පසුගිය සෙනසුරාදා (07දා) උදෑසන හමාස් සංවිධානය විසින් දකුණු දිග ඊශ්‍රායලය වෙත එක දිගටම රොකට් ප්‍රහාර එල්ල කරන්නට විය. ඉන් හෝරාවකට පසු ගාසා තීරය හා ඊශ්‍රායලය අතර ඇති ශක්තිමත් දේශසීමා ආවරණ කඩා බිඳ දමමින් ඊශ්‍රායල භූමියට ඇතුළු වූ හමාස් භටයන් ඉබාගාතේ වෙඩි තබන්නට විය. එම ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මේ වන විට ඊශ්‍රායලය තුළ පුද්ගලයන් 1200 කට වඩා මියගොස් ඇති බව වාර්තා වෙයි. මෙම අනපේක්ෂිත හා සැලසුම්සහගත ප්‍රහාර මාලාවෙන් ඝාතනය වූ අය අතර සිවිල් වැසියන් පමණක් නොව, සොල්දාදුවන් හා විදේශිකයන්ද සිටින බව පැවසේ. තවත් 150 ක් පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගොස් ඇත. ප්‍රාණ ඇපකරුවන් අතර ඊශ්‍රායල හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකුද සිටින බව වාර්තා වෙයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානයට “කිසිදිනක අත්නොදුටු ප්‍රතිවිපාකයකට” මුහුණ දීමට සිදුවනු ඇති බවයි. මේ වන විට හමාස්වරුන්ගේ පාලනයට නතු වී ඇති ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් පවතී. පලස්තීන වැසියන් 1100ක් පමණ මියගොස් ඇති බව වාර්තා වන අතර ගාසා තීරයේ පුද්ගලයන් 260,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා පලස්තීනුවන්ගෙන් ඉල්ලා ඇත්තේ හැකි තරම් ඉක්මනින් ගාසා තීරයෙන් ඉවත්ව යන ලෙසයි. තමන් සටන් කරන්නේ මිනිස් වෙසින් සිටින සත්වයන් පිරිසක් සමඟ බවත් ගාසා තීරය සම්පූර්ණයෙන් වටලන බවත් ඔහු පවසා ඇත.

මේ වන විට ඊශ්‍රායලය, ගාසා තීරයට ලැබෙන ආහාර, ඖෂධ හා විදුලිය ඇතුළු සියලු සැපයුම් නවතා ඇත. ගාසා තීරයේ මිලියන 2.3 ක පමණ ජනතාවක් වාසය කරන අතර එය ලෝකයේ ඉතා අධිකම ජන ඝනත්වයක් සහිත ප්‍රදේශයකි. ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය නිසාම මෙහි ජනතාව බොහෝ විට වෙනත් අරාබි ජාතීන්ගේ මානුෂීය ආධාර මත යැපෙයි. සැපයුම් අවහිර වීමෙන් ගාසා තීරයේ විශාල මානුෂික අර්බුදයක් ඇති විය හැකි බව එක්සත් ජාතීන් ද අනතුරු අඟවා ඇත. එළිමහන් සිරකඳවුරක් මෙන් වූ මෙම කලාපය හමාස් සටන්කාමීන් විසින් පාලනය කරන නමුත් ඊශ්‍රායලය එහි ගුවන් කලාපය සහ වෙරළ තීරය පාලනය කරයි.

ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කරන සෑම අවස්ථාවකම එක් ප්‍රාණ ඇපකරුවකු බැගින් මරා දමන බවට හමාස් සටන්කාමීන් තර්ජනය කර ඇත. සාමාන්‍යයෙන් කුමන හෝ මිලක් ගෙවා තම පුරවැසියන් මුදවා ගැනීමට පෙළඹීමේ ඉතිහාසයක් ඊශ්‍රායලයට ඇත. එක් සෙබළකු වෙනුවෙන් සතුරු පාර්ශ්වයේ සිරකරුවන් සිය ගණනක් වුවද නිදහස් කිරීමට ඔවුන් සූදානම්ය. ප්‍රාණ ඇපකරුවන් අතර ඇමෙරිකානුවන් ද සිටින බව වාර්තා වෙයි. පවත්නා තත්ත්වය හමුවේ ඊශ්‍රායලය මෙවර භූමියේ මෙහෙයුමකට සූදානම් වන බව පෙනෙන්නට තිබේ. ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම ඊශ්‍රායල් හා ඇමෙරිකානු ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකිය. තවද යුද ටැංකි හා සෙබලු ගාසා තීරයට යාබද දේශසීමාවේ ස්ථාන ගත කර ඇත.

බොහෝ විට විවේචනයට ලක්වන්නේ ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයි. එම ප්‍රහාරයන්ගෙන් සිවිල් වැසියන්ට ද බරපතළ හානි සිදුවේ. නමුත් මෙවර ඇඟිල්ල දිගු වන්නේ හමාස් ප්‍රචණ්ඩත්වයට එරෙහිවයි. ඔවුන්ගේ ප්‍රහාරය බොහෝ සෙයින් ම්ලේඡ හා නින්දිත ස්වභාවයක් ගෙන තිබුණි. දෙවියන්ගේ ගුණ ගයමින් මරා දැමූ කාන්තාවන්ගේ නිරුවත් මළසිරුරු මහමඟ රැගෙන යන ත්‍රස්තවාදීන්ගේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය විය. ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට තම සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දී ඇති අතර එක්සත් ජනපදයට අයත් බලසම්පන්න ගුවන්යානා ප්‍රවාහක නෞකාවක් ඇතුළු යුද නෞකා කිහිපයක්ම ඊශ්‍රායලය ආසන්න මුහුදේ ස්ථානගත කර ඇත. ජර්මනිය, ප්‍රංශය ඇතුළු යුරෝපා ප්‍රබලයන්ද ඊශ්‍රායලයට සහාය පළ කර ඇත.

එකම මූලයකින් පැවත එන ජන කොටස්

වර්ෂ 1948 දී ඊශ්‍රායලය බිහිවූ දා පටන්ම මෙම කලාපය ඇත්තේ ගිනි ගොඩක් උඩය. පලස්තීනුවන් හා ඊශ්‍රායල ජාතිකයන් අතර ඇති වන බහින් බස් වීමක් පවා ලෝක යුද්ධයක් දක්වා දිග්ගැස්සීමට හැකිය. මෙම ජනවර්ග දෙක අතර ගැටුම ආවාට ගියාට විග්‍රහ කිරීමට අපහසුය. එය ලොව දීර්ඝතම අඛණ්ඩ ගැටුම්වලින් එකකි. පසුකාලීනව ආගමික මතවාදයන් අනුව බෙදී ගියද පුරාවෘත්ත හා ඉතිහාසය සියුම්ව පරීක්ෂාකර බැලුවහොත් යුදෙව්වන් හා පලස්තීනුවන් එකම මූලයකින් පැවත එන ජන කණ්ඩායම් දෙකක් බව පෙනෙන්නට තිබේ. ඒබ්‍රහම් නම් වූ ඉඩම් හිමියකුට දාව මව්වරුන් දෙදෙනකුගේ කුසින් උපන් පුතුන් දෙදෙනකු පසුකාලීනව තම පියාගේ දේපළ බෙදාගැනීමක් සම්බන්ධයෙන් විරසක වූ බවත් ඒ දෙදෙනාගෙන් පැවත ආ පරම්පරාවන් ජනවර්ග දෙකක් ලෙස බෙදී ගිය බවත් විකල්ප මතයක් පවතී. ක්‍රිස්තු පූර්ව 970 සිට 931 දක්වා අවුරුදු 39ක් පුරා ඊශ්‍රායලය පාලනය කළ සොලමන් නම් රජෙකු ගැන යුදෙව්වන්ගේ හීබෲ බයිබලයේ සඳහන් වේ. බයිබලයට අනුව ඔහු ඊශ්‍රායල් ජාතියේ ප්‍රබලම දුරදක්නා (Farsighted) පාලකයා ලෙස සැලකේ. ඊජිත්තුවේ වහලුන් ලෙස ජීවත් වූ තම ජනතාව රතු මුහුද හරහා පොරොන්දු දේශය හෙවත් ඊශ්‍රායලය වෙත කැඳවාගෙන ආවේ මෝසස්ය. මෝසස් විසින් එදා වහල් භාවයෙන් මුදා ගන්නා ලද ජන කොටස යුදෙව්වන් ලෙස ලෙස නොව ඊශ්‍රායලිතයන් ලෙස හැඳින්වීම වඩා සුදුසුය.

රටක් අහිමි යුදෙව්වන්ට තමන්ගේම රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ඇතිවූ සංකල්පය සයන්වාදය (Zionism) යනුවෙන් හැඳින්වේ. සයන්වාදී ඉගැන්වීම්වලට අනුව ක්‍රි. පූ. 500 දී පමණ රෝමන්වරුන් විසින් පලස්තීනය ආක්‍රමණය කර එතෙක් ඒ ප්‍රදේශයේ ජීවත් වූ යුදෙව්වන් පළවා හැරි බව පැවසේ. නමුත් ක්‍රිස්තු වර්ෂ 500න් පසු ඉස්ලාම් ආගම ඒ ප්‍රදේශයේ පැතිරීමත් සමඟ යුදෙව්වන්ට පලස්තීනයෙන් පලා යෑමට සිදු වූ බව වර්තමාන ඊශ්‍රායල් ජාතිකයන්ගේ මතය වී ඇත.

වර්තමාන ඊශ්‍රායලයේ බිහිවීම

එක් පසෙකින් ඊජිත්තුවට අයත් සීනායි අර්ධද්වීපයට මායිම්ව හා අනෙක් පසින් ජෝර්දානය, සිරියාව හා ලෙබනනය යන අරාබි රටවල්වලට මායිම්ව වර්තමාන ඊශ්‍රායලය බිහි වී ඇත. වර්තමාන ඊශ්‍රායලය බිහිවීමට පෙර එකී ප්‍රදේශයේ වාසය කළේ පලස්තීන අරාබිවරුන්ය. යුදෙව්වන් ලෝකයේ බොහෝ කලාපවල ජීවත් විය. ඔවුන් තමන් ජීවත්වන රටවල වෙනස්ම ජන කොටසක් ලෙස ජීවත් වූ බව පෙනෙන්නට තිබේ. එසේම ඔවුන් සෑම විටම වෙනස් හා විකල්ප මතධාරීන් විය. යුදෙව්වන්ට අවශ්‍ය වූයේ ඉතා බුද්ධිමත් ජන කණ්ඩායමක් ලෙස තම අනන්‍යතාව සකස් කර ගැනීමටයි.

ඊශ්‍රායලය බිහිවීමේ මෑතකාලීන ඉතිහාසය ගතහොත් 1917 දී සකස් කරන ලද බැල්ෆෝර් ප්‍රකාශනය මඟින් ඊට ප්‍රවේශයක් ලබාගත හැකිය. එවකට බ්‍රිතාන්‍ය අගමැති ආතර් බැල්ෆෝර්ගේ “පලස්තීනය තුළ යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීමට සහාය වීමේ යෝජනාව” බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. ඒ යුගය වන විට පලස්තීනය ද ඇතුළත් මැදපෙරදිග ඔටෝමාන් පාලනය පරාජයට පත්වෙමින් තිබුණි. පලස්තීන කලාපයේ පාලනය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් අත්පත් කරගෙන තිබුණි. මෙම ප්‍රදේශයේ ඒ වන විට අරාබි බහුතරයක් හා යුදෙව් සුළුතරයක් වාසය කළහ. ජෙරුසෙලම ඇතුළත් පලස්තීනය සමඟ මුස්ලිම්, යුදෙව් මෙන්ම ක්‍රිස්තියානි ආගමිකයන්ටත් තිබුණේ අත්හළ නොහැකි බැඳීමකි.

ජාත්‍යන්තර ප්‍රජාව විසින් යුදෙව්වන් සඳහා ජාතික රාජ්‍යයක් නිර්මාණය කිරීමේ කාර්යය ඒ වන විට එහි පාලකයා වූ බ්‍රිතාන්‍යයට පවරන ලදී. ඒත් සමඟම අරාබිවරුන් හා හා යුදෙව්වන් අතර ආතතිය වර්ධනය විය. පළමු හා දෙවන ලෝක යුද්ධ අතර දශක තුනක පමණ කාලය තුළ ලෝකයේ සෙසු කලාපවල ජීවත් වූ යුදෙව්වන් විශාල සංඛ්‍යාවක් පලස්තීනයට පැමිණ තිබුණි. පසුව දෙවන ලෝක යුද්ධයේදී අත්විඳින්නට සිදු වූ හිංසා පීඩාවලින් ආරක්ෂා වීමට යුරෝපයේ ජීවත් වූ යුදෙව්වෝද මහා පරිමාණයෙන් පලස්තීනයට පලා ආවෝය. ජන සංයුතියේ වෙනසත් සමඟම යුදෙව්වන් සහ අරාබිවරුන් අතර ප්‍රචණ්ඩත්වය වැඩිවිය.

දෙවන ලෝක යුද්ධයේ ප්‍රධානම වින්දිතයා බවට පත්ව සිටි යුදෙව් ජාතිය ගැන විශේෂ අනුකම්පාවක් ජාත්‍යන්තර ප්‍රජාව අතර පැතිරුණි. Holocaust යනුවෙන් හැඳින්වූ නාසි ක්‍රියාන්විතයේදී යුරෝපයේ ජීවත් වූ යුදෙව්වන් මිලියන 6ක් පමණ ඝාතනය කෙරුණි. 1947 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පලස්තීනය වෙන වෙනම යුදෙව් සහ අරාබි රාජ්‍යයන් ලෙස දෙකට බෙදීමට යෝජනා විය. ජෙරුසලමේ ඇති ඓතිහාසික තත්ත්වය සලකා එය කිසිවකුට අයිති නැති ජාත්‍යන්තර නගරයක් බවට පත්කෙරුණි. මේ සැලසුම යුදෙව් නායකයන් විසින් පිළිගත්තත් අරාබි නායකයන් ඊට අනුගත වූයේ නැත. කෙසේ නමුත් ඊශ්‍රායලය නම් වූ කුඩා දුබල රාජ්‍යයක් අරාබි යෝධයන් මැද බිහිවිය.

මහා නස්පැත්තිය

ඊශ්‍රායල් - පලස්තීන මහා නස්පැත්තිය

1948 දී පලස්තීන ගැටලුව විසඳීමට නොහැකි වූ බ්‍රිතාන්‍ය පාලකයෝ ඉන් ඉවත්ව ගියහ. ඉන් පසුව යුදෙව් නායකයෝ රැස්වී ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශයට පත් කළහ. ඔවුන්ට දීර්ඝකාලීන සැලසුම් තිබුණි. මුලින් ඊශ්‍රායලය බිහිවුණේ වර්ග කිලෝ මීටර් 15 ක පමණ කුඩා ප්‍රදේශයක් තුළය. නමත් කලාපයේ බහුතරය වූ පලස්තීනුවන් කිසිසේත්ම ඊට එකඟ වුණේ නැත. ජනවර්ග දෙක අතර යුද්ධයක් ඇතිවිය. ඊජිප්තුව හා ජෝර්දානය වැනි අසල්වැසි අරාබි රටවල හමුදා පලස්තීන අරාබිවරුන් වෙනුවෙන් සටනට පැමිණියහ. නමුත් යුදෙව් නිජභූමි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය අනුගමනය කළේ දැඩි අමානුෂික ක්‍රියාන්විතයකි. අල් නක්බා නොහොත් මහා නස්පැත්තිය (The Catastrophe) යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රියාවලිය තුළින් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් තම ගම්බිම්වලින් පලවා හැරුණි. සයන්වාදී අන්තවාදී කණ්ඩායම් මේ ප්‍රචණ්ඩ ක්‍රියාවල මූලිකත්වය ගත් අතර ඔවුන්ට රජයේ නායකයන්ගේ අනුග්‍රහය නොඅඩුව ලැබුණි.

මුලින් ලොව බොහෝ රටවල් ඊශ්‍රායලය ස්ථාවර රාජ්‍යයක් ලෙස පිළිගත්තේ නැත. එය තාවකාලික රජයක් ලෙස පමණක් සළකන ලදී. ඊශ්‍රායල රාජ්‍යය සඳහා ලබා දී තිබූ එක්සත් ජාතීන්ගේ නිර්දේශ අමු අමුවේ උල්ලංඝනය විය. නමුත් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය යුදෙව් නායකයන්ගේ නාහෙට නාහන වැඩ ගැන නෑසූ කන්ව සිටි බව පෙනෙන්නට තිබේ. ඔවුන් මැද පෙරදිග කලාපයේ තම නියෝජිතයා ලෙස ළදරු ඊශ්‍රායලය ඒ වන විටත් තෝරාගෙන තිබුණි. අරාබි ලෝකයේ නිල නොලත් නායකයා ලෙස ඒ වන විට කටයුතු කළ ඊජිප්තුවයි. එය දෘෂ්ඨිවාදී ලෙස සෝවියට් දේශය සමඟ එකම සන්ධානයක කටයුතු කළේය. ඒ නිසාම ඊජිප්තුව ආසන්නයේ බිහිවන යුදකාමී විකල්ප රාජ්‍යයක අවශ්‍යතාවය බටහිර බලවතුන්ගේ මූලෝපායික උපක්‍රමයක් විය.

අල් නක්බා ක්‍රියාන්විතය තුළින් අල්ලා ගත් ගම්බිම් වල යුදෙව්වන් පදිංචි කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. පලස්තීනුවන්ගෙන් අත්පත් කරගත් ව්‍යාපාර යුදෙව්වන්ට හිමිවිය. සයන්වාදී ඩයස්පෝරාව ඊශ්‍රායලය තුළ සිදුවන ගැටුම හඳුන්වා තිබුණේ විමුක්ති අරගලයක් ලෙසය. නමුත් කිසිසේත්ම පීඩාවට පත්වූවන්ට විමුක්තිය උදාවූ සටනක් ඊශ්‍රායලය තුළ සිදුවූයේ නැත. එහි පුරවැසියන්ට තමන්ගේම නිජභූමිය තුළ විදේශිකයන් ලෙස ජීවත් වීමට සිදුවිය. ඊශ්‍රායලය යුදෙව්වන්ගේ රාජ්‍යයක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් පවා ඇතුළත් විය. අවුරුදු දහස් ගණනක් තිස්සේ විඳින්නට සිදු වූ නොසලකා හැරීම් නිසා යුදෙව්වන් උපක්‍රමශීලී ජාතියක් ලෙස නැඟී සිටි බව පැවසිය හැකිය.

එක්සත් ජාතීන් මැදිහත් වී ඇති කර ගන්නා සටන් විරාමයක ප්‍රතිඵලයක් ලෙස මුල්ම සයන්වාදී යුද්ධය වසරකින් නිමා විය. නමුත් ඒ වන විට ඊජිත්තුවට අයත් ගාසා තීරයත් ජෝර්දානයට අයත් බටහිර ඉවුරත් ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන තිබුණි. ඊශ්‍රායලයේ නැඟී ඒම පිළිබඳව මුළු අරාබිකරයම නොසන්සුන් විය. යුද්ධයෙන් ලැබූ පරාජය අරාබියේ බලවත් රාජ්‍යයන්ට මහා අවමානයක් ගෙන දුන්නත් ඔවුන්ට කළ හැක්කක් නොතිබුණි. ඇමෙරිකාවේ අනුග්‍රහය යටතේ ඊශ්‍රායලය බලවත් රාජ්‍යයක් ලෙස ඉදිරියට එමින් තිබුණි. ඇත්තටම ඊශ්‍රායලයට තව තවත් යුද්ධ අවශ්‍ය විය. අවට පිහිටි බලවත් අරාබි රටවල් යුද්ධයට ඈඳාගෙන ඔවුන්ගේ භූමි අත්පත් කර ගැනීම ඔවුන්ගේ සැලසුම විය. 1967 දී ඇති වූ සය දින යුද්ධය යනු අරාබි රටවල් ඊශ්‍රායලයේ ගැටයට අහුවුණු අවස්ථාවකි. සය දින යුද්ධය නිමා වන විට ඊශ්‍රායලය නැගෙනහිර ජෙරුසලම, සිරියානු ගෝලාන් කඳුකරය මෙන්ම ඊජිප්තුවට අයත් දැවැන්ත සීනයි අර්ධද්වීපය ද අත්පත් කරගෙන තිබුණි.

ඉන් පසුව සාම ගිවිසුම් යටතේ තමන් අත්පත් කරගත් සමහර ප්‍රදේශ ඒ රටවල්වලට ආපසු ලබාදීමට ඊශ්‍රායලය කටයුතු කළේය. ඔවුන්ට අවශ්‍ය වූයේත් බලය පෙන්වා සාම ගිවිසුම්වලට එළඹීමටයි. කෙසේ නමුත් පලස්තීනුවන් බහුතරය වෙසෙන ගාසා තීරයත් බටහිර ඉවුරත් එක්කර පලස්තීනය නම් රාජ්‍යය නිර්මාණය කර ගැනීමට පසු කාලයක හැකිවිය. ඒ සඳහා යසර් අර්ෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) හෙවත් ෆටා සංවිධානය බොහෝ කලක් සටන් කළේය. 1993 දී හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ මූලිකත්වයෙන් කලාපයේ යම් සාමකාමී වාතාවරණයක් උදාවිය. යිට්සැක් රබීන් ඊශ්‍රායලයේ අගමැතිවරයා ලෙස සාමය සඳහා බොහෝ සෙයින් කැප විය. පසුව යුදෙව් අන්තවාදියකු විසින් රබීන් මහතාව ඝාතනය කරන ලදී. නව පලස්තීන අධිකාරියේ මුල්ම නායකයා ලෙස කටයුතු කළේ ද යසර් අර්ෆත් ය. මේ වන විට පලස්තීන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ මොහමඩ් අබ්බාස් ය.

අරාබි ලෝකයේ හිසරදය

ඊශ්‍රායල් - පලස්තීන මහා නස්පැත්තිය

මොහම්ඩ් අබ්බාස්ගේ පලස්තීන අධිකාරිය ස්ථාපිත කර ඇත්තේ බටහිර ඉවුරේ වුවත් ගාසා තීරය වෙනම පිහිටා ඇත. පලස්තීනුවන් වෙසෙන මෙම කලාප දෙක අතර ප්‍රවේශ මාර්ගයක් පවා නැත. ගාසා තීරයේ බලය හොබවන හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් මේ වන විට බටහිර ඉවුරද කැළඹී ඇත. මධ්‍යස්ථ ස්ථාවරයක සිට ඊශ්‍රායල් රජය සමඟ කටයුතු කරන අබ්බාස්ගේ රජයේ පැවැත්මද මේ වන විට අවදානමට ලක්ව ඇත. බටහිර ඉවුරේ තරුණ කොටස් හමාස් ප්‍රහාරය වීර වික්‍රමාන්විතයක් සේ සලකයි. එසේම තම දීර්ඝකාලීන හතුරා විනාශ කිරීමට සමස්ත අරාබිකරයටම එක්වන ලෙස කලාපයේ අන්තවාදී සංවිධාන විසින් ඉල්ලා ඇත.

හමාස් කණ්ඩායම් පිටුපස සිට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ ඉරානය බවට චෝදනා එල්ල වී ඇතත් ඉරානය එකී චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ නමුත් ඉරාන අධ්‍යාත්මික නායකයා හමාස් සංවිධානයේ ප්‍රහාරය අගය කළ අතර ටෙහෙරානය පුරා ජනතාව රැස්වී ප්‍රීති ඝෝෂා කළහ. හමාස් සංවිධානය සුන්නි මුස්ලිම් ආගමික පදනමින් ගොඩනැඟී ඇතත් මේ වන විට ඊට ෂියා මුස්ලිම් ලෝකයේ නායකත්වය උසුලන ඉරානයේ සහයෝගය ලැබෙන බව නොරහසකි. එසේම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට, බටහිර ඉවුරේ ජිහාඩ් සටන්කාමීන්ට මෙන්ම යේමනයේ හූති කැරළිකරුවන්ට ද ඉරානයේ සහයෝගය ලැබේ. හිස්බුල්ලා සටන්කාමීන් ද මේ වන විට ලෙබනන් දෙසින් ඊශ්‍රායලයට ඇතුළු වීමට ප්‍රයත්න දරන බව වාර්තා වෙයි. මැදපෙරදිග අරාබි ලෝකයේ නායකත්වය ලබා ගැනීමට නම් සමස්ත අරාබිකරයටම දැඩි හිසරදයක් වූ ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමීමේ සංකල්පයටද නායකත්වය සැපයිය යුතුය. කාලයක් ඊශ්‍රායලය සමඟ සතුරු පාර්ශ්වයේ සිටගත් ඊජිප්තුව, සෞදි අරාබිය හා මොරොක්කෝව ආදී මැදපෙරදිග ප්‍රබලයන් දැන් ඊශ්‍රායලය සමඟ යම් සංහිඳියාවකින් කටයුතු කිරීමට පෙළඹී ඇත. ඇමෙරිකාව මේ සමගිය වෙනුවෙන් ඉදිරියට පැමිණ ඇත්තේ අනාගත ලෝකයේ ඔවුන්ට ඇති ප්‍රමුඛම භූ දේශපාලනික අභියෝගය වන්නේ චීනය බැවිනි. ඉරානය චීනය සමඟ යම් මිත්‍රශීලී ප්‍රවේශයකින් කටයුතු කරයි. අරාබි ලෝකය තුළ ඉරානය හුදකලා කර මැදපෙරදිග බලවතුන් සමගි කිරීමට ඇමෙරිකාවට දැඩි වුවමනාවක් ඇත. මේ තත්ත්වයන් හමුවේ සුන්නි.ෂියා භේද නොසලකා ඉරානය එළිපිටම හමාස්වරුන්ට සහාය පළකරන්නේ සමස්ත මුස්ලිම් ලෝකයේම ඇති ඊශ්‍රායල් විරෝධයට දෘෂ්ඨිවාදී නායකත්වය සපයමිනි.

විපක්ෂයේ කාර්යභාරය

මෙම ප්‍රහාරය ඊශ්‍රායල 7/10 ප්‍රහාරය ලෙස ඉදිරියේ නම් කරනු ඇත. එය තවත් 9/11 ප්‍රහාරයකි. ඊශ්‍රායල බුද්ධි අංශවල හා ආරක්ෂක අංශවල අතපසු වීම් නොවුනානම් මෙය පහසුවෙන් වළක්වාගත හැකිව තිබුණි. පසුගිය කාලයේ රට තුළ පැවති දේශපාලන හැලහැප්පීම් නිසා බුද්ධි අංශ යම් අඩපණ වීමකට ලක් වී ඇති බව පැහැදිලිය. ප්‍රහාරයට ටික දිනකට පෙර සිටම ගාසා තීරයේ හමාස් ක්‍රියාකාරකම්වල අසාමාන්‍ය වැඩිවීමක් ඊශ්‍රායල බුද්ධි අංශයන්ට නිරීක්ෂණය වී තිබුණි. ඒ පිළිබඳව ගාසා දේශසීමාවට අනියුක්ත කර ඇති හමුදා ඛණ්ඩවලට අනතුරු අඟවා ඇතත් කුමක් හෝ හේතුවක් නිසා ඉදිරියේ ඇති අනතුර නිසි පරිදි තක්සේරු කර නැත. කෙසේ නමුත් මේ දුෂ්කර මොහොතේ අඩුපාඩු පිළිබඳව වාද විවාද කරන්නත් ප්‍රහාරය ආණ්ඩුවේ අනුදැනුම මත සිදු වූ බව තහවුරු කරන්නත් ඊශ්‍රායල විපක්ෂය උත්සාහ දැරුවේ නැත. රටට එල්ල වී ඇති තීරණාත්මක අභියෝගය හමුවේ සභාග රජයක් නිර්මාණය කිරීමට අගමැති නෙතන්යාහු හා විපක්ෂ නායක බෙනී ගාන්ට්ස් මේ වන විට ගිවිසුම්ගතව ඇත.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment