නේවාසිකාගාර පහසුකම් මදි: රජරට සරසවියේ සිසුන් උපාධිය අත්හැර යනවා

138

ආචාර්යවරුන්ගේ හිඟය 50%ක්
රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති – චමෝද් වික්‍රමරත්න

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පවතින නේවාසිකාගාර පහසුකම් ප්‍රමාණවත් නොමැති වීම, ආචාර්ය හ`ිගය ඇතුළු අධ්‍යයන සහ සුබසාධන ගැටලු රැසක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම උපාධිය අත්හැර යන තත්ත්වයට පත්ව ඇති බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් වික්‍රමරත්න මහතා පැවැසීය.

රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරන ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් මිහින්තලේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමෝද් වික්‍රමරත්න මහතා මෙසේ ද කීය.

රජරට විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන හා සුබ සාධන ගැටලු අතර නේවාසිකාගාර අර්බුදය, ආචාර්යවරුන්ගේ හ`ිගය සහ අධ්‍යයන සුබ සාධන ගැටලු ගොඩගැසී තියෙන්නේ මේ වෙලාවෙ ආණ්ඩුව අනුගමනය කර තිබෙන අධ්‍යාපන ප්‍රතිපත්ති නිසා. මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක් දහස් පන්සිය විසි දෙදෙනකුට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර අහිමිවී තිබෙනවා.

නේවාසිකාගාර ලබාගැනීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ආණ්ඩුවෙන් ඉල්ලීම් කළ විට ආණ්ඩුව උත්තරයක් විදිහට දී තියෙන්නේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නැවත වරක් අධ්‍යයන කටයුතු සිදු කරන ලෙසයි. එහෙමත් නැත්නම් පෞද්ගලික මුදලින් නේවාසිකාගාර කුලියට ගෙන අධ්‍යයන කටයුතු කරන ලෙසට දැනුම් දී තිබෙනවා.

රජරට විශ්වවිද්‍යාලය ප්‍රධාන නගරයෙන් බැහැරව දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබෙන්නේ. මේ වෙලාවෙ රජරට විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලවල බාහිර නේවාසිකාගාර පිහිටා නෑ. ඒ නිසා බාහිර නේවාසිකාගාරවල කළුකඩ මිලක් නියම වී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නේවාසිකාගාර පහසුකම් නොමැතිවීම නිසා තමන්ගේ උපාධිය අත්හැර යන තත්ත්වයට පත්ව තිබෙනවා.

ඒ වගේම මේ වන විට විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිඟය සියයට පනහකට ආසන්න වී තිබෙනවා. ආචාර්යවරු එකසිය විස්සක් සිටිය යුතු තාක්ෂණ පීඨයට ආචාර්යවරු විසිපස් දෙනෙක් පමණ සංඛ්‍යාවක් ඉන්නේ. මේ නිසා ශිෂ්‍යයන්ට තම අධ්‍යයන කටයුතු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. අනෙක් අතට දේශන ශාලා පහසුකම් ප්‍රමාණවත් නෑ. මේ නිසා සියලු ශිෂ්‍යයන් අධ්‍යයන හා සුබ සාධන ගැටලු රැසකට මැදිව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

මේ වෙලාවෙ ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ස්වභාවික මරණයට පත්වීමට ඉඩ හැර තියෙන්නේ ආණ්ඩුව අනුගමනය කර තිබෙන අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසයි.
අනුරාධපුර – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment