පැතුම් කර්නර් 4 දා තෙක් රිමාන්ඩ්

128

පසුගිය 13 වැනිදා බත්තරමුල්ල පොල්දුව මංසන්ධිය අසලදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන පැතුම් සංඛ කර්නර් මහතා ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (29 දා) පස්වරුවේ නියෝග කළේය. එම සැකකරු එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

සැකකරු කථානායක නිල නිවස හා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමේ අරමුණ පෙරදැරිව අරගලකරුවන් ඇතුළු ජනතාව කැඳවා එකී විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බවත් එහි සේවයේ යෙදී සිටි පිරිස යුද හමුදා සෙබළෙකුට පහරදී ඔහු සතුව තිබූ ටී-56 ගිනි අවිය පැහැර ගැනීම සිදු කර ඇති බැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට දැඩි ලෙස විරුද්ධත්වය දක්වමින් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා රට තුළ එල්. ටී. ටී. ඊ. යුද්ධය දරුණු ලෙස පැවැති සමයේ වෛද්‍ය සිසුවකුව සිටි සිය සේවාදායකයා යුද හමුදා වෛද්‍ය බළකායට බැඳී යුද පෙරමුණට ගොස් යුද්ධයෙන් තුවාල ලැබූ විරෝධාර සෙබළුන්ගේ ජීවිත ගලවා ගැනීමට කටයුතු කළ අයකු බවත් යුද්ධය අවසන් වීමෙන් පසුව වෛද්‍ය උපාධිය සමත් වී එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරනා බවත් අධිකරණයට පැවසීය. ඔහු මෑතකදී සිය රටට පැමිණියේ රට දිනෙන් දින ආර්ථික වශයෙන් ඇද වැටී ඇති රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ අරමුණින් වන්නේ යැයි ද එහිදී අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා එවැනි අයකු යුද හමුදා සෙබළෙකුට පහරදී ගිනි අවියක් පැහැරගත් බවට පොලිසිය නඟනා චෝදනා බොළඳ හා විහළු සහගත වන්නේ යැයි ද පැවසීය. පසුගිය මාර්තු මස ගෝඨා ගෝ හෝම් හෑස් ටැග් එක නිර්මාණය කරමින් එකී රජයේ අයුතු ආර්ථික ක්‍රියා කලාපයට එරෙහිව අරගලය ආරම්භ කිරීමට මුල්ව ඔහු කුමන ආකාරයකින් හෝ සිරගෙදරට යැවීමේ අරමුණින් පොලිසිය එවැනි අභූත චෝදනා නගන්නේ යැයිද ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා එහිදී අධිකරණයට කීවේය.

නීතිඥ උදාර මුහන්දිරම්ගේ, උදුල් ප්‍රේමරත්න, ශමින්ද්‍රි අර්සකුලරත්න, කුමාර වෙල්ගම, නිර්මාල් කොඩිතුවක්කු ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහාත සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment