ගිනි පොලී ගෙවලා ඉවරයි! මහ බැංකුවෙන් සීමාවක්

10358

උද්ධමනය අඩු වීම ඇඟට නොදැනෙන්නේ ඇයි?

මහ බැංකුව මෑත දී දෙවරක් සියයට 4.5 කින් පමණ සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කළේය. එම පොලී අඩු කිරීමේ වාසිය වෙළෙඳපොළ පොලී අනුපාතිකවලින් ද නිරුපණය විය යුතුව තිබේ. එහෙත් එය වේගවත්ව සහ ප්‍රමාණවත් මට්ටමින් සිදුව නොමැත. මෙය අපි පසුගිය ඉරිදා ‘ඉකොනො කොලම’ මගින් ද කියා සිටියෙමු. මහජනයාගේ චෝදනාව වන්නේ ද මහ බැංකුව පොලී අඩු කළත් ඊට අනුරූපව වාණිජ බැංකු විසින් ඔවුන්ගේ විශේෂයෙන්ම ණය පොලී අනුපාත අඩු කර නැති බවයි. බැංකු පොලී අනුපාතවල යම් අඩුවීමක් සිදුව තිබුණත් එය ප්‍රමාණවත් මට්ටමින් සිදුව නැත. මේ සඳහා මහ බැංකුව මැදිහත්ව පියවරක් ගන්නා ලෙස අපි මහජනයා වෙනුවෙන් මහ බැංකුවෙන් ඉල්ලා සිටියෙමු. මහ බැංකුව ද කලින් සිය නිවේදන මගින් සඳහන් කර තිබුණේ ප්‍රමාණවත් ලෙස පොලී අනුපාත අඩු කිරීමට වාණිජ බැංකු පියවර නොගන්නේ නම් වාණිජ බැංකුවලට එරෙහිව ඒ සඳහා නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවයි. ඒ අනුව මහ බැංකුව පෙරේදා (25) සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කරමින් බැංකුවලට උපරිම පොලී අනුපාත නියම කරමින් මේ නියාමන ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත්තේය.

ගිනි පොලී ගෙවලා ඉවරයි! මහ බැංකුවෙන් සීමාවක්

ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයේ ඉකුත් අගෝස්තු මස 23 වැනි දින පැවති රැස්වීමේදී මේ නියාමන ක්‍රියාමාර්ග ගැනීමේ තීරණය ගෙන තිබේ. මෙතෙක් පොලී අනුපාත අඩු කරමින් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වෙළෙඳපොළ පොලී අනුපාතික අඩු වීම සහ වෙළෙඳපොළ පොලී අනුපාතික තවදුරටත් වේගයෙන් අඩු වීම සඳහා අවකාශය ලබා දීමේ අවශ්‍යතාව මේ අනුව මුදල් මණ්ඩලය විසින් එම රැස්වීමේ දී සලකා බලා ඇත. මේ අනුව අප සඳහන් කළ පරිදිම වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූල නොවන ලෙස ඇතැම් ණය උපකරණ සඳහා අදාළ වෙළෙඳපොළ පොලී අනුපාතික අධික ලෙස ඉහළ මට්ටමක පවතින බව මුදල් මණ්ඩලය නිරීක්ෂණය කර තිබේ. මේ අනුව මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල වේගවත් අඩුවීමක් සිදු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි. ඒ අනුව, අධික ලෙස ඉහළ මට්ටමක පවතින ඇතැම් ණය පොලී අනුපාතික අඩු කිරීම සඳහා ඉලක්කගත නියාමන ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරි කාලය තුළදී සමස්ත රුපියල් ණය පොලී අනුපාතික සුදුසු ප්‍රමාණයකින් අඩු කිරීමට බලපත්‍රලාභී බැංකු යොමු කිරීමටත් මුදල් මණ්ඩලය තීරණය කර ඇත. මේ තීරණයට අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට ගැළපෙන ආකාරයෙන් සෙසු පොලී අනුපාතිකයන් ද සාමාන්‍යකරණය කිරීම සඳහා උපරිම පොලී අනුපාත සීමා නියම කරමින් පසුගිය 25 වැනිදා මහ බැංකුව විසින් චක්‍රලේඛයක් නිකුත් කළේය.

මේ ගැන කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අගෝස්තු 24 වැනි දින පැවති අතර එහි දී මහ බැංකු අධිපතිවරයා මේ තීරණ ප්‍රකාශයට පත් කළේය. මේ අනුව සියලුම බලපත්‍රලාභී බැංකුවල උකස් පහසුකම් මත වාර්ෂිකව සියයට 18ක්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත වාර්ෂිකව සියයට 23ක්, ණය කාඩ්පත් මත වාර්ෂිකව සියයට 28ක් ලෙස උපරිම පොලී අනුපාතික සීමා පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. එසේම දඩ පොලී අනුපාතික, අදාළ ණය පහසුකම සඳහා අය කරනු ලබන සාමාන්‍ය පොලී අනුපාතික, අදාළ ණය පහසුකම සඳහා අය කරනු ලබන සාමාන්‍ය පොලී අනුපාතිකයට වඩා සියයට 2ක උපරිමයක් විය යුතු බවට ද මහ බැංකුව නියම කර ඇත. මේ අනුව දැනට බැංකුවලින් ණය ලබාගෙන ඇති සියලු දෙනා විසින් ගෙවනු ලබන පොලී වියදම් ක්‍රමානුකූලව අඩු කිරීම සඳහා කටයුතු කිරීමට පියවර ගැනීම මෙහි අරමුණ වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සඳහන් කළේය.

‘හැම ණය ගත්ත කෙනාගේම ගෙවන පොලිය ක්‍රමානුකූලව ඉදිරි කාලය තුළ දැනට අඩු වී ගෙන යන වේගයට වඩා වැඩි වේගයකින් අඩු වෙයි කියන බලාපොරොත්තුව ඇතුව තමයි මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ. එතනදී දැන් තියෙන ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 12යි. එතකොට වෙළෙඳපොළ පොලී අනුපාත ඒකට සාපේක්ෂව කොයි මට්ටමක තියෙන්න ඕනේද, ඒ අනුව කොපමණ කාලයක් ඒ සඳහා බැංකුවලට අවශ්‍ය වෙනවාද, ඒගොල්ලන්ගේ අරමුදල් පිරිවැයත් බලලා, සාමාන්‍යයෙන් අපි කල්පනා කරන්නේ ඉදිරි මාස 03 ඇතුළත ඔක්තෝබර් මාසය අවසන් වෙන්න කලින් සහ දෙසැම්බර් මාසය අවසන් වෙන්න කලින් අඩුම වශයෙන් තියෙන පොලී අනුපාතවල තියෙන වෙනස සියයට 3කින් වත් අඩුවෙන්න ඕනේ කියලයි.’

මේ උපරිම පොලී අනුපාතික ක්‍රියාත්මක වීමට අදාළ චක්‍රලේඛය ඉකුත් 25දා දින සිටම ක්‍රියාත්මක වන අතර ඒ අනුව බැංකු ණය පොලී අනුපාතික තවදුරටත් අඩුවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු මූලස්ථානයේදී පැවැති එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීවේය. මෙම නියාමන ක්‍රියාමාර්ග ඉදිරියේදී තවදුරටත් සමාලෝචනය කරනු ලබන බවත් ඒ අනුව වෙළෙඳපොළ තත්ත්වයන් සලකා බලා මෙම නියාමන ක්‍රියාමාර්ග සුදුසු පරිදි වෙනස් කිරීමට අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පැවසීය. මෙම මාධ්‍ය හමුවේ දී මේ උපරිම පොලී අනුපාත නියමයන්, ගෙවාගෙන යන පැරැණි ණය සහ ලීසිං පහසුකම්වලට අදාළ වන්නේ කෙසේ ද යන්න මේ ලියුම්කරු විමසා සිටියේය. එයට මහා බැංකු අධිපතිවරයා දුන්නේ මෙවැනි පිළිතුරකි.

‘මෙහෙමයි. අපට බැංකුවලට ණය ක්‍රමයෙන් ණය ක්‍රමයට අඩුකරන්න කියල කියන්න බැහැ. අප කියන්නේ සියලුම ආකාරයේ ණය පහසුකම්වල පොළිය යම්කිසි ආකාරයකින් අඩු කරන්න කියලයි. අප බලාපොරොත්තු වන්නේ සමස්තයක් වශයෙන් දැන් තියෙන පොළී අනුපාතයට ප්‍රමාණවත් ලෙස අඩු මට්ටමකට ගෙන ඒමයි. ඒ සමගම කියන්න ඕන අපි පොළී අඩු කරන්න කිව්වට හැමෝටම බැංකුවලට ගිහිල්ල මගේ පොළිය සියයට 12 යි ඒක 9 ට අඩු කරන්න කියන්න බැහැ. එහෙම කරන්න කිව්වට බැංකු එහෙම කරන්නෙත් නැහැ.’

මහ බැංකුව දැනටමත් සිදුකර ඇති මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල වේගයෙන් වෙළෙඳපොළ වෙත සම්ප්‍රේෂණය වීමට ඉඩ සැලසීම මේ නියාමන ක්‍රියාමාර්ගවල අරමුණ වී තිබේ. මේ නිසා මෙවර මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතවල වෙනසක් සිදු වූයේ නැත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 11.00 සහ සියයට 12.00 ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත. 2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ මුදල් තත්ත්වයන් සැලකිය යුතු ලෙස ලිහිල් කිරීම සහ දේශීය මෙන්ම ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹ තිබේ.

දැනට තාවකාලිකව අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම යළි ආරම්භ කිරීම නිසා විනිමය අනුපාතයට ලොකු බලපෑමක් සිදු වී ආර්ථිකයේ අස්ථාවර තත්ත්වයක් යළි ඇතිවෙනු ඇති බවට ඇතැම් අය ප්‍රකාශ නිකුත් කර ඇත. මේ ප්‍රශ්නය ඉහත කී මාධ්‍ය හමුවේ දී මේ ලියුම්කරු මහ බැංකු අධිපතිවරයාට යොමු කළේය. ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු දැනට තාවකාලිකව අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම යළි ආරම්භ කිරීම නිසා විනිමය අනුපාතයට ලොකු බලපෑමක් වීමට ඉඩක් නැති බවයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන්නේ ඒ නිසා බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා පවත්වන්නේ විදේශ ණය ගෙවිය හැකි ආකාරයකට අඩුකර ගැනීමට බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. වර්ෂයකට ණය ගෙවීමට තිබෙන බර අඩුකරන අතරම දැනට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක ප්‍රමාණයේ සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් දක්වා විදේශ සංචිත වර්ධනය කිරීමට කටයුතු කිරීම තුළින් දෙපැත්තකින් සහනයක් ලැබී ආර්ථිකය ශක්තිමත් වන බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. දේශීය ආර්ථික ක්‍රියාකාරකම් මේ වසරේ (2023) දෙවන කාර්තුවේ සිට යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ තුළින් ආර්ථිකය මැදිකාලීනව එහි විභව මට්ටම කරා ළඟා වනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා කියයි.

ගිය වසරේ (2022) ඉතා වේගයෙන් සියයට 70 ද ඉක්මවා යමින් උද්ධමනය ඉහළ ගිය බව අපට මතකය. ඒ නිසා අධි උද්ධමන තත්ත්වයකට යෑමට ඉඩ නොදී උද්ධමනය මර්දනය කිරීම අත්‍යවශ්‍ය දෙයක් විය. මේ සඳහා පොලී අනුපාත ඉහළ දමමින් මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරමින් මේ ඉහළ යමින් පැවති උද්ධමනය පාලනය කිරීම සඳහා පියවර ගත්තේය. මේ නිසා බඩු මිල ඉහළ යෑම පාලනය කර ගැනීමට පවා අපහසු අධි උද්ධමන තත්ත්වයකට රට ගමන් කිරීම පාලනය කර ගැනීමට හැකි විය. එහෙත් එම පොලී අනුපාත වැඩි කිරීම ඇතුළු මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ග රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපා තිබේ. එනම් ඒ නිසා ආර්ථික ක්‍රියාකාරිත්වය පසුබෑමට ලක් වීමයි. ගිය වසරේ (2022) ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඍණ ආර්ථික වර්ධන අගය වන සියයට 7.8 කින් අපේ ආර්ථිකය පසුබෑමකට ලක් විය. උද්ධමනය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග හමුවේ එසේ ආර්ථිකයට සංකෝචනාත්මක බලපෑම් ඇතිවෙන නමුත් රට අධි උද්ධමන තත්ත්වයකට ගමන් කළේ නම් ඊට වඩා බරපතළ අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මහජනයාට මුහුණ දීමට සිදු වීමට ඉඩ තිබුණි.

උද්ධමනය මේ වන විට සියයට 5 ටත් අඩු මට්ටමක් දක්වා අඩු වී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ගණනය කරන උද්ධමනය ඉකුත් ජූලි මාසයේ දී සියයට 4.6 ක් දක්වා තවදුරටත් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. 2023 ජූලි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ සියයට -1.2 ක හා ආහාර නොවන කාණ්ඩයේ සියයට 5.7 ක දායකත්වයක් පිළිවෙළින් ලබා දී ඇත. පසුගිය ජූනි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කරන උද්ධමනය සියයට 10.8 ක් ලෙස වාර්තා විය. මේ අනුව උද්ධමනය සැලකිය යුතු ලෙස තනි ඉලක්කමක් දක්වා අඩුවී ඇත. එසේම ආහාර උද්ධමනය අවම වන තත්ත්වයකට ද පත්ව තිබේ. එනම් 2023 ජූනි මාසයේ දී සියයට 2.5 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් ජූලි මාසයේ දී සියයට – 2.5 ක් දක්වා පහත වැටී ඇත. මෙම ආහාර කාණ්ඩය සැළකූවිට පොල්, එළවළු, පොල්තෙල්, සහල්, බිස්කට් වර්ග, පාන් (සාමාන්‍ය), මයිසූර් පරිප්පු, කිරිපිටි, මිරිස්කුඩු, අලුත් මාළු, මුංඇට, බනිස්, වියළි මිරිස්, තිරිඟුපිටි, සහල්පිටි, නූඩ්ල්ස් සහ කහකුඩු යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත. එහෙත් අමුමිරිස්, අර්තාපල්, බිත්තර, ලොකු ලූනු, අලුත් පළතුරු, කුකුල් මස්, කරවල, තේ කොළ හෝ කුඩු, රතු ලූනු, සීනි, සුදුලූනු, ඉඟුරු සහ ටින් මාළු යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇත.

උද්ධමනය අඩු වුවත් බඩු මිල අඩු නොවෙන්නේ ඇයි ද යන්න සමාජයේ බොහෝ දෙනකුට ඇති ප්‍රශ්නයකි. එනම් උද්ධමනය අඩු වීමේ දී ඇතැම් භාණ්ඩවල මිල ගණන් අඩු වුවත් පොදුවේ සමස්තයක් ලෙස මිල මට්ටමේ අඩු වීමක් සිදුව නොමැත. උද්ධමනය අඩු වෙමින් තිබුණත් ඒ අනුව බඩු මිල අඩු නොවෙන්නේ ඇයි ? මේ සඳහා උද්ධමනය කුමක් ද යන්න තේරුම්ගත යුතු වේ. උද්ධමනය යනු බඩු මිල නොවේ. උද්ධමනය යනු බඩු මිල වැඩි වීමේ වේගයයි. එනම් සමස්ත මිල මට්ටම අඛණ්ඩව ඉහළ යන තත්ත්වයකි. මේ නිසා උද්ධමනය අඩු වැඩි වීමෙන් වන්නේ මේ බඩු මිල වැඩිවෙන වේගය අඩුවැඩි වීමයි. එසේ නම් උද්ධමනය වැඩි වීමෙන් වන්නේ බඩු මිල වැඩි වීමේ වේගය වැඩි වීමයි. එනම් පෙරට වඩා වැඩි වේගයකින් බඩු මිල වැඩි වීමයි. එසේ නම් උද්ධමනය අඩු වීම යනු කුමක් ද ? එනම් උද්ධමනය අඩු වීම යනු බඩු මිල වැඩි වීමේ වේගය අඩු වීමයි. එනම් පෙරට වඩා අඩු වේගයකින් බඩු මිල වැඩිවෙන බවයි. ඒ නිසා උද්ධමනය අඩු වුවත් වැඩි වුවත් ධන උද්ධමන අගයක් තිබීමෙන් අදහස් වන්නේ කිසියම් වේගයකින් බඩුමිල වැඩිවෙමින් තිබෙන බවයි. උදාහරණයක් ලෙස සියයට 15 ක උද්ධමනයක් තිබෙන විට රු.100 ක් වටිනා භාණ්ඩයක් වැඩි වෙන්නේ රු.115 දක්වාය. මේ පවතින උද්ධමනය සියයට 15 සිට සියයට 05 දක්වා අඩු වූයේ යැයි සිතමු. එවිට රු.100 ක භාණ්ඩය වැඩි වෙන්නේ රු. 105 දක්වාය. මේ නිසා උද්ධමනය සියයට 15 සිට සියයට 5 දක්වා අඩු වුවත් එම භාණ්ඩයේ මිල අඩු වීමක් සිදු නොවන බවත් සිදු වන්නේ මිල වැඩිවෙන ප්‍රමාණය අඩුවීම පමණක් බවත් අපට දැන් පැහැදිලිය. මේ ආකාරයට ඉතා සරල ලෙස උද්ධමනය යන්නෙහි අදහස සහ උද්ධමනය අඩුවීමේ දී හා වැඩි වීමේ දී සිදු වන්නේ කුමක් ද යන්න තේරුම් ගත් විට උද්ධමනය අඩුවුවත් බඩු මිල අඩු නොවෙන්නේ ඇයි ද යන්න පැහැදිලි වේ. එහෙත් බඩු මිල හෙවත් සමස්ත මිල මට්ටම අඩු වීමට නම් උද්ධමනය ඍණ අගයක් හෙවත් අවධමන තත්ත්වයක් ඇති විය යුතු වේ. එහෙත් ආර්ථික වර්ධනයක් සඳහා කිසියම් මට්ටමක අඩු උද්ධමනයක් තිබිය යුතු බව පිළිගැනේ.

මේ උද්ධමනය ගැන කතා කිරීමේ දී බඩු මිල අඩු වැඩි වීම ගැන අපි කතා කරමු. මෙහිදී බඩු මිල යනුවෙන් අප අදහස් කරන්නේ රටේ සමස්ත මිල මට්ටම ගැනයි. එසේ නැතුව කිසියම් භාණ්ඩයක හෝ භාණ්ඩ කිහිපයක මිල වෙනස්වීමක් ගැන නොවේ. මේ අනුව උද්ධමනය අඩු වැඩි වීමේ දී බඩු මිල වැඩිවීමේ වේගය අඩුවැඩි වීම සිදු වන අතර එහිදී කිසියම් භාණ්ඩයක හෝ භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුවැඩි වීම ද සිදු විය හැකිය. එහෙත් එසේ යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ගණන් අඩුවැඩි විය හැකි වුවත් එම මිල අඩු වීමේ බලපෑම ඉක්මවා යමින් මිල වැඩිවන භාණ්ඩ ප්‍රමාණයේ බලපෑම වැඩි නිසා හැම විටම උද්ධමනය ධන අගයක් ගනී. එනම් කිසියම් වේගයකින් සමස්ත මිල මට්ටම වැඩිවෙමින් පවතින බවයි. මේ නිසා උද්ධමනය අඩු වුවත් බඩු මිල හෙවත් රටේ පොදු මිල මට්ටම අඩුවීමක් සිදු නොවේ.

අවධමනය යනු බඩු මිල අඩුවෙන තත්ත්වයක් නිසා අවධමනය යනු මේ අර්ථයෙන් ගත් විට උද්ධමනයට ප්‍රතිවිරුද්ධ දෙයකි. බඩු මිල අඩුවෙන නිසා අවධමනය හොඳ යැයි ඔබට සිතෙනවා විය හැකිය. අවධමනය පිළිබඳ ගැටලුව නම් පහත වැටෙන මිල ගණන් හමුවේ වැටුප් හා නිෂ්පාදනයට ද එම තත්ත්වය අහිතකර ලෙස බලපෑමයි. එම බලපෑම් සියල්ල එකට එකතු වී රටක ආර්ථික වර්ධනයට ද බරපතළ අහිතකර තත්ත්වයක් ඇති විය හැකිය. එනම් දිගටම පවතින අවධමන තත්ත්වයක් හමුවේ අවසානයේ එම තත්ත්වය ආර්ථික අවපාතයකට ද තුඩු දිය හැකිය. උදාහරණයක් ලෙස අප නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණීමට සිදු වන්නේ පෙරට වඩා අඩු මිලකට නම් එවිට අප නිරන්තරයෙන්ම පෙළඹෙන්නේ අපගේ නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු කිරීමටයි. භාණ්ඩ මිල ගණන් අඩු වන්නේ ඉල්ලුමට වඩා සැපයුම වැඩි තත්ත්වයකදීය.

අවධමනයක දී නිෂ්පාදකයින් අඩුවෙන් නිෂ්පාදනය කරන අතර, එයින් ඇඟවෙන්නේ ඔවුන්ට තම සේවකයන්ගෙන් කොටසක් ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි. එසේම පහත වැටෙන මිල ගණන්, සේවක වැටුප්, සේවා නියුක්තිය සහ නිෂ්පාදනය කෙරෙහි ද අහිතකර ලෙස බලපානු ඇත. මේ නිසා වඩාත් සුදුසු වන්නේ උද්ධමනය මර්දනය කරගෙන දැරිය හැකි අඩු අගයක ස්ථාවර ලෙස පවත්වාගෙන යෑමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment