ලේසියට පහසුවට ආ ඔන්ලයින් බිස්නස් පසුම්බියට විදින හැටි

පෙන්නන එකට වඩා ලැබෙන කොට පොඩිවන භාණ්ඩ

ලේසිය බැලුවට ඔන්ලයින් ගනුදෙනු ඇන්දිල්ලක්

බාලබඩු ගෙදරටම එවන ඔන්ලයින් සේවා

වැඩිමනක් එන බඩු ඕඩර් කරපු ඒවා නෙවෙයි

උත්සව සමයේ ඔන්ලයින් ගනුදෙනුවලින් ගේම් ගහන හොරු

බිස්නස් එකෙන් වැඩි ආදායමක් හා ප්‍රසිද්ධියක් ලබාගැනීමට අද කාලයේ හුඟදෙනකු කරන්නේ තමන්ගේ බිස්නස් එක අන්තර් ජාලයෙහි පළ කිරීමය. එසේත් නැතිනම් මුහුණුපොත උපයෝගි කර ගනිමින් තම බිස්නස් කරන බොහෝ දෙනකු සිටින බව ෆේස්බුක් පිටුව පුරා පළ කෙරෙන වෙළෙඳ දැන්වීම් තුළින් පැහැදිලිය. මෙහි කතාව වන්නේ ‘ඔන් ලයින් බිස්නස්’ යැයි කියා පාරිභෝගිකයා හූරාකන කූට ව්‍යාපාරිකයන් ගැනය.

ඔන්ලයින් ගනුදෙනු ක්‍රමයට මෙරට ජනතාව දැඩිව හුරුවන්නේ ගෝලීය වසංගතයක් වූ කොරෝනා වෛරසය මෙරට ප්‍රචලිත වීමත් සමග රජය මගින් පැනවූ සංචරණ සීමා හේතුවෙනි. ව්‍යවසායකයකුට තමන්ගේ වෙළෙඳාම ලෙහෙසියට පහසුවට කරගැනීමටත් වැඩි ප්‍රසිද්ධියක් හා උපරිම ආදායමක් ලබාගැනීමට වත්මන වනවිට මේ ඔන්ලයින් ක්‍රමය බොහෝදෙනකු තෝරාගෙන ඇත. එමෙන්ම තාක්‍ෂණය තමන් කරගෙන යන කර්මාන්තයට යොදාගැනීම තුළින් මෙරට වැඩිමනකගේ ජන ජීවිත සුඛිතමුදිතවත් වී ඇති බවද නොරහසකි. එහෙත් හැමදෙයකම හොඳක් මෙන්ම නරකක් තිබේ යන කතාව මේ කියන තාක්‍ෂණය යොදා සිදුකරනු ලබන ඔන්ලයින් වෙළෙඳාමට ද වලංගුය. මෙම ක්‍රමයට ගනුදෙනු කළ බොහෝ දෙනකුට තමන්ට අත්වූ ඛේදනීය සිද්ධීන් නිසා ‘ඔන්ලයින් බඩු’ කෙරුවාව දැන් එපා වී ඇත. මේ උත්සව සමයේදී මේ කියන ‘ඔන්ලයින් බිස්නස්’වලින් පාරිභෝගික ජනතාව ප්‍රවේශම් විය යුත්තේ මේ තාක්‍ෂණය හරහා සිදුකරනු ලබන වෙළෙඳාමේ ද ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගන්නා සේරිවාණිජලා වැන්නන් සිටින බැවිනි.

ඔන්ලයින් ගනුදෙනු ප්‍රවේශමෙන්…

මුහුණුපොත හා අන්තර් ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් සිදුකරගෙන යනු ලබන වෙළෙඳාම අවුරුදු සමයත් සමග බොහෝ සෙයින් වර්ධනය වී ඇති වගක් පෙනෙන්නට ඇත. මුහුණු පොත හා අන්තර් ජාලය පරිශීලනය කරන්නකුට මේ කියන අන්දමේ විවිධ භාණ්ඩ හා නිමි ඇඳුම් විකිණීමේ දැන්වීම් මුහුණුපොත පුරවා ඇති අන්දම දැකබලාගත හැක. මෙහි හොඳ මෙන්ම නරක පැත්ත වන්නේ මේ ඔන්ලයින් බිස්නස් නිසා බොහෝ දෙනකුට මුදලත් බඩුත් නැතිවී ඇති අවස්ථා බොහෝමයක් මේ වනවිට වාර්තා වීමයි. එමෙන්ම මෙසේ අන්තර් ජාලයේ හා මුහුණුපොතෙහි පළකරන භාණ්ඩවල කිසිදු ගුණාත්මක භාවයක් නොමැති ඇතැම් බඩු වෙළෙඳුන් අලෙවිකරන්නේ නැති කොලිටි පෙන්වා පාරිභෝගිකයාගේ දෑස් වසමිනි. මෙම ක්‍රමය අවභාවිත කරන ඇතැම් වෙළෙන්දෝ භාණ්ඩ ගෙන්වා ගැනීමට වැඩි මුදලක් අයකොට පිටකොටුවේ පේව්මන්ට්වල ඇති කිසිදු ලේබලයක් නමක් ගමක් සඳහන් නොවන භාණ්ඩ පාරිභෝගිකයාට වැඩි මුදලකට ද අලෙවි කරති. අනෙක් කාරණය වන්නේ අදාළ භාණ්ඩයේ මිල අඩු මුදලකට ලබාගත්තත් එහි පැවැත්ම ද ඉතා කෙටි කලකට සීමා වීමයි.

බැංකුවට සල්ලි දාන්නේ පරිස්සමින්…

ඇතැම් නිෂ්පාදන ලබාදීමට නම් අත්තිකාරම මුදලක් හෝ සම්පූර්ණ මුදල බැංකුවට දමා රිසිට් පතක් එවන ලෙස පාරිභෝගිකයාට දැනුම් දෙයි. නමුත් එම රිසිට් පත යැවූ පසු ඔවුන් ලබාදුන් දුරකථන අංක, ෆේස්බුක් ගිණුම් ද අක්‍රිය වී ඇති අවස්ථා බොහෝය. තවද නිවසේ සිට ම රැකියා ලබාදෙන බවටත් එම රැකියාවට තමන් අතහිත දෙන බවටත් සමාජ මාධ්‍ය තුළ විවිධ දැන්වීම් හුවමාරු වෙයි. මෙයට හසුවූ එක්තරා පුද්ගලයකු ස්වයං රැකියා සඳහා පහන් තිර, ඉටිපන්දම් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් අවශ්‍ය බවත් ඒ සඳහා රුපියල් විසිදහසක් වැනි මුදලක් බැංකුවේ තැන්පත් කළ යුතු බවත් සඳහන් කරමින් විශාල මුදල් වංචාවක් පසුගිය කාලය තුළ මේ මුහුණු පොත හරහා සිදුවී ඇත. මුහුණු පොත හරහා තමන්ගේ දැන්වීම් පළකරන ඇතැම් කූට ව්‍යාපාරිකයන් වැඩිමනක් සිදුකරන්නේ අදාළ මුදල් බැංකු ගිණුමකට බැර කරගෙන ඉල්ලුම්කරුට කිසිදු වටිනාකමක් නැති භාණ්ඩයක් ලබාදීමය. මෙසේ ඇතැම් ඔන්ලයින් ගනුදෙනු සඳහා මුදල් ගිණුම් බැංකු ගතකළ පසු පාරිභෝගිකයාට බඩුත් මුදලුත් නැතිවූ අවස්ථා ද පසුගිය කාලය තුළ බොහෝ සෙයින් වාර්තා විය.

ගත්තොත් ගත්තම තමයි හුවමාරු නැත..

ඔන්ලයින් ක්‍රමවේදය යටතේ විකුණනු ලබන බොහෝ භාණ්ඩ පාරිභෝගිකයන් ඇණවුම් නොකළ භාණ්ඩ බවත් එම භාණ්ඩ කිසිදු ගුණාත්මක බවක් නොමැති බවට බොහෝ දෙනකු කියා සිටිති. එහිදී අදාළ භාණ්ඩය නැවත මාරු නොකිරීමට මේ කියන සැපයුම්කරුවෝ ක්‍රියා කිරීමෙන් ගනුදෙනුකරුවන්ට සිදුවන්නේ බලවත් අසාධාරණයකි. එහෙත් විවිධ බඩු භාණ්ඩ හා ඇඳුම් පැලඳුම් අන්තර් ජාලය තුළ විකිණීමට ඡායාරූප පළකර ඇත්තේ දුටුවන් මනබඳින ආකාරයෙනි. ඔන්ලයින් හරහා සිදුකරන ගනුදෙනුවලදී එසේ පළකර ඇති භාණ්ඩවල ප්‍රමාණය තමන්ට ලැබුණු පසු නොතිබීම ද මෙම ගනුදෙනුවල තවත් ගැටලුවකි. එනම් ඡායාරූපයෙහි සඳහන් කර ඇති ප්‍රමාණයට වඩා හාත් පසින්ම වෙනස් ප්‍රමාණයක් ගන්නා අදාළ භාණ්ඩ ඇතැම්විට සෙල්ලම් බඩු වැනිය. මේ ආකාරයට නිවසට අවශ්‍ය උපකරණ, දුරකථන උපාංග, පාවහන්, ඇඟලුම් ආදී මෙකී නොකී උපකරණවල සිත් ඇදගන්නා ඡායාරූප පළකර පාරිභෝගිකයන් රැවටීමට ද මේ කියන කූට ජාවාරමුන් බොහෝවිට ක්‍රියා කරති. සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන ප්‍රජාව ඉලක්ක කරගන්නා මේ හොර තක්කඩි ජාවාරම්කාර වෙළෙන්දන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ කාගේ හෝ ඉහ මොළ සිඳ යහමින් මුදල් උපයා ගැනීමය. අදාළ ලිපිනය වෙත යොමුකරන පාර්සලයේ නැවත ගුණදොස් විමසීමක් මේ කියන ඔන්ලයින් වෙළෙඳුන්ට නැත. තමන් ඕඩර් කළ භාණ්ඩය හොඳ ද නරකද කියා මේ අයට අදාළ ද නැත. ‘ගත්තොත් ගත්තාමයි’ කියන්නේ අන්න ඒකටය. මොකද නැවත හුවමාරු කිරීමේ පුරුද්දක් නම් ඔන්ලයින් බිස්නස් කෙරුවාවේ ඇත්තේම නැත. මේ කියන කතාවට නිදසුන් බොහෝය. මේ එවැනි නිදසුන් කිහිපයකි.

ඔන්ලයින් බිස්නස්වලින් තට්ටු වන හැටි…

සරසවි සිසුවියක් වන අනූෂා කුමාරි හොරණ ප්‍රදේශයේ වාසය කරන්නියකි. මීට මසකට පෙර ඇය සිය මුහුණුපොත ඔස්සේ ඇණවුම් කරන ලද ඇඳුමක් ගැන හරි අපූරු විස්තරයක් ගෙනහැර දැක්වූවාය.

“මම ෆේස්බුක් එකේ ඉන්න කොට ලස්සන Frock එකක් දැක්කා. ඒක හරිම ලස්සනයි.. එක එක පාටින් මේ ගවුමේ ගොඩක් ෆොටෝස් එයාලා දාලා තිබුණා. සයිස් එකත් මට මතක හැටියට මීඩියම් ඉඳන් එක්ස් එල් දක්වා තිබුණා. එයාලා දාලා තිබුණේ දවස් තුනකින් ඇඳුම ගෙදරට ම ලැබෙන්න සලස්වනවා, ඉන් බොක්ස් එන්න කියලා. මම අවුරුද්දට ලස්සන ගවුම් කීපයක් ගන්න තමයි හිතන් හිටියේ. කඩවල් ගාණේ රස්තියාදු වෙවී, හිරවෙවී ඉන්නවට වැඩිය ලේසි නිසා මම මගේ විස්තර එයට ලබාදුන්නා.”

“ඉතින් හරියටම දවස් තුනෙන් ලැබුණද?” ඇයගේ කතාවට පුංචි බාධාවක් කරමින් අපි හරස් ප්‍රශ්නයක් දැමුවෙමු.

“ලැබුණා තමයි….. හරියට දවස් ගණන මතක නැහැ. කුරියර් ස්ර්විස් එකක් මගින් තමයි එවල තිබුණේ. යාළුවෝ කියන කතා මට මතක් වෙලා මම කිව්වා මට පාර්සලේ පොඩ්ඩක් ලිහල බලන්න පුළුවන්ද කියලා. ඒත් ඒ පාර්සලේ ගෙනාපු කෙනා කිව්වේ පැකින් කඩන්න බැහැ.. මිස්ල සිලෙක්ට් කරපුවනේ එවල තියෙන්නේ… අත්සන් කරලා ගන්න කියලා. මම අත්සන් කරල පාර්සලේ අරගෙන ලිහල බලද්දී මටම හරි පුදුම හිතුණා.”

“ඇයි මොකක්ද වුණේ” යැයි සිදුවූ ඇබැද්දිය ගැන සහසුද්දෙන් දැනගැනීමට ඇති වුවමනාව නිසා ම අපි නැවත ඇයගෙන් ඇසුවෙමු.

“අනේ…. මම තෝරපු ජාතියේ ගවුමක් තමයි ඒක. හැබැයි ගවුම ඇන්දම ඇඟෙන් භාගයක්වත් වැහෙන්නෙ නෑ. ඒ මදිවට මේ ගවුම හරිම දුහුල් එකක්. මට හිතෙන්නෙ බාල රෙදි වර්ගයකින් මහපු එකක් වෙන්න ඇති. මම එවලේම පාර්සලයේ සඳහන් කළ දුරකථන අංකයට කෝල් කළා. බලද්දී ඒ දුරකථන ඇමතුමට ආන්සර් කරන්නෙ නැහැ.”

අනූෂා කියන කතාවෙන් ඔන්ලයින් ගනුදෙනු කරුවන්ට ගතහැකි ආදර්ශ බොහෝය. සමාජ ජාල අඩවි තුළ ඉතා අලංකාර පින්තූර පළකොට ඕඩර් භාර ගන්නා කූට වෙළෙඳුන්ගෙන් කවුරුත් පරිස්සම් විය යුතුය. අනූෂාගේ කතාව ඉවර නැත. ඇයට සිදුවූ අලාභය ගැන ඇය තවත් හඬ නඟන්නට වීය.

“මම පාර්සලේ ගන්න කොට ඒ කුරියර් එකේ කෙනාට රුපියල් 6500ක් ගෙව්වා. හැබැයි ඇඩ් කරල තිබුණේ ගවුම රුපියල් හයදාහය.ි අදාළ ලිපිනයට ම ඩිලිවරි ෆ්‍රී කියලා. මම පාර්සලය ගනිද්දීම ඔහුගෙන් ඇහුවා මගේ ගාණ හයදාහයි නේද කියලා. ඔහු කිව්වේ ගාණ හයදහස් පනසීයක් වෙනව මිස්. ඩිලිවරි චාජ් එකත් එක්ක කියලා. මම ඇහුවා ඉතින් ඩිලිවරි ෆ්‍රී කියලා තිබුණේ කියලා. ඔහු ඒකට කිව්වේ කොළඹින් පිට යනකොට අමතර රුපියල් පන්සීයක් ඩිලිවරිවලට ගන්නවා කියලා.”

ඔන්ලයින් බිස්නස්වල තරම දැන් අනූෂා වැනි දෙයින් මට්ටු වූ අයට බොහෝසෙයින් මතකය. ඇය අප හා අන්තිමට පැවසුවේ “මට අන්තිමේදී සල්ලි නැතිවුණා. ඇඳුමත් අඳින්න බැරිවුණා” යනුවෙනි.

ඒ එක් කතාවකි. මේ අලුත්ගම ප්‍රදේශයේ නම සඳහන් කිරීමට අකැමැති තරුණයකුට අත්වූ තවත් සිද්ධියකි. ඔන්ලයින් බිස්නස් නිසා තමන් මුහුණ පෑ කතාව ඔහු අපට කීවේ මේ හොර බිස්නස් මාෆියාව කෙසේ හෝ රටට හෙළි කරන ලෙස ඉල්ලමිනි.

“මම වැඩ කරන්නේ ලීසිං ආයතනයක. මේ කියන දවස අපට සැලරි එක ලැබුණු දවසක්. මගේ වැඩේ සැලරිවලින් අනිවාර්යයෙන්ම මට ඕන කරන ඇඳුමක් ගන්නවා. අපේ පැත්තෙ කඩවල ඇඳුම් ගිනි ගණන්. අනික තියෙන ඒවාත් පරණ පැෂන්. කතාව මේකයි මම FB එකේ දැක්කා ලස්සන ටී ෂර්ට් වගයක්. මේක දැකපු දවසේ ඉඳන්ම ආසාවෙන් හිටියේ ගන්න. කෝකටත් කියල මට හිතුණ ටී ෂර්ට් ටික ඔන්ලයින්වලින් ඕඩර් කරන්න. මොකද ගොඩක් මගේ යාළුවෝ ටී ෂර්ට් ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්නෙ. මමත් ඒ නිසා FB එකේ දාලා තිබුණ හොඳ බෑන්ඩ්ඩට් ටී ෂර්ට් 3 ක් පාට තුනකින් ඕඩර් කළා. එකක් 1200යි කියලා දාලා තිබුණේ. ඕඩර් කරල හරියටම දවස් තුනෙන් ගෙදරටම පාර්සලේ ආවා. රුපියල් 3600යි කුරියර් එකට රුපියල් 300ක් ගත්තා.”

“ඉතින් මොකද වුණේ” ඔහුගේ කතාවට මැද්දට පැන අප ඇසුවෙමු.

“ඉතින් තමයි… ඒ ආපු ටී ෂර්ට් තුනම තැනකට අඳින්න පුළුවන් තත්ත්වයකට නෑ. ටී ෂර්ට්වල බෑන්ඩ් මාර්ක් එක තිබ්බෙත් අනිත් පැත්තට..”

මෙසේ ඔහු කියා සිටියේ රටේ නම ගිය ප්‍රධාන නිමි ඇඳුම් සමාගමක නාමයකි. එම සමාගමේ නාමය අප හෙළි නොකරන්නේ එය එම සමාගමට ද කළු පැල්මක් එක්කරන නිසාවෙනි. කෙසේ වෙතත් ඔහු කියන අන්දමට එම සමාගමේ නාමයට සමානව ව්‍යාජ ලෙස සකස් කරනු ලබන මේ ඇඟලුම් ජාවාරමට අප ඉහත කී තරුණයා අසුවී අවසන්ය. මේ වනවිට වැඩි දෙනෙක් ‘පොෂ්’ යැයි කියා ගන්නා මේ ගනුදෙනු ක්‍රමය සතපහකටවත් වැඩක් නැති බව හෙළිවන්නේ මේ ක්‍රමය තුළ සිටින විජ්ජාකරුවන් නිසාය.

ඔන්ලයින්වලින් ගේම් ගසන්නන් අතර එළැඹී ඇති උත්සව සමය මූලික කොට ගෙන බොහෝ කූට වෙළෙඳුන් නිවසට අවශ්‍ය බොහෝ දෑ සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කර ඇති වගක් පෙනෙන්නට ඇත. ඒ අතර මුළුතැන්ගෙයට අවශ්‍ය උපකරණ ප්‍රධානය. මුහුණුපොතෙහි සඳහන් කෙරෙන අන්දමට “මෙවර අවුරුදු ජයට ම සමරන්න මෙන්න අපෙන් යැයි” බොහෝ ගෘහ භාණ්ඩවල ඡායාරූප දක්වා ඇත්තේ එසේය. මේවා බොහෝවිට කාලාන්තරයක් තිස්සේ නොවිකුණු පරණ කුණුගොඩවල් බඳු විදුලි උවාරණය. අවුරුදු සිරි පෙන්වා ජනතාවගේ පොකැට්ටුවට විදින මෙවැනි වෙළෙඳ උප්පරවැටිවලට අසුවන වැඩිමනක් ජනතාව ග්‍රාමීය පරිසරය තුළ වෙසෙන්නෝ ද වෙති. අවුරුදු කාලෙට අලුතින්ම කුස්සියේ වැඩ පටන් ගන්න ඔන්ලයින් ඕඩර් කළ ‘රයිස් කුකර්’ එකකට හසුවූ කාන්තාවක් මේ කියන කූඨ වෙළෙඳුන්ට අසුවූ සැටි අපට කීවාය.

“නමක් ගමක්වත් මගේ සඳහන් කරන්න එපා….” ඇය පළමුවෙන්ම කීවේ ලැජ්ජාවට බව අපට තේරුම් ගියෙමු. “මම මේකට අහුවුණා… මොකද අපේ ගෙදර කුස්සියේ තිබුණ රයිස් කුකර් එක ගොඩක් පරණ එකක්. හරියට වැඩකරන්නේ නැහැ. අපේ දුව සමාජ මාධ්‍ය ජාලයේ දැකල අම්මේ අපි මේක ඕඩර් කරමුද මගෙන් ඇහුවා. ඒ අය දාල තිබුණ ෆොටෝ එකේ තිබුණේ හාල් කිලෝ 2ක් උයන්න පුළුවන් එකක් කියලා. ඉතින් අපි ඕඩර් කළේ ගිය සතියේ. අනේ ගෙදරට ම ආවම තමයි දන්නේ ඒකෙ හාල් කිලෝ 2ක් උයාගන්න පුළුවන් එකක් නොවෙයි එවලා තියෙන්නේ කියලා. කුරියර් සර්විස් එකට කතා කළාම කියන්නේ ඔයාලා ඕඩර් කරපු එක නිසා අපට කරන්න දෙයක් නෑ කියලා. ඒ වුණාට ඒ දැන්වීමේ සඳහන් කරපු ගාණම ඒ අය ගත්තා. මම කිව්වා දුවට ආයිනම් මේ මෝඩකම් නොකර ඉමු කියලා.”

ඇය එසේ කියා සිටියේ ලෙහෙසියට පහසුවට ඕඩර් කළාට ඔන්ලයින් ගනුදෙනු යනු පාරිභෝගිකයන්ට කරන තවත් ඇන්දිල්ලක් බවය.

සාන්ත කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු හසුව ඇත්තේ ඔන්ලයින් ඕඩර් කළ විදුලි පන්දමකටය. ඔහු කියන කතාව අනුව ඔන්ලයින් දැන්වීම්වලින් පෙන්නන දේ ලැබුණු පසු නැතිබවට ද කදිම උදාහරණයකි. මේ ඔහු කියන කතාවයි.

“මම දැක්කා මීටර් 1000 ක් විතර දුර වදින අඟල් අටක් විතර දිග ටෝච් එකක් ෆේස්බුක් එකේ දාලා තියෙනවා. ඇඩ්එකට නම් දාල තිබුණේ මේකේ එළිය හඳටත් වදින විදිහට. ඇති තරම් එළිය පුළුල් කරන්න පුළුවන් කියල තිබුණා. මට හොඳ ටෝච් එකක අවශ්‍යතාවය තිබුණ නිසා මම ඕඩර් කළා. දවස් දෙකකින් විතර කුරියර් සර්විස් එකක් මගින් ගෙදරට ගෙනත් දුන්නා. ඒක රී චාර්ජබල් ටෝච් එකක්. හැබැයි බැලුවම අඟල් හතරක්වත් නෑ. අරන් මාසයක් ගියේ නෑ. එළියත් අඩුවෙලා ගියා. දැන් ඒක පාවිච්චි කරන්න බෑ. අපරාදේ රුපියල් 1200ක් නිකරුණේ වැයවුණා. කවදාවත් හොයල බලන්න නැතිව මේ කියන ඔන්ලයින් ඕඩර් කරන්න හොඳ නැහැ.”

මේ ඔන්ලයින් ජාවාරමේ නියුතු වෙමින් අසරණ ජනතාවගේ මුදල් සොරා කෑ කූට වෙළෙඳුන් කළ කී උපන්කම්වලින් කොටසක් පමණි. තවත් බොහෝ කතා මේ පිළිබඳව ඇත.

තෑගි කියා සල්ලි බෙදන අලුත්ම සෙල්ලමකුත්

මේ කතාව මෙම කාලය තුළ බහුල වශයෙන් මුහුණුපොත ආශ්‍රිතව සිදුකරන්නකි. මෙයට සුප්‍රසිද්ධ වෙළෙඳසැල් ජාලයක නම සඳහන් කරමින් මේ කියන උදවිය අදාළ පුද්ගලයාට මුලින්ම ප්‍රශ්න කීපයක් යොමු කරනු ලබයි. සරල ප්‍රශ්නයක් දෙකක් යොමුකර ඔවුන් කරන්නේ ජංගම දුරකථන තිරය තුළ තෑගි පෙට්ටි පෙන්වා ඉන් එකක් තෝරාගන්නා ලෙසය. එසේ කිරීමට අවස්ථාවන් කිහිපයක්ම ලබාදෙන මේ හොර දෙටුවන් ලැබෙන අන්තිම අවස්ථාවේදී හෝ මුදල් පිරවූ පෙට්ටියක් ඇස ගැටෙන්නට සලස්වනු ලබයි. අදාළ මුදල ලබාගැනීමට නම් තත්ත්පර කිහිපයක් ඇතුළත තම මිතුරන් සමග ෂෙයාර් කරගැනීම කළ යුතු බවද එම කාලය තුළ මෙසේ කටයුතු කරන පුද්ගලයාගේ සියලු පෞද්ගලික දත්ත පවා සොරකම් කරන්නට මේ කියන අය ක්‍රියා කරති. එවැනි සිද්ධීන් තුළින් අදාළ මුදල් ත්‍යාගය ලබාදීමට තමන්ගේ බැංකු ගිණුමේ අංක පවා සඳහන් කරන්න යැයි පවසා ගිණුමේ ඇති මුදලට පවා මේ කියන අයද තට්ටු කරති. තවත් ඇතැමෙක් පවසන්නේ අදාළ මුදල දැමීමට නම් ඔවුන් ලබාදෙන ගිණුමට මුදලක් බැර කොට ලියාපදිංචියක් වන ලෙසටය. මෙවැනි තාක්‍ෂණය උපයෝගී කරගෙන තාක්‍ෂණිකව මහජනයාගේ තුට්ටු දෙකට විදින සංවිධානාත්මක හොර කණ්ඩායම් මේ වනවිට බහුල ලෙස සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරමින් සිටින බවද කිව යුතුමය.

මේ උත්සව සමයේ මෙවැනි වංචාකරුවන් අන්තර් ජාලය ඔස්සේ තමන්ගේ ජාවාරම ජයටම කරගෙන යන බැවින් ඔන්ලයින් ක්‍රමයට ගනුදෙනු කිරීමේදී පාරිභෝගිකයන්ද අවධානයෙන් සිටිය යුතුය. අදාළ නිෂ්පාදන, අලෙවිකරුවන්ගේ කොන්දේසි, මිල ගණන් හා ගෙවීම් කරන ආකාරය හා අවශ්‍ය භාණ්ඩයේ තොරතුරු ලබාගැනීම වැනි කරුණු ගැන ද පාරිභෝගිකයන් වඩාත් සැලකිලිමත් විය යුතුය.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment