ඉන්ධන මිල අඩුවීම නිසා විදුලි ඒකකයක් රුපියල් 12 ට දෙන්න පුළුවන්

649

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

ඩීසල් ඇතුළු ඉන්ධන මිල අඩුවීම නිසා ඒකක 30ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ට එක් විදුලි ඒකකයක් රුපියල් 12 ක මිලකට දිය හැකි බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය.

එමෙන්ම ඒකක 31 ත් 60 ත් අතර විදුලිය පාවිච්චි කරන අයගෙන් 31 වැනි ඒකකයේ සිට අය කරන රුපියල් තිස් හතක් වන විදුලි ඒකකයක මිල රුපියල් 15 දක්වා අඩු කළ හැකි බව ද ඒ මහතා කීවේය. ඉන්ධන මිල අඩු වීමෙන් පසු විදුලිය නිෂ්පාදනය කිරීමේ සත්‍ය පිරිවැය ගණනය කරන්නේ නම් මෙම ගණන්වලට විදුලිය ඒකකයක් ලබා දිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය. සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට විස්සක් ඉන්ධන මත පදනම්ව නිෂ්පාදනය කරන නිසා මෙම ගණන්වලට විදුලිය සැපයිය හැකි බව ද ඒ මහතා පැවසීය. ඉන්ධන මිල අඩුවීමේ වාසිය විදුලි පාරිභෝගිකයන්ට ද ලබාදිය යුතු බව ද ඔහු කීවේය.

සංජීව ධම්මික මහතා මෙසේ ද පැවසීය.

ඉන්ධන මිල අඩු වීම පමණක්ම සෘජු ලෙස සලකලා බැලුවොත් එක් විදුලි ඒකකයක් රුපියල් 10 කින් අඩු කළ හැකියි. ඒ කියන්නේ ඒකක තිහට අඩුවෙන් පාවිච්චි කරන අයගෙන් එක් ඒකකයකට අයකරන රුපියල් 30ක මුදල රුපියල් 20 දක්වා අඩු විය යුතුයි. ඒ වගේම ඒකක 31 සිට 60 දක්වා පාවිච්චි කරන අයගෙන් අය කරන රුපියල් තිස් හතක මිල රුපියල් 25 දක්වා අඩු කළ යුතුයි. නමුත් සත්‍ය පිරිවැය මීටත් අඩුයි. ඒ නිසා තමයි අපි කියන්නේ ඒකක 30ට අඩුවෙන් පාවිච්චි කරන අයට රුපියල් 12 ට විදුලිය ඒකකයක් දෙන්න පුළුවන් කියලා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment