ජපානයේ 60ක් අධික උණුසුමෙන් ලෙඩ වී රෝහලට

376

දකුණු දිග යුරෝපා රටවල් ඇමරිකා එක්සත් ජනපදය, ජපානය ඇතුළු තවත් රටවල් කිහිපයකට මෙම දිනවල බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය තවත් සති ගණනක් පවතිනු ඇති බවට බටහිර කාලගුණ විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබේ. මෙම අධික උණුසුම් කාලගුණ තත්ත්වයට නිරාවරණය වූ ජපන් ජාතිකයන් 60 දෙනෙකු තාප ආඝාතයට (හීට් ස්ට්‍රෝක් ) ගොදුරු වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර සයිප්‍රසයේ 90 හැවිරිදි පුද්ගලයෙකු එරටට බලපා ඇති සෙල්සියස් අංශක 40ට අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ. තවත් සයිප්‍රස් ජාතික වයෝවෘද්ධ පුද්ගලයන් තිදෙනෙකු අධික උණුසුමට නිරාවරණය වීමෙන් රෝගාතුර වී රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

යුරෝපා අභ්‍යවකාශ ආයතනයට අනුව ඉතාලියට අයත් සිසිලි හා සාඩිනියා දූපත්වල උෂ්ණත්වය ඊයේ (18 දා ) දිනයේ සෙල්සියස් අංශක 48ක් (ෆැරන්හයිට් අංශක 118ක් ) දක්වා ඉහළ ගොස් තිබූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයට අයත් ෆීනික්ස් නගරයේ උෂ්ණත්වය දින 17ක කාලයක් එක දිගට සෙල්සියස් අංශක 43ක අගයෙහි පැවති බව වාර්තා වී තිබේ. යුරෝපා රටවලට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය අගෝස්තු මාසය දක්වා පවතිනු ඇති බවත් ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව යන රටවලට බලපා ඇති අධික උෂ්ණත්වය මෙම මස 28 වැනිදා තෙක් පවතිනු ඇති බව ලෝක කාලගුණ සංවිධානය විසින් නිවේදනය කර තිබේ. අධික උණුසුම හේතුවෙන් ස්පාඤ්ඤයට අයත් කැනේරි දූපත් හා ස්විට්සර්ලන්තයේ බිට්ස්ච් හා වැලයිස් යන ප්‍රදේශවල දරුණු ලැව් ගිනි ඇවිලී ඇති අතර එම ලැව් ගිනි නිවා දැමීම සඳහා ගිනි නිවන භට කණ්ඩායම් සහ හෙලිකොප්ටර් යානා යෙදවීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි. මෙම අධික උෂ්ණත්වය ලොව පුරා පිහිටි සාගරවලටද බලපා ඇති අතර උතුරු අත්ලාන්තික් ඇතුළු ගෝලීය සාගර ජලයෙහි උෂ්ණත්වය මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයෝ පවසති. මේ අතර එංගලන්ත විද්‍යාඥයන් පවසා ඇත්තේ මෙම අධික උණුසුම් කාලගුණ තත්ත්වය සියයට සියයක්ම මිනිසාගේ වරදින් සිදු වී ඇති ව්‍යසනයක් බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment