යුගදනවි යුක්තිය ඉදිරියට: පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්

275

කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට පවරා දීමට සහ එම බලාගාරයට ද්‍රව වායු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ඇමෙරිකානු සමාගමකට පවරාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 29 වැනිදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා හා ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ. ප‍්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා එල්. ටී. බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල නම් කර ඇති බව ද විනිසුරු මඬුල්ල පෙන්වා දී තිබේ.

එකී මූලික අයිතිවාසිකම් පෙත්සම් මුර්දු ප‍්‍රනාන්දු, ගාමිණී අමරසේකර හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී 26 වැනිදා කැඳවිණි. කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති එකී තීරණය ක‍්‍රියාත්මක වුවහොත් එය විදුලිබල ක්‍ෂේත‍්‍රයට ඉතා අහිතකර අන්දමින් බලපෑමක් ඇති කරවන ක‍්‍රියාදාමයක් වන බැවින් එමගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වන බවට නිගමනය කරන ලෙස සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ හා ලංකා විදුලි සේවක සංගමයේ මහ ලේකම් රන්ජන් ජයලාල් යන පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ජාතික වැදගත්කමක් ඇති කරුණු වන බැවින් ඒවා පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීම යෝග්‍ය බව පවසමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් පර්සානා ජමීර් මහත්මිය පසුගිය 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබිණි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන් තමා පෙනී සිටින බව ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා එහිදී අධිකරණයට කීවේය.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් පර්සානා ජමීර් මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ තිසත් අබේගුණවර්ධන, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. මේ අතර කැබිනට් මණ්ඩලයේ එකී තීරණය අභියෝගයට ලක් කරමින් බෙංගමුවේ නාලක හිමිපාණන් ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 1 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය 26 දා නියෝග කළේය.

එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment