චීන – ඉන්දීය බල ගැටුම මාලේ දූපතේ නාටකය

1270

මාලදිවයින වර්ජනය කරන මාධ්‍ය මෙහෙයුමට මොදී ආණ්ඩුවේ පූර්ණ සහය ලැබේ. එය ප්‍රසිද්ධියේ නොව රහසින්ය. 2013 සිට 2018 දක්වා ජනාධිපති ධුරය දැරූ අබ්දුල්ලා යමීන් චීන හිතවාදියෙකු වූ අතර ඔහු බලයෙන් පන්නා දැමීමට මූලික වූයේ ඉන්දියාවයි. අබ්දුල්ලා යමීන් යටතේ මාලදිවයින චීනයට සමීප වූ අතර චීනය සහ සෙසු ලෝකය අතර මාර්ග, දුම්රිය සහ නාවික සම්බන්ධතා ගොඩනැගීම සඳහා ජනාධිපති ෂී ජින්පින්ග්ගේ මහා ‘තීරය සහ මාර්ග මුලපිරීම’ සමග සම්බන්ධ විය. මෙය ඉන්දියාව කෝපයට පත්කරන්නක් විය.

චීන ජනාධිපති ෂී ජින්පින් පසුගියා බදාදා දිනයේ මාලදිවයින් ජනපති මොහොමඩ් මුයිසු සමඟ සාකච්ඡා පැවැත්වූ අතර ඉන් අනතුරුව දෙරට සංචාරක සහයෝගීතාව ඇතුළු “ප්‍රධාන” ගිවිසුම් 20 කට අත්සන් කළේය. මෙහිදී මාලේ ජනපතිවරයා පැවසුවේ චීනයට තම පළමු රාජ්‍ය සංචාරය කිරීමටත්, චීනය මේ වසරේ සත්කාරකත්වය දැරූ පළමු විදේශීය රාජ්‍ය නායකයා වීමටත් හැකිවීම තමාට ගෞරවයක් වන බවයි. මෙහිදී චීන ජනපතිවරයා, මාලදිවයිනේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් සඳහා තමන් සහාය දෙන බවත් මාලදිවයිනේ ජාතික ස්වෛරීභාවය, ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බවත් අවධාරණය කර තිබිණි. ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් දැඩිව පවතින සමයේ මුයිසු-ෂී ජින්පින් හමුව ගැන දිල්ලිය ඉතාම වුවමනාවෙන් බලා සිටි බව රහසක් නොවේ. ඉන්දීය මාධ්‍ය අවධාරණය කරන්නේ මාලේ – දිල්ලි ගැටුම පිටුපස සිටින්නේ බිජිං ආණ්ඩුව බවයි. චීනය මාලේ දූපතක හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා සූදානම් වන බවත් ඉන්දීය මාධ්‍ය මගින් අනාවරණය කර තිබිණි. මේවා සත්‍ය කරුණුද යන්න අපට පැහැදිලි නැත. මීට වසර ගණනාවක සිටි ඉන්දීය මාධ්‍ය පවසන්නේ හම්බන්තොට චීන හමුදා කඳවුරක් ඉදි කරන බවයි. නමුත් එය ගජබින්නයකි. කෙසේවෙතත් මීට පෙර මාලදිවයින් නායකයන් තේරී පත්වීමෙන් පසු ප්‍රථම සංචාරය ඉන්දියාවේ සිදු කළ නමුත් මුයිසුගේ බීජිං සංචාරය ඉන්දියාවට කරන බරපතළ නින්දාවක් ලෙස ප්‍රකටය.

චීන - ඉන්දීය බල ගැටුම මාලේ දූපතේ නාටකය

සිය චීන සංචාරය නිමවා නැවත සිය රට බලා පැමිණි මාලදිවයින් ජනපති මොහොමඩ් මුයිසු ප්‍රකාශ කර සිටියේ කුමක්ද? “මාලදිවයින කුඩා විය හැකි නමුත් එයට හිරිහැර කිරීමට කිසිම රටකට බලපත්‍රයක් ලබා දී නැති බවයි. මෙය කෙළින්ම ඉන්දියාව එල්ල කර ගැසූ පහරකි. එහිදී ඔහු මෙසේද ප්‍රකාශ කර තිබිණි. ඉන්දියන් සාගරයේ අපට කුඩා දූපත් තිබුණත් වර්ග කිලෝමීටර් 900,000ක විශාල ආර්ථික කලාපයක් අපට තිබෙනවා. මාලදිවයින යනු මෙම සාගරයේ විශාලතම කොටස ඇති රටවලින් එකක් මෙම සාගරය නිශ්චිත රටකට අයත් නොවේ. ඉන්දියානු සාගරය එහි පිහිටා ඇති සියලුම රටවලට අයත් අපි කාගේවත් ගෙවත්තේ නැහැ. අපි ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක්.”

මේ අතර ඉන්දීය සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය පුරවැසියන් මාලදිවයිනේ සංචාරය වර්ජනය කළ යුතු බවට වෙනම ප්‍රචාරණයක් දියත් වේ. ඒ ඉන්දීය අගමැතිවරයාගේ ලක්ශාදීප් දූපතේ සංචාරයෙන් පසුව ඇතිවූ ගැටුමේ ප්‍රතිඵලයකි. මේ කතාව කුමක්ද? ඉන්දීය දූපත් දාමයක් වන ලක්ෂද්වීප්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ඡායාරූප ඇතුළත් අගමැති නරේන්ද්‍ර මෝදි විසින් තබන ලද එක්ස් (මීට පෙර ටිව්ටර්) සටහනට ප්‍රතිචාර වශයෙන් මාලේ රාජ්‍යයේ නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙක් සැර ප්‍රතිචාර දක්වා තිබිණි. අගමැති මෝදි විසින් තබන ලද සමාජ මාධ්‍ය සටහනට මල්ෂා ෂරීෆ්, මරියම් ෂිඋනා සහ අබ්දුල්ලා මහ්සූම් මජිඩ් යන නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනා ප්‍රතිචාර දක්වා තිබුණේ ඉන්දීය අගමැතිවරයා “කවටයෙක්”, “ත්‍රස්තවාදියෙක්” සහ “ඊශ්‍රායලයේ රූකඩයක්” ලෙස හඳුන්වමිනි. මේ ප්‍රතිචාර නිසා මේ තිදෙනා ධූරවලින් නෙරපා හරින ලෙසට දැඩි ලෙස ඉල්ලීම් යොමු වී තිබුණ ද, මාලදිවයින් මාධ්‍ය සඳහන් කළේ, එම නිලධාරීන් තිදෙනාගේ රාජකාරී තාවකාලිකව අත්හිටුවීම පමණක් සිදු කර ඇති බව ය. එය සිදුවූයේ පසුගිය 07 වැනිදාය. මරියම් ෂිඋනා ඉන්දියාව ගොම ගොඩක් සමග ද සංසන්දනය කර තිබිණි. මෙය මාලේ දූපතේ ඉන්දීය විරෝධය වඩා හොඳින් පැහැදිලි වන අවස්ථාවකි. ඇත්තෙන්ම අගමැති මෝදි ලක්ෂද්වීප් වෙත ගියේ එය වඩා හොඳ ගමනාන්තයක් බව ඉන්දියානුවන්ට දැන්වීම සහාය. මාලේ නොව ලක්ෂද්වීප් තෝරා ගැනීම වෙනුවෙන් එම පණිවුඩය නිකුත්කර තිබිණි.

අගමැති මෝදිට එරෙහිව කළ සරදම ඉන්දියානු සමාජ මාධ්‍යවල පරිශීලකයන්ගේ කෝපයට තුඩු දුන් අතර #BoycottMaldives සහ #ExploreIndianIslands වැනි හැෂ්ටැග් ප්‍රසිද්ධියට පත් වීමට ද හේතු විය. මේ නිසාම මාලදිවයින්හි නිවාඩු ගත කිරීමට ඇති සැලසුම් අවලංගු කරන බවට ඇතැමෙක් පැවසූහ. පසුගිය වසරේ මාලදිවයින් වෙත පැමිණි විශාලතම සංචාරක කණ්ඩායම අතර ඉන්දියානුවෝ වූහ. ඉන්දියානු ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවියක් වන EaseMyTrip ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ, තම සමාගම මාලදිවයින් වෙත සිදු කෙරෙන සියලු ම ගුවන් ගමන් වෙන්කිරීම් අත්හිටුවා ඇති බව ය. ප්‍රකට බොලිවුඩ් තරුවක් වන අක්ෂේ කුමාර් මෙන් ම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානුවන් මාලදිවයින් රජයේ ඇමැතිවරුන් තිදෙනාගේ ප්‍රකාශ පිළිබඳව තම කනගාටුව පළ කර තිබිණි. මාලදිවයින්හි හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මෙම නිලධාරීන් තිදෙනා විසින් සිදු කරන ලද ප්‍රකාශ “ඉන්දියාවට එරෙහි වෛරී ප්‍රකාශ” ලෙස හඳුන්වමින් දැඩි ලෙස හෙළා දුටුවේ ය. ඔහු ඉන්දියානු හිතවාදියෙකු වන අතර එම නිසාම පසුගියව වසරේ ජනපතිවරණය පරාජය විය. ජනපතිවරණය ජයග්‍රණය කරනු ලැබුවේ “ඉන්දියාව පලයන්” යනුවෙන් සිය මැතිවරණය ව්‍යාපාරය ගෙන ගිය වත්මන් ජනපතිවරයාය. මේ නිසා දිල්ලිය බෙහෙවින් කෝපවී සිටි. ඉන්දීය මාධ්‍ය මොහොමඩ් මුයිසු සමාන කරන්නේ ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටය. බ්‍රාහ්මණයන් රාජපක්ෂ ආණ්ඩුවට කොහෙත්ම කැමතිවූයේ නැත. දැන් මාලේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ අරඹා තිබේ.

කොරෝනා සමයට පෙර මාලේ රාජ්‍ය වෙත වැඩියෙන් සංචාරකයන් පැමිණි රට වූයේ චීනයයි. එහෙත් පසුගිය වසරේදී එරටට වැඩියෙන් සංචාරකයන් පැමිණියේ ඉන්දියාවේ සිටය. මේ නිසා ඉන්දියාවට මාලේ රාජ්‍ය කෙරෙහි දැනෙන බලපෑමක් කළ හැකි බව සත්‍යයකි. එනිසාම චීනයට ගිය අවස්ථාවේ ජනපති මොහොමඩ් මුයිසු පවසා තිබුණේ වැඩියෙන් තම රටට සංචාරකයන් එවන ලෙසය. ඉන්දියාව තම දේශපාලන හා රාජතාන්ත්‍රික ක්‍රියා මාර්ග ගෙනයන්නේ අසල්වාසීන්ට යහපතක් සිදු කරන්නට නොව තමන්ගේ යහපත උදෙසාය. චීනය මාලේ රාජ්‍යයේ සිදු කරන ආයෝජන පිළිබඳව ඉන්දියාව සිටින්නේ බලවත් සැකයෙනි. මේ ගැන ලාංකිකයින්ට අමතුවෙන් කිව යුතු නැත. චීන මසුන් මරණ යාත්‍රාවක් කොළඹට පැමිණි විටත් දිල්ලියේ බ්‍රාහ්මණයෝ කලබල වෙති.

කෙසේවෙතත් මාලේ හි පදිංචිකරුවන් කිහිප දෙනකු බීබීසී ලෝක සේවයට පවසා තිබුණේ ඉන්දියාව සමග පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටුම දෙරට අතර සබඳතාවලට බාධාවක් විය හැකි නිසා තමන් කනස්සල්ලට පත්ව සිටින බවයි.

ඉන්දියානුවන් මාලේ වර්ජනය කිරීමේ කතාව ගැන අපි කලකිරුණා. එසේම අපි අපේ රජය ගැන කලකිරුණා. අපගේ නිලධාරීන්ගේ පැත්තෙන් හොඳ විනිශ්චයක් තිබිලා නැහැ. මාලදිවයින් ජාතික විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වන මාරියම් ඊම් ෂෆීග් පවසයි.” අපි ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා ද ඉන්දියාව මත යැපෙනවා මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආධාරකරුවෙකු වන ෂෆීග් මහත්මිය කියයි. මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට “ඉන්දියාව පළමුව” ප්‍රතිපත්තියක් ඇති අතර දිල්ලි සමඟ සමීප සබඳතා ඇති කියවේ. නමුත් ඔවුන් පසුගිය මැතිවරණයේදී පරාජයට පත්විය. මේ නිසා මාලේ ජනයා අතර පැහැදිලි ඉන්දීය විරෝධයක් ඇති බව රහසක් නොවේ. නමුත් සංචාරක කර්මාන්තය එරට පළමු ආදායම නිසා ඉන්දීය වර්ජනය පාරාවළල්ලක් විය හැකිය. ඉදිරියේදී මාලේ දිල්ලි ගිනි කෙලි දැකගත හැකිවන අතර චීනය මේවා දැක සිනාසෙනු ඇත.

හිටපු ජනපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි විසින් දියත් කළ “පළමුව ඉන්දියාව” ප්‍රතිපත්තිය එතරම් ජනප්‍රිය නොවීමට එක් හේතුවක් වූයේ ඉන්දියාව මාලදිවයින් රජය වෙත ලබා දුන් “තෑගි” වටා ගොඩ නැගුණු මහජන කෝපය යි. 2010 සහ 2013 වසරේදී ලැබුණු හෙලිකොප්ටර් දෙකක් සහ 2020 ලැබුණු කුඩා ගුවන් යානයක් එම තෑගි අතර විය. දිල්ලි ආණ්ඩුව පැවසුවේ, මෙම යානා සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ හදිසි අවස්ථාවලදී රෝගීන් ගෙන යෑම සඳහා භාවිත කිරීමට නියමිත බව ය. නමුත් 2021 වසරේදී මාලදිවයින් ආරක්ෂක බළකාය පැවසුවේ, ඉන්දීය ගුවන් යානා ක්‍රියා කරවීමේ සහ නඩත්තු කිරීමේ කටයුතු වෙනුවෙන් ඉන්දීය හමුදා නිලධාරීන් 75 දෙනකු පමණ රට තුළ සිටින බව ය. මෙය එරට වැසියන්ගේ බලවත් කෝපයට හේතු වූ අතර වත්මන් ජනපතිවරයා මේ සියලු දෙනාටම තම රටින් ඉවත්වන ලෙස නියෝග කර තිබේ. මාලදිවයින කොන් කිරීමට ඇත්ත හේතු වන්නේ මෙයයි. මාලෙට වඩා හොඳ ඉන්දීය දූපත් ගැන කතා කරන්නේද මේ නිසාය. මාලදිවයින වර්ජනය කරන මාධ්‍ය මෙහෙයුමට මොදී ආණ්ඩුවේ පූර්ණ සහය ලැබේ. එය ප්‍රසිද්ධියේ නොව රහසින්ය. 2013 සිට 2018 දක්වා ජනාධිපති ධුරය දැරූ අබ්දුල්ලා යමීන් චීන හිතවාදියෙකු වූ අතර ඔහු බලයෙන් පන්නා දැමීමට මූලික වූයේ ඉන්දියාවයි. අබ්දුල්ලා යමීන් යටතේ මාලදිවයින චීනයට සමීප වූ අතර චීනය සහ සෙසු ලෝකය අතර මාර්ග, දුම්රිය සහ නාවික සම්බන්ධතා ගොඩනැගීම සඳහා ජනාධිපති ෂී ජින්පින්ග්ගේ මහා ‘තීරය සහ මාර්ග මුලපිරීම’ සමග සම්බන්ධ විය. මෙය ඉන්දියාව කෝපයට පත්කරන්නක් විය. එහෙත් චීනය මාලේ දේශපාලනය වෙනස් කරන්නට උත්සාහ ගන්නේ නැත. එම නිසාම මාලේ වැසියන්ගේ ඉන්දීය විරෝධය බලවත්ය. එය තරුණ ප්‍රජාව අතර පැහැදිලිව දැකිය හැක.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment