‘නන්දිමිත්‍ර ගැමුණු කුමරු හමු වූ රහස් මන්ත්‍රණ සභාව’ දිය යට ඇති කඩදොර විහාරය

399

කොත්මලය පුරාවෘත්තවලින් නම් අඩුවක් නැත. ඒ තරමටම එහි ගැමි රසයෙන් සෝබමාන වූ පරිසරය තවමත් නොයිඳුල්ය. රණමුණේ පෞරාණික පිහිල්ල දැකගැනීමෙන් පසු මේ සොබමාන වූ පරිසරය මැදින් අප ආවේ කොත්මලය ජලාශය නැරඹුම් මැදිරියටය. විසි එක්වැනි ශත වර්ෂයේ සිදු කළ දැවැන්ත වාරි කර්මාන්තයක් වන කොත්මලය ජලාශය කෙතරම් අනර්ඝ නිර්මාණයක් දැයි අපට කදිමට දැක ගත හැකි තැන වන්නේ එතැනය. කඳු දෙකක් හරස් කරමින් ඉදිකර ඇති කොත්මලේ වේල්ලත් එම වේල්ල මතින් ඇති පීත්ත පටියක් වැනි මාවතත් සොබමාන දැකුමකි. එතෙක් මහවැලි නදියේ සහකාරියක වී සිටි කොත්මලේ ඔය කොත්මලේ ජලාශය බවට පරිවර්තනය වන්නේ තිස්පනේ කන්දත් කඩදොර කන්දත් යා කර බැඳි මේ වේල්ල නිසාය. එය කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ සිදු වූ රටට සෞභාග්‍ය ගෙනා දැවැන්ත ව්‍යාපෘතියකි. මේ සා දැවැන්ත වාරි කර්මාන්තයක් ගැන මිනිසෙකුගේ සිතේ සිතිවිල්ලක් හෝ ඇතිවෙන්නට ශතවර්ෂ කීපයකට ඉහතදි මේ ගැන අනාගත වාක්‍යයක් කියූ හපනෙක් ගැනද ජනප්‍රවාදයක් තිබේ. ඔහු ඉතිහාසයේ සුප්‍රසිද්ධ කොත්මලේ ගණිතයා හෙවත් පොන්න නැකැත්තාය.

“අනාගත කාලයකදී මේ කොත්මලේ ඔය දෙපස ඇති තිස්පනේ කන්ද සහ කඩදොර කන්ද එකට එක්වීමෙන් ගංගාව උතුරු දෙසට ගලන්නට පටන්ගෙන රටට සෞභාග්‍ය ගෙන දේවී…”

'නන්දිමිත්‍ර ගැමුණු කුමරු හමු වූ රහස් මන්ත්‍රණ සභාව' දිය යට ඇති කඩදොර විහාරය

කොත්මලේ ජලාශය ඉදිකිරීමට වසර දෙසීයකට පමණ පෙර නැකැත් තරුවක් නිරීක්ෂණය කරමින් කොත්මලේ ගණිතයා කියා ඇත. එම අනාගත වාක්‍ය අද සැබෑවක් වී ඇත. කොත්මලේ ජලාශයේ වතුර විදුලි බලාගාරය සඳහා අධි පීඩන උමග ඔස්සේ ගලා යන්නේ උතුරු දෙසටය. ගණිතයාගේ අනාගත වාක්‍ය කෙසේ හෝ සැබෑවක් වී ඇත. කොත්මලේ විසූ මේ විශ්මිත අනාගත වාක්‍යකරුවා සමග බැඳුණු තවත් රසවත් කතා බොහොමයක් ඇත. කොත්මලේ පුසුල්පිටිය රජ මහා විහාරයේ ගල් පඩි පේළිය යකුන් බැඳගෙන කරවා ඇත්තේ පොන්න නැකැත්තා බවද ඒ කතා අතර කියැවෙන්නේය. ඒ අතර ඌරුපැලැස්සේ අප්‍රකටව ගුප්තා නම් ගැමියෙකුගේ වෙස් ගෙන ජීවත් වූ ගැමුණු කුමාරයා ගැමියෙකු නොව ගැමුණු කුමරුම බව දැනගත් එකම පුද්ගලයා කොත්මලේ ගණිතයා බවට වන ජනප්‍රවාදයක් ද ඇත. එය සිදුවන්නේ ගැමුණු කුමරු දුටු සිහිනයක පලාපල දැනගැනීමට පොන්නා නැකැත්තා හමුවට යෑම නිසාය. ඒ කතාවට අනුව ගැමුණු කුමරු මාවෙල අස්වද්දන කාලයේ දහවල් ඇඹුල ගෙන රන්මැණිකාගේ උකුලේ මදක් නිදා සිටීම පුරුද්දකි. එසේ නිදන දිනකදී කුමරු විකාර රූපී සිහිනයක් දකී. මාපට ඇගිල්ලේ මීයක් බැඳිනුද, තමන්ගේ දිව දික් වී රට වටේ ගොස් නැවත කුඩා වන අයුරුද කුමරු සිහිනයෙන් දුටු බව කියැවේ. මේ විකාරරූපී සිහිනයේ අර්ථය පහදා ගැනීමට පොන්නා නැකැත්තා හමු වූ පසු මේ සිටින්නේ අනාගතයේ රජ වන ගැමුණු කුමරුම බව දැනගෙන පොන්නා නැකැත්තා කුමරුට වැඳ වැටුණු බව කියයි. මෙවැනි කතාන්දර නම් කොත්මලේ ගණිතයා පිළිබඳ තවත් තිබේ. නමුත් ගැමුණු කුමරු රාජ්‍යත්වයට පත් මාගම රාජධානියෙන් ශත වර්ෂ ගණනාවකට පසු නුවර රාජධානිය සමයේත් පොන්න නැකැත්තා සම්බන්ධ ජනප්‍රවාද කතා ගෙතී තිබේ. මේ නිසා ඉතිහාසය පිළිබඳ දැනුමැති විද්වතුන්ගේ අදහස වන්නේ පොන්න නැකැත්තා යනු කොත්මලේ ජීවත් වූ ඒ කාලයේදී මෙරටට පැමිණි ඉන්දීය සම්භවයක් ඇති ජ්‍යොතිෂ කුලයක පිරිසක් වනු ඇති බවයි. පොන්නා යන නාමය ඔවුන්ගේ පෙළපත් නාමය වන අතර නැකැත් ශාස්ත්‍ර බැලීමේ උරුමය කලින් කලට හිමිවෙන්නා පොන්න නැකැත්තා යනුවෙන් හඳුන්වන්ට ඇතැයි කියැවේ. ඒ අනුව කොත්මලේ ගණිතයා එකම පුද්ගලයෙකු නම් නොවේ. කෙසේ වෙතත් කොත්මලේ පුරාවෘත කතා පිළිබඳ රසවත් විශිෂ්ට ග්‍රන්ථයක් කරන පී. බී. කෙහෙල්ගමුවේ සඳහන් කර තිබෙන්නේද කොත්මලේ ගණිතයා නමින් පෙළහැර පෑ නක්‍ෂත්‍ර ශාස්ත්‍රවරයා කොත්මලේ ඔය සම්බන්ධයෙන් සිදුවන විපර්යාසය කල් තියා කියූ බවය.

ගණිතයාගේ අනාවැකියට අනුව කොත්මලේ ඔය හරස් කරමින් සිදු කළ ඒ අසිරිමත් වාරි කර්මාන්තය සිදුවන්නේ එක්දහස් නවසිය හැත්තෑව අසූව දශකවලය. ජලාශය නිල් දියෙන් පිරීයන විට ඊට යට වන මුළු බිම් ප්‍රමාණය අක්කර 2360 කි. එම බිම් ප්‍රමාණයේ ජීවත් වූ පවුල් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් මේ දැවැන්ත වැඩසටහනට ඉඩ දී ස්වකීය නිජබිම් අත් හැර වෙනත් ප්‍රදේශවලින් ලබා දුන් ඉඩම්වල පදිංචියට ගොස් ඇත. මේ දැවැන්ත ජල කඳට වැසී ගිය පෞරාණික ආගමික ස්ථාන 18 කි. මොරපේ ඓතිහාසික දේවාලය සහ පත්තිනි දේවාලය ඊට අයත් ය. ඔතලාවේ බෝධිරුක්ඛාරාමය, තිස්පනේ සුභද්‍රාරාමය, මැදගොඩ විහාරය, නවන්ගම අභිනවාරාමය, කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරාමය වැනි විහාර දියට යට වූ බෞද්ධ විහාර ආරාමයන්ය. වර්තමානයේ ගවේෂක සංචාරකයන් අතර ජනප්‍රිය පුරාණ කඩදොර විහාරය වන්නේ මේ ප්‍රියබිම්බාරාමයයි. දිය සිඳී ගිය කාලයට කලාතුරකින් දැකිය හැකි එය අතීතකාමිත්වය කුලුගන්වන ඉදිකිරීමකි. දීර්ඝ කාලයක් තිස්සේ දියෙන් යටව තිබීම හේතුවෙන් අමුතුම සිරියක් විදහාලන විහාර ගෘහයේ ඉතිරි වූ නටබුන් ඡායාරූප ශිල්පීන්ගේ සිත් ගත් ස්ථානයකි. ජලාශයට යටවූ අනෙකුත් විහාර ආරාම විනාශව ගියමුත් කඩදොර විහාරයේ වීරාසනයෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ අදටත් නොසෙල්වී එලෙසින්ම පැවතීම එක්තරා ආශ්චර්යයක් වැන්නකි. අප කොත්මලේ සංචාරය කළේ ජලාශයේ දිය සිඳුණු කලෙක නොවුණු නිසා කඩදොර පුරාණ විහාරයේ ඒ දුර්ලභ දසුන දැකගැනීමේ වාසනාව මෙවර දුරස් විනි. දැනට විහාර ගෘහයේ කොටසක් සහ බුද්ධ ප්‍රතිමා වහන්සේත් මකර තොරණත්, රැස් වළල්ලේ කොටසකුත් පමණක් ඉතිරව ඇති කඩදොර විහාරයේ සිත නිවාලන දර්ශනය තව කොතරම් කාලයක් පවතීද යැයි අපට අනාවැකි කිව හැකි නොවේ. නමුත් ඔබ පුරාණ කඩදොර විහාරය දැකගැනීමට යන්නේ නම් ඔබේ සංචාරය සිදුවිය යුත්තේ කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළටම බැස ගිය සමයකයි. එවිට ගැමුණු කුමාරයා කොත්මලයේ සැඟව සිටියදී මාගමින් පැමිණි නන්දිමිත්‍ර යෝධයා සමග රහස් සාකච්ඡා පැවැත් වූ බව කියන කඩදොර විහාරයේ ශේෂව ගිය නටබුන් දැකිය හැකි වේ.

කොත්මලේ සංචාරයේදී පුසුල්පිටිය රජමහා විහාරය ද මග නොහැර ගත යුතු තවත් ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථානයකි. මාගම රාජධානියේ මුල් අවධියේදී ඉදිකිරීමට ඇතැයි සැලකෙන මෙම විහාරය පිහිටා ඇත්තේ කොත්මලේ නවන්ගම ග්‍රාමයේය. ගැමුණු කුමරු කොත්මලේ සිටි කාලයේදී නිතර ආ ගිය තැනක් වන මේ විහාරස්ථානය සැලකෙන්නේ පසු කලෙකදී කඩොල් ඇතුගේ දළ යුගලය හිමි වූ ස්ථානය ලෙසය. පුසුල්පිටිය විහාරස්ථානය හා බැඳි එවැනි ඉතිහාස කතා රාශියකි. මාගම රාජධානිය සමයේ සිටි කොත්මලේ ගණිතයා ද පුසුල්පිටිය විහාරස්ථානයට සබඳකමක් තිබේ. නක්‍ෂත්‍රයේ කෙළ පැමිණියෙකුට අමතරව පොන්න නැකැත්තා නොහොත් ගණිතයා පරම්පරාවෙන් උරුම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයෙන්ද සන්නද්ධ වූවෙකි. පුසුල්පිටිය විහාරයේ ගල් පඩි පෙළ ගණිතයා විසින් කරවා ඇත්තේ ඔහු සතු වූ ගුප්ත ශාස්ත්‍ර දැනුමින් යක්ෂයෙකු බැඳගෙන බවද කියැවේ. ඒ ගල් පඩි දිගේ පැමිණෙන ගැමුණු කුමරු නන්දිමිත්‍රව රහසේ හමුවන තවත් තැනක් වන්නේ පුසුල්පිටිය විහාරස්ථානයේ ගල් තලාවයි. කාවන්තිස්ස පිය රජතුමාගේ මරණයෙන් පසු මාගම රාජධානියේ රාජ්‍යත්වය හිමි වීම පිළිබඳ කුමරුට මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ එම ගල්තලාවේදී බවට ද ජනප්‍රවාද කතාවක් ගෙතී ඇත. ඒ කුමක් වෙතත් රාජ්‍ය පාලනය හා බෞද්ධ වෙහෙර විහාරවල අතීත සබඳකම් පෙන්වන තවත් නිදසුනකි පුසුල්පිටිය විහාරය. සෙංකඩගල රාජධානිය සමයේදී ද මේ විහාරස්ථානය දේශපාලනික වශයෙන් වැදගත් වේ. ඒ 1818 දී ඇති වූ උඩරට සටනට නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාවේ සැඟ වී සිටි එක් ස්ථානයක් ලෙස මෙය සැලකෙන බැවිනි. කැප්පෙටිපොළ විරුවා උඩරට සටනට සේනා සංවිධානය කිරීමේ මර්මස්ථානයක් ලෙස මේ ඓතිහාසික ස්ථානය භාවිතා කර තිබේ. ඊටත් පෙර සිටම උඩරට රාජධානියේ රාජ අනුග්‍රහය පුසුල්පිටිය විහාරස්ථානයට ලැබී තිබේ. ක්‍රි. ව. 1751 වසරේදී රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම විහාරස්ථානයේ වැඩ විසූ සඟරුවනේ සුරක්ෂිතතාවය වෙනුවෙන් වී බුසල් තුන්දහසක් ගත හැකි කුඹුරු අමුණු 65 පූජා කළ බව සඳහන් වේ. මේ අස්වැන්න තැන්පත් කළ හැකි විශාල වී අටුවක් පුසුල්පිටිය විහාරස්ථානයේ දැකිය හැකි වේ. ගල් කණු දොළසක් මත ලීයෙන් ඉදිකර තිබෙන එය මධ්‍යම පළාත් විහාර ආරාම අතර තිබෙන විශාලතම වී අටුවක් ලෙස සැලකේ. එවැනි පෞරාණික විටිනාකම් රාශියක් උරුම කරගෙන තිබෙන පුසුල්පිටිය රජමහා විහාරය අද බොහො දෙනාගේ අවධානය ගිලිහි ගිය තැනක් බවට පත්ව තිබෙනු පෙනේ. ඔබ මහනුවර කොත්මලේ මාර්ගයේ සීතල නුවරඑළියට සංචාරය කරන්නේ නම් මේ අතීත සංස්කෘතික උරුමය රැඳි පොළවට එක් වරක් හෝ පියවර තබන්නේ නම් කොතරම් අගනේද… පුසුල්පිටිය විහාරස්ථානයට සමු දී කොත්මලේ මොරපේ ඓතිහාසික දේවාලයේ යටගියාව සොයා යන්නට මත්තෙන් අපි ඔබට එසේ ඇරයුම් කරමු.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment