්නේ නැත. ලෝක පිළිගැනීමද සේදී ගොස් ඇත. ඊශ්‍රායලයට මැද පෙරදිග වඩාත්ම පුළුල් සහ වැඩි වශයෙන් අරමුදල් සපයන ඔත්තු සේවා ඇතැයි පැවසේ.

පසුගිය කාලයේ ඊශ්‍රායල බුද්ධි අංශවලට පලස්තීන සටන්කාමී කණ්ඩායම් තුළ මෙන්ම ලෙබනනය, සිරියාව සහ වෙනත් තැන්වල තොරතුරු සපයන්නන් සහ නියෝජිතයන් සිටි බව රහසක් නොවේ. ඔවුන්, අතීතයේදී, සටන්කාමී නායකයන්ගේ සියලු ගමනාගමන තොරතුරු ගැන අභ්‍යන්තර වශයෙන් තොරතුරු ලබා ගෙන, නියමිත වේලාවට ඔවුන්ව ඝාතනය කර ඇත. ඇතැම් අවස්ථාවලදී ඔවුන් මේවා සිදු කර ඇත්තේ, සිය නියෝජිතයන් පුද්ගලයෙකුගේ මෝටර් රථයක ජීපීඑස් ට්‍රැකර් එකක් සවි කිරීමෙන් පසුව එල්ල කරන ලද ඩ්‍රෝන් ප්‍රහාරවලිනි. තවත් විටෙක අතීතයේදී ඔවුන් පුපුරා යන ජංගම දුරකථන පවා භාවිත කර තිබේ. නමුත් 07 වැනිදා සිදු වූයේ කුමක්ද? හමාස් ත්‍රස්තයෝ දේශසීමා වැටවල් බිඳදමා ඩෝසර් කර මුහුදෙන් සහ පැරග්ලයිඩර් මගින් ඊශ්‍රායලයට ඇතුළු වූහ. ඊශ්‍රායල නිලධාරීන් බුද්ධි බිඳවැටීම ගැන පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට වසර කිහිපයක් ගත වනු ඇති බවත්ය. කවරක් නමුත් එරට මහමොළකරු සෙවීමේ තරගයක් නම් නැත. එරට පක්ෂ විපක්ෂ සියලු දෙනාම එක්ව යුද්ධයට සහාය දෙති. එය සැමට ආදර්ශයකි. පාස්කු බෝම්බයේ මහමොළකරු සෙවීම ගැන තවමත් උන්නදුවන ලංකාවේ සමහර දේශපාලන නායකයන්ට මෙන්ම බොරැල්ලේ පල්ලියටද හොඳ පාඩමක් උගන්වයි.

හමාස් ප්‍රහාරයේ මහමොළකරු කවුද? මේ ජිහාඩ් ප්‍රහාර පිටුපස සිටින ආගන්තුකයා කවුද? මොහුට ආගන්තුකයා කියන්නේ එක් එක් නිවාසවලට ගොස් රහසේ රාත්‍රිය ගත කරන නිසාය. එවිට ගාසා වැසියෝ හමාස් නායකයා ආගන්තුකයා ලෙස හඳුන්වති. 07 වැනිදා ප්‍රහාරයෙන් පසු ත්‍රාසජනක පණිවිඩයක් ලබා දුන් පුද්ගලයා වන්නේ මොහොමඩ් ඩීෆ් වේ. ඔහු සෙනසුරාදා ප්‍රහාරය සිදු කළ හමාස් සංවිධානයේ හමුදා අංශයේ අණදෙන නිලධාරියාය. කෙළින්ම නොසඟවන මහමොළකරුය. ඊශ්‍රායල ආරක්ෂක අංශ වසර 26 තිස්සේ මොහු ඝාතනය කිරීමට සොයන නමුත් එවන් උත්සාහයන් පහකදී ජීවිතය බේරා ගැනීමට සමත්විය. නමුත් මේ ප්‍රහාර වලින් ඔහුගේ ඇසක් අහිමි වූ අතර තවත් ප්‍රහාරයක් නිසා කකුලක්ද අහිමි විය. එක් අවස්ථාවක ඔහුව ඉලක්ක කරගත් ප්‍රහාරයකදී බිරිඳ හා දරුවා මරණයට පත්විය. කවරක් නමුත් මේ ප්‍රහාරය එල්ලවෙමින් පවතින විට මොහොමඩ් ඩීෆ් ගේ හඬපටයක් නිකුත්විය. එහි කටහඬ සන්සුන් හා නිරවද්‍ය විය. “අපේ ජනතාවට එරෙහිව දිගින් දිගටම සිදුවන අපරාධ, ජාත්‍යන්තර නීති සහ යෝජනා ප්‍රතික්ෂේප කිරීම් හේතුවෙන් මේ සියල්ලට තිත තැබීමට අපි තීරණය කළෙමු, එබැවින් සතුරා තේරුම් ගන්නේ ඔහුට අපව ගණන් නොගෙන තවදුරටත් ප්‍රීති විය නොහැකි බවයි.” (මේ ඩීෆ් ගේ ප්‍රකාශයයි)

ගාසා තීරය උමං ජාලයක් හෑරීමේ දශකයක් පුරා වැඩසටහනේ ගෘහ නිර්මාණ ශිල්පියා වන මොහුය. 1960 ගණන්වල ඛාන් යූනිස් සරණාගත කඳවුරේ මොහොමඩ් ඩයබ් ඊබ්‍රාහිම් අල්-මස්රි ලෙස උපත ලැබූවේ මෙම මහමොළකරුය. 1996 දී ඊශ්‍රායලය ඝාතනය කරන ලද “ඉංජිනේරු” යන අන්වර්ථ නාමයෙන් යුත් බෝම්බ නිෂ්පාදකයෙකු වන යාහ්යා අය්යාෂ් යටතේ මොහොමඩ් ඩීෆ් ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව හැදෑරු බව කියවේ. පසුව ඩීෆ් හමාස් හි හමුදා ඒකකය වන කසාම් බළකායේ ප්‍රධානියා වූ අතර කලකට පෙර ඔහු පළමු ප්‍රාථමික රොකට් නිර්මාණයට වී තිබේ. වර්තමානයේ හමාස්ගේ අවි ගබඩාවේ රොකට් දස දහස් ගණනක් ගබඩා කර ඇති අතර අතර ඔවුන් පසුගිය 07 වැනිදා පමණක් 3,500 ක් අධික ප්‍රමාණයක් යුදෙව් දේශය වෙත එල්ල කර තිබේ.

ඇත්තෙන්ම දැන් හමාස් සංවිධානය විසින් ගාසා තීරයට යටින් ගොඩනැගුණු රහසිගත උමං සංකීර්ණයක කොටස්වලට පහරදෙමින් සිටින බව ඊශ්‍රායලය පවසයි. තමන්ට කිලෝමීටර් 500ක් දිගට උමං මාර්ග ඇතැයි,

ගාසා තීරයේ හමාස් නායකයා මීට පෙර පවසා තිබිණි. සියලු ප්‍රහාර මෙන්ම මෙහෙයුම් සිදුවන්නේ මේ තුළය. මහමොළකරු සැඟවී සිටින්නේද මෙහි විය හැක. ඊශ්‍රායලය මෙය “ගාසා මෙට්‍රෝ” ලෙස නම්කර ඇත. “ගාසා තීරය, සිවිල් වැසියන් සඳහා ස්ථරයකිනුත්, හමාස් සංවිධානය සඳහා තවත් ස්ථරයකිනුත් හැදිලා තියෙනවා කියලා හිතන්න. අපි හදන්නේ හමාස් ගොඩනගපු ඒ දෙවැනි ස්ථරයට ළඟාවෙන්න මේවා ගාසාවල සාමාන්‍ය වැසියො වෙනුවෙන් හදපු බංකර නෙවෙයි. මේවා හදලා තියෙන්නේ හමාසුයි, අනික් ත්‍රස්තවාදීනුයි වෙනුවෙන්, ඔවුන්ට දිගටම ඊශ්‍රායලයට රොකට් එවන්න, මෙහෙයුම් ප්ලෑන් කරන්න, ඊශ්‍රායලයට ත්‍රස්තවාදියො එවන්න පුළුවන් වෙන්න,” ඊශ්‍රායල ආරක්ෂක බළකායන්හි මාධ්‍ය ප්‍රකාශකයා පසුගිය සතියේ සඳහන් කර තිබිණි. ගාසා තීරයේ උමං ඉදිකිරීම ආරම්භ වූයේ, 2005 දී ඊශ්‍රායලය එහි හමුදා සහ ජනාවාසකරුවන් ඉවත්කර ගැනීමට ප්‍රථමයෙනි. 2006 දී, ඊශ්‍රායල දේශසීමාවට යටින් වැටුණු උමඟක් භාවිතාවෙන් පලස්තීන ත්‍රස්තයන් ඊශ්‍රායල සෙබළුන් දෙදෙනකු මරා තවෙකෙකු පැහැර ගත්තේ ය. ‘ගිලාඩ් ශලිත්‘ නම් මේ තෙවැනි සෙබළා වසර පහක් සිරකරුවෙකු වශයෙන් තබා ගැනුණි. 2013 දී, ඊශ්‍රායලයේ ජනාවාසයක වැසියන්ට අමුතු ශබ්ද ඇසීමෙන් පසු, ගාසා තීරයේ සිට එම ජනාවාසය ආසන්නයේ ඉඩමකට වැටී තිබූ කි.මී. 1.6ක් දිග, මීටර 18ක් ගැඹුරු, කොන්ක්‍රීට් බිත්ති සහ වහලය සහිත උමඟක් හමුදාව මගින් සොයා ගනු ලැබිණි.

ඊශ්‍රායලයේ රයික්මාන් විශ්වවිද්‍යාලයේ උගන්වන, භූගත යුද්ධ පිළිබඳ විශේෂඥවරියක වන ආචාර්ය ඩැෆ්නි රිච්මන්ඩ්-බරාක් පවසන්නේ ගාසා උමං වල විශේෂත්වයක් ඇති බවයි. “ගාසා ඇතුළෙ තියෙන උමං මීට වෙනස්, මොකද හමාස් එකෙන් ඒවා නිතර පාවිච්චි කරනවා. ඒවා ඇතුළෙ දිගුකලක් ඉන්න පුළුවන් තරමට වඩාත් සුවපහසු ඇති. ඒවා අනිවාර්යයෙන්ම එක දිගට දිග කාලයක් රැඳිලා ඉන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ ත්‍රස්ත නායකයො මේවයෙ හැංගිලා ඉන්නවා, එයාලට ඒවා ඇතුළෙ අණදීමේ සහ පාලනය කිරීමේ මධ්‍යස්ථාන තියෙනවා, ඔවුන් ඒවා ප්‍රවාහනයටත්, සන්නිවේදන කටයුතුවලටත් පාවිච්චි කරනවා. ඒවට විදුලි බලය, ආලෝකය සහ රේල් පීලි තියෙනවා. ඒවයෙ එහා මෙහා යන්න පුළුවන්, හිටගෙන ඉන්න පුළුවන්.” යනුවෙන් බරාක් මහත්මිය කියයි. එනිසා ත්‍රස්ත තර්ජනය නැවැත්වීම වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ භූගත ත්‍රස්ත පාරාදීසය විනාශ කළ යුතුය.
● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment