මහ බැංකුව පොලී අනුපාතය තියන තැනම තියා ගනියි

124

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 05 වැනිදා පැවැති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත. මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.

එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද සියයට 4.00 මට්ටමේ නොවෙනස්ව පවතියි. මෙම තීරණයට එළැඹීමේදී මහ බැංකු මුදල් මණ්ඩලය විසින් නවතම සාර්ව ආර්ථික තත්ත්වයන්, අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික ප්‍රක්ෂේපණයන් සලකා බලන ලද බව මහ බැංකුව පවසයි.

ඉදිරි කාලපරිච්ඡේදයේ දී අපේක්ෂිත උද්ධමන මට්ටම සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් කොන්දේසි ප්‍රමාණවත් තරම් තදින් පවතින බව මණ්ඩලයේ අදහස විය. මැදිකාලීනව උද්ධමනය සියයට 4-6 දක්වා ඉලක්කගත මට්ටමට පහත වැටෙනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment