මම තවම ඉගෙන ගන්නවා

සෙලීනා කෲස්, මුලින්ම ඔබ දකින්නෙ හිරු සුපර් ඩාන්සර් වැඩසටහනින්. ඒ සෙලීනා ට්වින්කි ලෙසින්. ඇය මේ දවස්වල ඔබට මුණගැහෙන්නෙ හිරු නාළිකාවේ සිහින ගෙනෙන කුමාරියේ, දෙරණ නාළිකාවේ සිත නිදි නැහැ වගේම රිදී තිරයේ දිගහැරෙන රිදී සීනු තුළින්. වැඩි කතාවක් නැතිව සෙලීනාගේ අලුත් විස්තර ටිකක් දැනගන්න අපි ඇය සමග කතාබහකට එකතු වුණා.

සෙලීනාගේ විස්තර ටිකක් කියමු?

මගේ ගම වෙන්නප්පුව. පවුලේ ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි. දැනට මම ලන්ඩන් විෂය නිර්දේශය අනුව පෞද්ගලිකව උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානමින් ඉන්නව.

රිදී සීනු හැඩකරන සෙලීනා

රිදී සීනු චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද කිව්වොත්?

මේ චරිතයට මට කතාකරන්නෙ උදයකාන්ත මහත්මයා. සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ මගේ මල්ලිගේ චරිතයට ඉන්න ඒ මල්ලි එක්ක මම ඉන්න දර්ශනයක් දැකල උදයකාන්ත මහත්මයා ඉසුරු අයියගෙන් මං ගැන අහල තිබුණා. ඒ වෙලාවෙ ඉසුරු අයියා මට කතාකරල මේ ගැන කිව්වා. ඉන් පස්සෙ මම ගිහින් එතුමාව මුණගැහිල, ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියල තමයි මාව මේ චරිතයට තෝරාගත්තෙ. ඊට කලින් මේවගේ ස්ක්‍රීන් ටෙස්ට් තියල කෙනෙක්ව තෝරාගන්න හැදුවත් හරියන කෙනෙක් මුණගැහිල තිබුණෙ නැහැ.

මෙහි රූගතකිරීම් ඔබට මොන වගේ අත්දැකීමක්ද?

මේ චිත්‍රපටයේ ගීතය රූගතකරන්න අපිට රිවස්ටන් යන්න සිදු වුණා. එතනදි ගලක් උඩ නර්තනයක් කරන අවස්ථාවක් රූගත කරන්න තිබුණා. ලොකු ගලක් වුණාට ඒක හරිම අවදානම් වැඩක්. මට තිබුණෙ ගල උඩ ඉන්න. නමුත් බෑවුම් සහිත නිසා එතැන කකුල තියාගන්න අපහසුයි. එදා හරිම අමාරුවෙන් ඒ අවස්ථාව රූගත කළේ. තවත් අවස්ථාවක් තිබුණා පාරුවක යන්න. මම එහෙම අත්දැකීමක් ලැබුවෙ ජීවිතේ පළමුවැනි වතාවට. තවත් දර්ශනයක අපි කට්ටියකටම වැස්සෙ නාන්න තිබුණා. එතැනදි නම් හරිම විනෝදයෙන් තමයි රූගතකිරීම් සිදු කළේ.

රිදී සීනු හැඩකරන සෙලීනා

රසිකයො මොනවද ඔබේ චරිතය ගැන කියන්නෙ?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මුහුරත් උළෙල දවසෙත් එදා ඇවිත් හිටපු ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිණියන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලබුණා. ඒක මට ගොඩක් වටිනවා.

උදයකාන්ත වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක් සමග වැඩකරන්න ලැබීම කොහොමද ඔබට දැනෙන්නෙ?

මගේ සිනමා ආගමනය උදයකාන්ත මහත්මයාගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් ආරම්භ කරන්න ලැබීම මගේ වාසනාවක් කියලයි මම හිතන්නෙ. ඒ වගේම මං ගැන තියපු විශ්වාසය මට ගොඩක් වටිනව. ඒ විශ්වාසය අනුව මං මගේ උපරිමය කළා කියලත් මම විශ්වාස කරනව. මේ අත්දැකීම මට වෙනස්ම දෙයක්.

ඔබ රංගනයට යොමුවෙනවාට පවුලේ අය කැමති වුණාද?

ඔව්, අපේ පවුලේ අය ගොඩක් කැමති වුණා මම රංගන ශිල්පිනියක් වීම ගැන. මේ චිත්‍රපටය ගත්තත් පිටපත හරි ලස්සනයි. ළමා චිත්‍රපටයක්. මේ නිසා රිදී සීනු චිත්‍රපටයට සම්බන්ධවීම ගැන නම් ඔවුන් ගොඩක් සතුටු වුණා.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙන් ලැබුණෙ මොන වගේ සහයෝගයක්ද?

ඉසුරු අයියා සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයේ මගේ තාත්තාගේ චරිතයට ඉන්නව. ඒ නිසා ඔහු සමග වැඩකරන්න ලැබුණ අත්දැකීම මට තියෙනව. ඔහුගෙන් මට ක්‍ෂේත්‍රය ගැන හොඳ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වුණා. රංගනයේදී අඩුපාඩු පෙන්නලා දෙනවා වගේම යම් තැනකදි චරිතය මම හොඳට කළොත් ඒකනම් නියමෙට කළා කියල අගය කරනව. ඒ වගේම උපේක්‍ෂා අක්කාවත් මතක් කරන්න ඕනා. ඇය හරිම මිත්‍රශීලී වගේම ඇය සමග වැඩකරන එකත් හරිම විනෝදයි. බොහෝ තැන්වලදි මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.

පුංචි තිරයේ සහ රිදී තිරයේ වෙනස ඔබට දැනුණෙ මොන විදිහටද?

පුංචි තිරයේ මම මාව දකිනකොට දැනුණ අත්දැකීම නෙමෙයි රිදී තිරයේ මම මාව දකිනකොට දැනුණෙ. ඒක වෙනස්ම දෙයක්. ඒ අත්දැකීම, ලැබෙන ප්‍රතිචාර, ආදරය වගේ දේවල් එක්ක ටෙලි නාට්‍යවලට වඩා චිත්‍රපටවලට අවස්ථාව ලැබෙනවනම් මම ගොඩක් කැමතියි.

මොනවද වෙනත් නිර්මාණ?

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයට අමතරව දෙරණ නාළිකාවේ සිත නිදි නෑ ටෙලි නාට්‍ය විකාශනය වෙනවා. ඒ වගේම තවත් ලස්සන වැඩක් ඉදිරියේදී එන්න තියෙනව.

සෙලීනා සිහින ගෙනෙන කුමාරියේ ටෙලියට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

මම හිරු සුපර් ඩාන්සර් වැඩසටහනට සම්බන්ධ වෙලා හොඳම අට දෙනා අතරට ආවා. ඒ සම්බන්ධතා මත තමයි හිරු ආයතනයෙන් මට මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න කතා කළේ. පුංචි කාලෙ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධවෙලා තිබුණත් මේක තමයි මගේ මුල්ම ටෙලි නාට්‍යය.

‘සිත නිදි නෑ’ ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?

සිත නිදි නෑ ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්‍ෂ තමයි මට මේ සඳහා කතා කරන්නෙ. මම හිතන්නෙ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යය නිසා තමයි මේ නිර්මාණයටත් මට අවස්ථාව ලැබෙන්නෙ.

සෙලීනා දිගටම රඟපායිද?

ඔව්, එහෙම කරන්නත් හිතේ තියෙනව. ඒ වගේම මගේ තව ඉලක්ක කිහිපයකුත් තියෙනව. ඒවාත් එක්ක දෙකම බැලන්ස් කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව.

ෂුටිංවලට තනියම යන්න ගෙදරින් ඉඩ දෙනවද?

ෂුටිංවලට වගේම කොහේ ගියත් ගොඩක් වෙලාවට මම යන්නෙ අම්මා එක්ක. ඇය තමයි මගේ පස්සෙන්ම ඉන්නෙ. තාත්තාත් පිටපත් බලල හොයල බලල තමයි අවසරය දෙන්නෙ.

සෙලීනා වැඩිපුර කැමති මොන වගේ චරිතවලටද?

ඇත්තටම මම ආදර චරිතවලට වඩා කැමතියි ක්‍රියාදාම චරිතවලට.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment