සැප්තැම්බර් මාසය ඔබේ ලග්නයට කෙසේද?

7566

මේෂ – වාසනාව ඔබ සොයා යන්න වාසනාව නොදැනීම ඔබේ නිවසට ඇතුල් වෙයි
වෘෂභ – මංගල යෝග උදාවෙන කාලයකි.
මිථුන – මුදල් ලාභ ලැබෙන කාලයකි.
කටක – අමනුෂ්‍ය දෝෂ පෙරේත බැල්ම
මකර – ආදර සම්බන්ධතාද කැඩී බිඳී යයි
කුම්භ – අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන අයගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයි
මීන – ඔළුවට විෂ බීජ දමන අයගෙන් ප්‍රවේශම් වන්න

සැප්තැම්බර් මාසයේ ග්‍රහයන් කීපදෙනෙක් ගෝචර ගත වන අතර තවත් ග්‍රහයන් කීපදෙනෙක් නිවෘත වීමත් වක්‍ර වීමත් සිදුකරයි. එනම් එම ග්‍රහ තත්ත්වය කෙසේදැයි බලමු. 2023.09.05 වන කුජ දින ගුරු මේෂයේ වක්‍ර වීමත් එදිනම සිකුරු මෙතෙක් කටකයේ වක්‍රවී සිටි අතර 5 වන කුජ දින සිකුරු නිවෘත වෙයි. 16 වන ශනි දින බුද සිංහ රාශියේ වක්‍රව සිටි අතර මෙදින එම වක්‍රයෙන් මිදී නිවෘත භාවයට පත්වෙයි. 18 වන සඳු දින රවි තම ස්වක්ක්‍ෂේත්‍ර රාශිය වූ සිංහයෙන් මිදී කන්‍යා රාශි ගත වෙයි. මෙය කෝණ මාසයක් ලෙසද දැක්විය හැකි අතර අනිත් ග්‍රහයන් වූ ශනි කුම්භ රාශියේද රාහු මේෂ රාශියේද, කේතු තුලා රාශියේද සිටිමින් සැප්තැම්බර් මාසය ආරම්භ වෙයි. මෙම මාසය පුරාවට ඔබට කෙසේදැයි විමසමු.

මේෂ

මේෂ ලග්න හිමියන්ට තරමක ශුභදායක කාලයකි. මෙතෙක් පැවති කරදර බොහෝදුරට අඩුවී යන අතර මෙතෙක් පැවති බාධකද බොහෝ දුරට අඩුවී යයි. රැකී රක්‍ෂා කටයුතුවලද සැලකිය යුතු වෙනසක් දකින්නට පුළුවනි. ස්ථාන මාරුවීම් බලාපොරොත්තුවෙන් සිටි අයගේ මෙතෙක් පැවති බාධක දුරුවී යන ලකුණු පෙනේ. විදේශ ගත වීමට යම් බලාපොරොත්තුවක් තිබුණේ නම් එය සාර්ථක වන ලකුණු පහළ වෙයි.

මෙතෙක් අසනීපයෙන් සිටි අයට විශේෂයෙන් කුඩා දරුවන්ට වාතාවරණයක් මේ මාසයේ බලාපොරොත්තුවක් තියාගත හැකි වාතාවරණයක් මේ මාසයේ උදාවෙයි. විවාහ අපේක්‍ෂක දෙපාර්ශ්වයටම තම ශුභ සිහින ඉටුවන කාලයකි. ආදරය කරන අය අතර හොඳ හිත ඇතිවේ. විශ්වාසය ඇතිවෙයි. නමුත් සමහර මේෂ ලග්න හිමියන්ගේ එනම් ජන්ම හෝ චන්ද්‍ර අෂ්ඨම හෝ 22 දෙර්කාණාධිපතිගේ දශාවත් අතුරු දශාවක් ගෙවන අයගේ ආදර සම්බන්ධතා බිඳ වැටෙයි. සිත් රිදවීම් ඇතිවෙයි. කෙසේ හෝ අධ්‍යාපනය ලබන දරුවන්ටත් අනාගතය ශුභ කරගත හැක. ගෙදර දොර සමගිය කට පරිස්සම් වෙතොත් කල් ශුභ වෙයි. වාසනාව මේ මාසයේ ඔබ සොයා යන්න. එවිට වාසනාව නොදැනීම ඔබේ නිවසට ඇතුල් වෙයි.

වෘෂභ

මේ මාසයේ ඔබේ කේන්දරයේ බුධ සහ සිකුරු 4 වැන්නේද රවි 5 වැන්නේ කේතු 6 වැන්නේද ශනි 10 වැන්නේද රාහු සහ ගුරු 12 වැන්න වූ මේෂයේද සිටියි. වෘෂභ ලග්න හිමියන්ට සිකුරුගේ ගෝචරය සතුරු වුවත් මේ කාලයේ මංගල යෝග උදාවෙන කාලයකි. විවාහ නොවූ අයට තම විවාහය වෙනුවෙන් උත්සාහයක යෙදෙන්න. එමෙන්ම ඔබේ විවාහය සිදුවන මාසයකි. ඇත්තෙන්ම තරමක මනමාල කමක්ද මේ කාලයේ ඇතිවෙයි. ශරීර සනීපය තරමක් දුරට යහපත් වෙයි. මෙතෙක් පැවති බාධක දුරුවෙන බවක් පෙනුනත් ඔබට යම් යම් අවස්ථාවලදී බාධකවලට මුහුණ දෙන්නට සිදුවෙයි. මේ කාලයේ නවීන විලාසිතාවලට වැඩිපුර මුදල් යොදවන්නටත්, ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමටත් පිරිත් පිංකම්වලට මුදල් හදල් වියදම් කරන්නටත් සිදුවෙයි.

මේ කාලයේ ස්ථාන වෙනස් වීමක් පෙන්නුම් කරයි. මේ ස්ථාන වෙනස් වීම බොහෝදුරට තමාගේ පදිංචිය හෝ ස්ථාන වෙනසක් විය හැක. ඒ වගේම සුපුරුදු පරිදි නිදා ගන්නා තැන හෝ වෙනස් විය හැකි කාලයකි. සුළු වශයෙන්වත් අනතුරක් කරදරයක් වෙන්න පුළුවන් කාලයක් බැවින් හැම විටම කල්පනාවෙන් සිටින්න. අධ්‍යාපනය ලබන දරුවන්ගේ උනන්දු උත්සාහය අඩුවී යන කාලයක් බැවින් පුළුවන් තරම් දෙමාපියන් තම දරුවන් ගැන සොයා බලන්න. එමෙන්ම ආදර සම්බන්ධතාවයන්ට ඉඩ නොදෙන්න. 6 සිට 10 දක්වා ශ්‍රේණිවල සිටින දරුවන් ගැන වැඩි අවදානයක් යොමු කරන්න. නිතර නිතර ගමන් බිමන් ඇතිවෙයි. එම ගමන් බිමන් පිළිබඳව විමසිලිමත් වන්න. පුළුවන් තරම් තමන් අදහන ආගමික කටයුත්තක යෙදෙන්න. විශේෂයෙන් 22 දෙර්කාණාධිපති සම්බන්ධව විමසිලිමත් වන්න. බලන්න 22 වන දෙර්කාණාධිපති කවුද කියා. තවද ඔබ හැම විටම ඔබ ගැන සිහින දකින්න. එම සිහින සැබෑකර ගැනීමට තම අරමුණ කරා යන්න උත්සාහ ගන්න. එවිට එන බාධක ඔබ පසුකර යාවි. ඔබ ශක්තිමත් නම් මෙය අධ්‍යාපනය ලබන මගේ පුංචි දරුවන්ටයි පැවසුවේ.

මිථුන

මිථුන ලග්න හිමියන්ගේ 3 වැන්න වූ සිංහයේ බුධ හා සිකුරුද රවි කන්‍යාවේද කේතු 5 වැන්න වූ තුලාවේද ශනි 9 වැන්න වූ පුණ්‍යස්ථානයේ රාහු සහ ගුරු මේෂය වූ 11 වැන්නේද ගමන් කරයි. මේ කාලයේ විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරුවන් මේ කාලයේ උනන්දුවෙන් තම ජයග්‍රහණය කරා යා යුතුයි. යම් යම් අවස්ථාවලදී පරාජයට පත් වූවත් එය නෙවේ ඔබේ ජීවිතය තීරණය කරන කඩඉම එම නිසා සාර්ථකව ජීවිතයට මුහුණ දෙන්න. දරුවන් අපේක්‍ෂාවෙන් සිටින අයටත් දරුවන් ලැබෙන්නට සිටින මව්වරුන් බොහොම තැන්පත්ව සංසුන්ව දැහැමිව තම කටයුතුවල යෙදෙන්න. ඔබ මෙතෙක් කළ ඔබේ වැඩ කටයුතු වෙනස් වෙයි. තමන් සේවය කරන ස්ථානයේද එය එසේම වෙයි. බාධා ගෙන දෙයි. හැබැයි මේ කාලයේ මොන දේ වුණත් ඔබට දෙවිධියකින් මුදල් ලාභ ලැබෙන කාලයකි.

මේ කාලයේ විදේශගතව සිටින ඔබේ සැමියා, බිරිඳ හෝ දරුවන් මේ කාලයේ ලංකාවට පැමිණේ. එමෙන්ම නව නිවාස කටයුතුවලට එනම් නිවාස අලුත්වැඩියා කටයුතු මෙන්ම ඉඩම් මිලදී ගැනීමටත් ශුභයි. ලාභ ප්‍රයෝජනත් නිරන්තරයෙන් ලැබෙයි. මේ කාලයේ පිං පලදෙන කාලයකි. එසේ නැතිනම් තමා කළ කටයුතුවල ප්‍රතිඵල ලැබෙන කාලයකි. ඇත්තෙන්ම මාසය අගදී සතුටුදායක ආරංචියක් ඔබ කරා පැමිණෙයි. පවුලට පිරිස වැඩි වෙයි. විනෝද ගමන් බිමන් යන්නට අවස්ථාව උදාවෙයි. අලුත් අමුතු යාළු මිත්‍රයන් ඇසුරට ලැබෙයි. මංගල සීනු හැඬවෙයි. ආදර සම්බන්ධතා ස්ථිර වෙයි. ආහාර ද්‍රව්‍ය ලාභ ඇඳුම් පැළඳුම් ලැබෙන කාලයකි. ඔබේ ජීවිතයට නව බලාපොරොත්තු ගෙන දෙමින් අලුත් ගමනකට මග පාදා දෙයි. එය සාර්ථක කර ගැනීම හෝ විනාශ කර ගැනීම ඔබ සතුයි. එම නිසා තමන්ගේ දියුණුව සර්ව සම්පූර්ණව සාර්ථකව අවංකව සිදුකර ගන්න. තමන් අදහන ආගමක පිහිට පතන්න. ශනි 9 වැන්නෙ සිටින නිසා පුළුවන් තරම් පිං කරන්න.

කටක

කටක ලග්න හිමියන්ගේ සිංහ රාශිය වූ 2 වැන්නේ සිකුරු සහ බුධ ද 3 වැන්න වූ කන්‍යාවේ රවිද 4 වැන්න වූ තුලාවේ කේතුද 8 වැන්න වූ කුම්භයේ ශනිද 10 වැන්න වූ මේෂයේ රාහු සහ ගුරුද ගෝචරයෙන් ගමන් කරයි. මෙම ග්‍රහ ගෝචරයේදී ඔබට 2023 තෙක් ශනිගෙන් හැදෙන අෂ්ඨම ඒරාෂ්ඨක තත්ත්වයක්ද ඇති අතර ඊට අමතරව බලමු සැප්තැම්බර් මාසය ඔබට කෙසේද කියා.

පසුගිය මාසවලදී පැවති මුදල් ලාභ අඩු බව යම් තරමකට මගහැරී ගොස් මිල මුදල් ලැබෙන්නට පටන් ගනියි. තම දියුණුව වෙනුවෙන් මීට වඩා වෙහෙස මහන්සි වන්නේ නම් සාර්ථක ගමනකට පැහැදිලි මග පෑදීමකි. එමෙන්ම ප්‍රයෝජනවත් වැඩකට අත ගසන්නට අවස්ථාව උදාවෙයි. විශේෂයෙන් මේ කාලයේ ස්ත්‍රී පක්‍ෂයේ කෙනෙකුගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. විවාහය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම මංගල කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාවෙයි. ආදර බන්දන ස්ථිර වෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ට හැර අන් අයට ආදරයට ශුභ කාලයකි.

අධ්‍යාපනය ලබන දරුවනි බාහිර ක්‍රියාකාරකම් වැඩිවෙයි. අධ්‍යාපන කටයුතුවලට සියලුම දේ බාධාවක් කර නොගෙන සාර්ථකව ඉගෙනීම අවසන් කරන්න. නරක දේට ඇබ්බැහි නොවන්න. මේ කාලයේ පිළිවෙලට අඳින්න පළඳින්න ඔබ කැමතියි. එවැනි දේ ඔබට ලැබේවි. යාන වාහන මිලදී ගැනීමටත්, ඉඩම් මිලදී ගැනීමටත් ශුභයි. හැබැයි වංචාකාරයන්ගෙන් ප්‍රවේශම් වන්න. මේ කාලයේ ඔබේ ගෘහවාසින් සමග අවුල් වියවුල් ඇති කර ගැනීමට පුළුවනි. අසනීප ලෙස ලේ දෝෂ, සෙම් රෝග, ආහාර දිරවීමේ අපහසුතා වගේ දෙයි පරිස්සම් වන්න. ගෙදර යම් තරමකට අමනුෂ්‍ය දෝෂ පෙරේත බැල්ම විශේෂයෙන් කුඩා දරුවන්ට ඇති විය හැකි කාලයකි. සියලුම දේ ශුභ සහ පරිස්සම් අතර සිදුවන දෙයක් බැවින් දෙපැත්තම සමබර කරගෙන ජීවිතයට මුහුණ දෙන්න.

සිංහ

සිංහ ලග්න හිමියන්ගේ සිකරු සහ බුධ ලග්නයේද රවි 2 වැන්න වූ කන්‍යාවේද කේතු 3 වැන්න වූ තුලාවේද ශනි 7 වැන්නේද රාහු සහ ගුරු මේෂය වූ 9 වැන්නේද ගමන් කරයි. මේ කාලයේ විශේෂයෙන්ම සිතට සැනසීම ගෙන දෙන කාලයකි. නමුත් සමහර අවස්ථාවලදී ඒ සැනසීම ගෙන දෙන කාලයකි. නමුත් සමහර අවස්ථාවලදී ඒ සැනසීම නැතිවෙන අවස්ථාත් නැතුවාම නොවේ. හේතුව සිංහ ලග්න හිමියන්ගේ සිකුරු ලග්නයේ ගමන් කරන්නේ සතුරුවයි. මේ කාලයේ නොයෙක් සිතුවිලි ඇතිවෙයි. නිතර නිතර ගමන් බිමන් ඇතිවෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ සිතුවිලි විසිරී ඇති මොහොතකි. එබැවින් ලියකියවිලි වැඩ මෙන්ම අධ්‍යාපන කටයුතුවලටද ශුභයි. නමුත් සිතුවිලි විසිරී ඇති නිසා සිත සංසුන් කරගෙන අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න. කුඩා දරුවන් පරිස්සම් කර ගන්න. මේ කාලයේ ළඟම හිතවතෙක්, නැතිනම් ආදරවන්තිය හෝ ආදරවන්තයා අමනාප වන කාලයකි. දුක් වීමට කරුණු යෙදේ.

මේ කාලයේ ඔප්පු වැඩ මෙන්ම මුදල් ගනුදෙනු කිරීමේදී ද ප්‍රවේශම් වන්න. අන් අයගේ වචනය පිළිනොගෙන තමාගේ කටයුතු පමණක් කරන්න. මේ කාලයේ අමුතු අමුතු දේ සඳහා ද මුදල් වියදම් කරන්නට සිදුවෙයි. ප්‍රයෝජනවත් නැති දෙයකට මහන්සි වන කාලයකි. රැකී රක්‍ෂා කටයුතුවලින්ද දේපළ පිළිබඳව ප්‍රශ්නවලින් ද සිත් රිදවීම් ඇතිවෙයි. මේ කාලයේ මොන යම් අයුරකින් හෝ ඔබේ ළඟම ළඟින්ම සිටි කෙනෙක් අමනාප වෙයි. ලෙඩ රෝගවලින් විශේෂයෙන් හිසේ වේදනාව මෙන්ම ස්නායු රෝගවලින් ප්‍රවේශම් වන්න. ඥානාන්විතව ක්‍රියා කරන්න. තද බල අපල කාලයක් නොවුණත් ඔබේ ක්‍රියා කලාපය මත සියල්ලම උඩුයටිකුරු වෙන්න පුළුවන්. විදේශ ගමන් බිමන් යෙදේ. දුර බැහැර ගමන් බිමන්ද යෙදේ. ගෙදරදී හෝ පිටතදී ආගමික කටයුතුවල යෙදෙන්නට අවස්ථාව උදාවෙයි. මෙයින් බොහෝ අපලද දුරුවී යයි. එම නිසා පුළුවන් තරම් පිං දහම්වල යෙදී ආගමික කටයුතුවල යෙදෙන්න.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ රවි ලග්නයේද කේතු 2 වැන්න වූ තුලාවේද ශනි 6 වැන්න වූ කුම්භයේද, රාහු සහ ගුරු 8 වැන්න වූ මේෂයේද බුධ සහ සිකුරු 12 වැන්න වූ සිංහයේද ගෝචර වෙයි. මෙම කාලයේ මානසිකත්වය හොඳින් තියාගත යුතු කාලයකි. හැම විටම පහර වදින්නේ තමාගේ මනසටයි. බලාපොරොත්තු රහිත අවාසනාවන්ත කම් යෙදුනත් සතුරන්ගෙන් ජය ලැබේ. මෙතෙක් පැවති බාධක අවහිරකම් මාසය මුලදී මග හැරී යයි. සමාජයේ අලුත් චරිතයක් වෙයි. ඔබ ගැන අන් අය කතාවෙන තරමට ඔබව ප්‍රසිද්ධ වෙයි. තම තනි බලය පාමින් තමාගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට පුළුවනි. මිල මුදල් අතින් අමාරුකම් පැවතියත් ඔබට අවශ්‍ය මුදල් අවශ්‍ය වෙලාවට ලැබෙන වාතාවරණයක් මේ කාලයේ පවතියි. මේ කාලයේ විවාහක අය අනියම් ඇසුරේ යෙදේ නම් කල්පනාකාරි විය යුතු කාලයකි.

පාසල් ප්‍රේමය මේ කාලයේ නොගැලපෙන අතර අධ්‍යාපන කටයුතුවල මුල් තැනදී කටයුතු කළ යුතු කාලයකි. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයටත් මේ කාලය ශුභදායකයි. දැනට විදේශ ගතව සිටින අය තම මව්බිමට එන කාලයකි. සතුටු වීමට කරුණු යෙදේ. වස්තුව ලැබේ. දේපළ ලැබෙන කාලයකි. ඉඩම් මිලදී ගැනීමට අලුතින් නිවාස ගොඩනැඟීමට හොඳම කාලයකි. සැප පහසුවට අවශ්‍ය දේ ලැබෙන කාලයකි. අලුත් සමාගම් ඇතිවෙයි. අලුත් යාළු මිත්‍රයන් ඇතිවෙයි. ලස්සන වෙයි. ශරීරයේ බර වැඩි වෙයි. හැබැයි රැකියාව, තම ව්‍යාපාර පරිස්සම් කර ගන්න තමාට ආදායම් ලැබෙන මාර්ග හොඳින් පැහැදිලිව තියා ගන්න.

තුලා-

තුලා ලග්න හිමියන්ගේ කේතු ලග්නයේද ශනි 5 වැන්න වූ කුම්භ රාශියේද ගුරු සහ රාහු 7 වැන්න වූ මේෂයේද සිකුරු සහ බුධ 11 වැන්න වූ සිංහයේද රවි 12 වැන්න වූ කන්‍යාවේද ගෝචර ගමනින් යයි. මේ කාලයේ තුලා ලග්න හිමියන්ට යම්කිසි ප්‍රමාණයකට ශරීරයේ දුර්වල කරයි. නමුත් ගෙදර දොර වාසනාවන්ත කාලයකි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට දරු ලාභද පවුලට පිරිස වැඩි වෙන කාලයකි. සිතට කයට සැප ලැබෙන දේද තමාට අවශ්‍ය කරන දේ අවශ්‍ය වෙලාවටද ලැබෙන කාලයකි. දියුණුවට කටයුතු සිද්ධ වෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ට බාධාකත් සමග ජීවිතය ජය ගත හැකි ක්‍රම සහ කරුණු කාරණා ඇති වෙයි. සාමාන්‍යයෙන් දරුවන් විවිධ විවිධ දේ කිරීමට උත්සාහ ගත්තානම් එය සාර්ථක කර ගත හැකි කාලයකි. ඥානය දියුණු වෙන කාලයකි. හැබැයි ආදරය මේ කාලයේ සුදුසු නැති බවත් තරයේ මතක තබා ගන්න.

නමුත් විවාහ වෙන්නට සිටින අයට මේ කාලයේ ශුභදායකයි. ඔබේ විවාහය මේ වර්ෂ සිදුවෙන බවත් තරයේ මතක තබා ගන්න. තරමක් ඔබේ ශරීරයේ බර වැඩිවෙයි. ගෙදර දොර අලංකාරවත් වෙයි. අනුන් සමග එකට සහකාරකම් ඇතිව යම් යම් ව්‍යාපාරද පටන් ගැනීමට ඉඩ ලැබේ. අලුත් ව්‍යාපාරවලට අත ගැසීමට හොඳ කාලයකි. තනිව හෝ හවුල් ව්‍යාපාරවලටත් සුදුසු කාලයකි. රැකියාවල්වල යෙදී සිටින අය ප්‍රධානීන්ගෙන් ප්‍රවේශම් වන්න. විවිධ විවිධ දේ අත්හදා බැලීමට නොයන්න. පුළුවන් තරම් පින පාදාගෙන ජීවිතයට මුහුණ දෙන්න. තමන්ගේ ගමන සාර්ථක කර ගැනීමට තමන් අදහන ආගමික කටයුත්තක නිරත වෙන්න. රෝග ලෙස ලිංගාබාධ මෙන්ම, හිසේ අමාරුකම්, බඩ ආශ්‍රීත රෝගවලින් ප්‍රවේශම් වන්න. බඩේ ගල් ඇති වීමටද පුළුවනි.

වෘශ්චික

වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි 4 වැන්න වූ කුම්භ රාශියෙන් ගුරු සහ රාහු 6 වැන්න වූ මේෂ රාශියෙන්, සිකුරු සහ බුධ 10 වැන්න වූ සිංහ රාශියෙන් රවි කන්‍යාවෙන් එනම් 11 වැන්නෙන් කේතු 12 වැන්න වූ තුලාවෙත් ගෝචර වෙයි. වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලය ශුභදායක කාලයකි. විශේෂයෙන් ඔබට හිමි තැන නිසි තැන ලැබෙන කාලයකි. මිල මුදල් අතින් පාඩු සිදු නොවේ. මුදල් ලාභ මෙන්ම ද්‍රව්‍ය ලාභද ලැබෙන කාලයකි. ගෙදර දොර සැප පහසුවට අවශ්‍ය දේ ලැබෙන කාලයකි. විශේෂයෙන් හිත මිත්‍රයන්ගෙන් ආධාර උපකාර ලැබෙන කාලයකි. අලුත් සමාගම් ඇතිවෙයි. හැබැයි මේ කාලයේ සුළු වශයෙන්වත් තුවාලයක් හෝ ආබාධයක් ඇති වීමට පුළුවනි. එය තදබල වීමටද පුළුවනි. ඒ නිසා මොන දේ ලැබුණත් හදිසි අනතුරු කරදරවලින් පරිස්සම් වීමටත් වග බලා ගන්න.

අධ්‍යාපනය ලබන දරුවන් වෙහෙස ඇති ඵලක් ප්‍රයෝජනවත් නැති දෙයට උත්සාහ ගන්නා කාලයකි. එම නිසා තමාට අදාළ දේ පමණක් කිරීමට උත්සාහ ගන්න. පාඩම් කරනවා මෙන් අනවශ්‍ය දේට ඇබ්බැහි වීමක් හෝ වෙනත් දෙයකට හිත යොමු කරවන කාලයක් බැවින් කල්පනාකාරී වන්න. දේපළ පිළිබඳවද ප්‍රශ්න ඇතිවේ. නමුත් දේපළ මිලදී ගැනීමක ඇතිවෙයි. ඉගෙනීමට මොන දේ වුණත් ශුභයි. මොන ප්‍රශ්න ගැටලු තිබුණත් ඔබේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට මාර්ග පෑදෙයි.

ධනු-

ධනු ලග්න හිමියන්ගේ ශනි 3 වැන්න වූ කුම්භයෙන් ගුරු සහ රාහු මේෂයෙත්, සිකුරු සහ බුධ සිංහ රාශිය වූ 9 වැන්නෙත් රවි 10 වැන්න වූ කන්‍යාවෙත් කේතු 11 වැන්න වූ තුලාවෙත් ගෝචර වෙයි. ධනු ලග්න හිමියන්ට යහපත් කාලයකි. සිතට සැනසීම ලැබෙන කාලයකි. විශේෂයෙන්ම පවුල් දියුණු තත්ත්වයකට යාමට අවශ්‍ය දේ ලැබේ. සැප පහසුකම් ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට මේ කාලය ඉතාම ශුභයි. අලුතින් ව්‍යාපාර ආරම්භ කරන්නට බලාපොරොත්තුවෙන් සිටින අයටත් ශුභාදායක කාලයකි.

අධ්‍යාපනය ලබන දරුවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත කරන්නට උත්සාහයක් ගන්න. බොහෝ දරුවන්ට උසස් අධ්‍යාපනයට දොර විවර වෙයි. තමා ගන්නා සෑම උත්සාහයකම ප්‍රතිඵල නෙළා ගත හැකි බවත් සිතට ගන්න. පවුලට පිරිස ඇති වෙයි. විවාහ බන්ධන ඇතිවෙයි. ආදායම් මාර්ගද වැඩිවෙයි. යාන වාහන මිලදී ගැනීමට හොඳම කාලයකි. එමෙන්ම අලුතින් නිවාස ගැනීමට, අලුත්වැඩියා කිරීමට හොඳම කාලයකි. දරුවන්ට පියා සතු දේපළ ලැබීමටත් පියාගේ ව්‍යාපාර භාර ගැනීමටත් අවස්ථාව උදාවෙයි.

මකර

මකර ලග්න හිමියන්ගේ ශනි 2 වැන්න වූ කුම්භ රාශියේ ගෝචර වී ඇති අතර 2025 දී ලග්න ඒරාෂ්ඨකය අවසන් කරන මකර ලග්න හිමියන්ගේ ගුරු සහ රාහු 4 වැන්න වූ මේෂයෙන් 8 වැන්න වූ සිංහ රාශියේ සිකුරු සහ බුධ ද 9 වැන්න වූ සිංහ රාශියේ රවිද 10 වැන්න වූ තුලාවේ කේතුද ගෝචර ගමනින් සිටී. මේ කාලය තුළ මේ කාලයේ නොයෙක් ආකාරයෙන් මානසික පීඩාවන්ට ලක් වෙන්නට සිදුවෙයි. පදිංචිය පිළිබඳවත් නිවසෙත් යම් යම් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙන අවස්ථා ඇති වෙයි. මේ එන ප්‍රශ්නවලට විසඳුම් ද ඔබට ලැබෙන කාලයකි. මේ සියලු පැටලිලිවලට විසඳුම ලැබේ. සැනසීම ලැබේ. යහපත් පොරොන්දු ගිවිසුම්වලට බැඳෙන්නට සිදුවේ. වතු වැඩ ගොවිතැන් වැඩකරන අයටද මේ කාලය අශුභදායකයි. නමුත් පාඩු විඳින්නටද සිදුවෙයි. අධික වියදම් දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙයි. සිතේ තීන්දුවකට බැසීමට නොහැකි කරුණු කාරණා ඇතිවෙයි. ධන හානි වෙන්න ඉඩ තිබේ. ලැබෙන ආදායම් මාර්ග යම්තාක් දුරට අඩුවී යයි.

මේ කාලයේ කවුරුත් විශ්වාස කර මුදල් හදල් දීමටත් ගැනීමටත් උත්සාහ නොකරන්න. යෝජනාවක් මාර්ගයෙන් විවාහ වෙන්න උත්සාහ කරන අය මේ කාලයේ හොඳින් සොයා බලා කළ යුතු විවාහයක් වන අතර රැවටීම් මුලාවීම්වලට ලක් නොවන්න. මංමුලාවන කාලයකි. ආදර සම්බන්ධතාද කැඩී බිඳී යා හැකි බැවින් විශ්වාසය රැකගෙන ඉන්න උත්සාහ ගන්න. මේ කාලයේ ලේ දෝෂ, හන්දිපත් අමාරුකම්, පපුවේ ආබාධ ඇති වීමට පුළුවනි. කෙසේ හෝ අධ්‍යාපනය ලබන දරුවනි වෙනදාට වඩා අධ්‍යාපන කටයුතුවලට උනන්දුවක් උත්සාහයක් දරන්න. රැකියා කරන අය තම රැකියා ආරක්‍ෂා කර ගැනීමටත් වෙනත් රැකියා මාර්ගවලට යාමේදී ඒ ගැනත් කල්පනාකාරී වන්න. කෙසේ හෝ තමන් අදහන ආගමික කටයුත්තක යෙදෙන්න.

කුම්භ

කුම්භ ලග්න හිමියන්ගේ ශනි ලග්න ගතව සිටීමෙන් ඔබට ලග්න ඒරාෂ්ඨකයක් ඇතිවී තිබේ. මේ කාලයේ ඔබේ අනිකුත් ග්‍රහයන් ශනි ලග්නයේද රාහු සහ ගුරු 3 වැන්න වූ මේෂයේද, බුද, සිකුරු සිංහය වූ 7 වැන්නේද රවි 8 වැන්න වූ කන්‍යාවේද කේතු තුලාව වූ 9 වැන්නේ ද ගමන් කරයි. මේ කාලයේ ඔබ ඇත්තෙන්ම නොසන්සුන්. වෙනදාට වඩා ඔබට තරමක් කේන්ති යන ගතියකුත්, සිතේ නොසන්සුන් කම වැඩි ගතියකුත් පෙන්නුම් කරයි. මේ කාලයේ ගෙදර සිටීම එතරම් ප්‍රිය නොවුණත්, ස්ථානය හැර යාමක් බලාපොරොත්තුවෙන් සිටී නම් එය සාර්ථක වෙයි. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයටත්, රැකියාවන් සඳහා යන අයටත්, අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන අයට මේ කාලය බාධක තිබුණත් බලාපොරොත්තු ඉෂ්ට කර ගත හැකි කාලයකි.

ආදර සම්බන්ධතා ඇති අයට සුළුනේ බාධා ගෙන දෙයි. ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබව සැකකරන කාලයකි. නින්දා අපහාස අපවාද ලැබෙන කාලයකි. එම නිසා පුළුවන් තරම් චරිතය ආරක්‍ෂා කරගෙන ජීවත් වෙන්න. මේ කාලයේ දේපළ පිළිබඳවත්, මුදල් පිළිබඳවත් සිතන්නට යමක් ඉතිරි වෙයි. එමෙන්ම තරමක් දුරට ඔබේ මුහුණේ ලස්සන අඩු වෙන්නටත් මුහුණේ ලප කැලැල් ඇති වෙන්නටත් පුළුවනි. කෙසේ හෝ හදිසි අනතුරුවලින්ද ලෙඩ රෝගවලින්ද, නින්දා අපහාසවලින්ද පරිස්සම් වන්නට උත්සාහයක් ගන්න. යම් අවස්ථාවක ඔබේ පෙර පිං මතුවෙන කාලයකි. මේ කාලයේ ඔබේ ගමන හිමින් හිමින් සිදුවන අතර එය එතරම් නොසිතා පුළුවන් තරම් ගැටලුවලට මුහුණදී නව පන්නරයක් ලබාගෙන ඉදිරියටම යන්න. ඔබේ යාන වාහන මේ කාලයේ විකිණීමට නැතිනම් අලුත් වැඩියාවට දැමීමට සිදුවෙයි. ව්‍යාපාරවල නිරත වූ අයත් කල්පනාකාරී වන්න. තමන් අදහන ආගමක නිරත වෙන්න. පිං අතේ වැඩ කටයුතු කරන්න. එමෙන්ම සතුටින් ඉන්න.

මීන

මීන ලග්න හිමියන්ගේ මේ කාලයේ ලග්න ඒරාෂ්ඨකයක් පවතින අතර මේ කාලයේ ශනි 12 වැන්නේද ගුරු සහ රාහු 2 වැන්න වූ මේෂයේද සිකුරු සහ බුධ 6 වැන්නේද රවි 7 වැන්නේද කේතු 8 වැන්නේද ගමන් කරයි. මේ කාලයේ ඔබ විශේෂයෙන්ම පරිස්සම් විය යුත්තේ තමන්ගේ මානසික මට්ටම අවුල් කරන අයගෙනි. ඔළුව විෂ බීජ දමන අයගෙන්ය. ප්‍රවේශම් විය යුතුයි. එමෙන්ම විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන 5 හපන්නුත්, සාමන්‍ය පෙළ, උසස් පෙළ කරන දරුවනුත් කැපවීමෙන් තම ගමන යා යුතුයි. මොන බාධකය ආවත් ඔබේ ගමන අතරමග නතර නොකරන්නට වග බලා ගන්න.

විවාහ වූ අය නිතරම තම පවුල් සංස්ථාවේ විශ්වාසය ඇති කර ගන්න. මේ කාලයේ සුළු සුළු සිත් රිදවීම් ඇති වුවත් එය දුරදිග යා යුතු නැති අතර අවටින් එන ප්‍රශ්නවලට දෙදෙනා සමගියෙන් මුහුණ දෙන්න. මේ කාලයේ පොලිසියේ පිහිට පතන්නටවත් උසාවියේ පිහිටක් බලාපොරොත්තු නොවන්නටත් වගබලා ගන්න. යම් යම් අවස්ථාවලදී මිල මුදල් ලාභ අඩු වීමටත් අතේ ඇති මුදල් අතේ රඳන්නෙත් නැති නිසා ලද පමණින් ලැබෙන මුදල් වියදම් කරන්න.

ව්‍යාපාර මට්ටමින් ක්‍රියා කරන මීන ලග්න හිමියනි. පාඩු වුවත් එය දිගින් දිගටම සිදුනොවන නිසා පුළුවන් තරම් තම ශක්තියෙන් ඉදිරියට යන්න. සතුරු කරදරවලින් නිදහස් වෙන්නට පුළුවනි. නමුත් සතුරන් හඳුනාගෙන ක්‍රියා කළ යුතු කාලයකි. තම බලාපොරොත්තු පවා කඩවී යයි. මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබී යයි. නමුත් ඔබ ශක්තිත්, ඔබ අදහන ආගම බොහෝ ශක්තිමත් එම නිසා විශ්වාසයෙන් බොහෝම සෙමින් අඩිය තියන්න. දිනෙක ඔබ ලෝකය දිනනවාමයි.

සැප්තැම්බර් මාසය ඔබේ ලග්නයට කෙසේද?

ඉවෝන් දිසානායක
0715723434 – 0777901702

advertistmentadvertistment
advertistmentadvertistment