පැමිණිලි ඇතත් නැතත් ටික්ටොක් ෆේස්බුක් වුණත් වරද වරදමයි – ආගමික අන්තවාදීන්ට නීතිය තදින් – ඇමැති විජයදාස කියයි

209

සමාජ මාධ්‍ය පාලනය කළ නොහැකි වුවත් ඔවුන් කරන ප්‍රකාශවලට නීතිමය පියවර ගත හැකියි

මෑතක සිට ක්‍රියාත්මක වන ආගමික අන්තවාදය පැතිරවීමේ රැල්ල මර්දනය කිරීම සඳහා පැමිණිලි ඇතත්, නැතත් ජන සංහිඳියාව විනාශ කිරීමේ දුෂ්ට චේතනාවෙන් කටයුතු කරන ඕනෑම අයකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (30 දා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

භාෂණයේ නිදහස හා කතා කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙනවා වගේම එම අයිතිවාසිකම් භාවිත කළ හැක්කේ කෙසේද කියාත් ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා. ජාතික සමගියට, ආගමික සංහිඳියාවට හා වාර්ගික සමගියට බාධාවක් නොවන පරිදි කටයුතු කිරීම සෑම පුද්ගලයකුගේම වගකීමක්.

මෑතක සිට යම් යම් ආගමික ජන කොටස්වල සිත් රිදවෙන පරිදි එම ආගමික ශාස්තෘවරයන් හෙළා දකිමින් කටයුතු කරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව නිරීක්‍ෂණය වී තිබෙනවා. ඒ නිසා සංහිඳියාවට එරෙහිව සිදුවන ක්‍රියාකාරකම් සොයා බැලීමට වෙනම පොලිස් ඒකකයක් ආරම්භ කළා.

සමාජ මාධ්‍ය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි විශාල වශයෙන් ලැබෙනවා. සමාජ මාධ්‍ය මේ අයුරින් සමාජ විරෝධීව කටයුතු කළොත් ජනතාව ඔවුන්ට එරෙහිව නැඟී සිටින දිනය වැඩි ඈතක නොවෙයි යැයි ද ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කීවේය.

රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා ද මාධ්‍ය හමුවට එක්විය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment