ආපදා සෙවූ වර්ෂාමාන ලෙඩින්

35

මෙරට අවදානම් දිස්ත්‍රික්ක 14ක ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය වර්ෂාමාන 330 අතුරින් ඉකුත් වර්ෂයේ 2023 අගෝස්තු මාසය වන විට 109ක් අක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

වර්ෂාමාන ක්‍රියා විරහිත වීම හේතුවෙන් නායයාම පිළිබඳ අනතුරු ඇඟවීම කල්තියා හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව විගණනය මගින් අනාවරණය කර ඇත. මෙකී වර්ෂාමාන නඩත්තු කිරීමේ කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන අතර සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් සිටීම නිසා දිස්ත්‍රික්ක 14ක ස්ථාපිත කර තිබූ වර්ෂාමාන පද්ධති නඩත්තු කිරීමේ ගැටලු පවතින බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

ස්වයංක්‍රීය වර්ෂාමානවල අභ්‍යන්තර උපාංග නිසි ලෙස නඩත්තු නොකිරීම මෙකී වර්ෂාමාන නිරන්තරයෙන් අක්‍රියවීමට බලපා තිබුණි. එමෙන්ම ස්වයංක්‍රීය වර්ෂාමාන පද්ධතිවල දත්ත සම්ප්‍රේෂණයට සිදුවන අවහිරතාවන් ද නිවැරදි පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීම කෙරෙහි බලපෑම් ඇති කර තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර තිබුණි.

වර්ෂාමාන පද්ධති 330ක් පැවතිය ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ කර තිබුණේ ස්වයංක්‍රීය වර්ෂාමාන පද්ධති 251 කින් ලැබෙන දත්ත පමණක් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment