ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනය: ගොනාකෝවිලේ අංජුගෙන් ඕ.අයි.සී.ට තර්ජන

259

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටියා නමැති පාතාල අපරාධකරු අත්අඩංගුවට ගැනිමෙන් පසු කෝපයට පත් වී ඇති පාතාල කල්ලි නායක ගොනාකෝවිලේ අංජු නමැත්තා එම විමර්ශනය සිදු කළ ගල්කිස්ස කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට තර්ජන එල්ල කර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පදිංචි නිවසේ තාප්පයේ “දැන් සනීප ද” යනුවෙන් රතු තීන්තෙන් ලියා තිබෙන බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඊයේ (27 දා) අලුයම මෙම තර්ජනාත්මක වැකිය ලියා තිබෙන බව පවසන පොලිසිය ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන ‘කොටියා’ නමැත්තා ගල්කිස්ස කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති නිලන්ත ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා (26 දා) ය.

රංජන් ද සිල්වා ඝාතනය කිරීමෙන් පසු එම ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන රත්මලානේ ධර්මේ සහ කොටියා නමැති සැකකරුවන් ඩුබායි රාජ්‍යයට පලා ගොස් තිබිණි.

ගොනාකෝවිලේ අංජුගේ නියෝග මත ධර්මේ ඇතුළු පාතාල සාමාජිකයන් පිරිසක් විසින් රංජන් ද සිල්වා ඝාතනය කරන ලදී.

ධර්මේ සමග ඩුබායි රාජ්‍යයට පලාගිය ‘කොටියා’ නමැති පාතාල මැරයා වසර 4 කට පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණ ගොනාකෝවිල ප්‍රදේශයේ සැඟවී සිටියේය.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාට ලැබුණු තොරතුරක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ ඇතුළු නිලධාරීන් විසින් කොටියා අත්අඩංගුවට ගෙන තිබිණි.

කොටියා නමැති පාතාල මැරයා ගොනාකෝවිලේ අංජුගේ සමීප ඥාතියෙකි. ‘කොටියා’ අත්අඩංගුවට ගැනීමෙන් පසු කෝපයට පත්වූ අංජු 26 වැනිදා අලුයම 1.00 ට පමණ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදී තර්ජනය කර ඇත.

ගොනාකෝවිලේ අංජු මේ වනවිට ඉතාලියේ සැඟවී සිටින බව වාර්තා වෙයි. මෙම තර්ජන කිරීම් ගණනකට නොගත් නිලන්ත ගමගේ මහතා සිය විමර්ශන කටයුතු දිගටම කරගෙන ගොස් තිබේ.

ඊයේ අලුයම නිලන්ත ගමගේ මහතා පදිංචි නිවසේ තාප්පයේ “දැන් සනීප ද” යනුවෙන් රතු තීන්තෙන් වැකියක් ලියා තිබී ඇත.

මෙම වැකිය ලියූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සී. සී. ටී. වී. කැමරා දර්ශන ඔස්සේ ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment