හෝ ගානා පොකුණට කලින් මේක තමයි කරන්න හිටියේ – මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු

222

සමහරු කිව්වා මේ ෆිල්ම් එක කරන්න බෑ කියලා
තාරුකාට තරුණියන් 51 ක් ඔඩිෂන් කළා

2015 වසරේදී තිරගත වුණු හෝ ගානා පොකුණ සිනමා පටය ඔබට මතක ඇතිනේද? මේ චිත්‍රපටය ගැන අදටත් අපේ රටේ ලොකු කතාබහක් තිබෙනවා. හෝ ගානා පොකුණ ඔබට තිළිණ කළේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය පීඨයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඉන්දික ෆර්ඩිනැන්ඩු විසිනි. ඉතිං ඔන්න යළිත් ඔහු ඔබ වෙත වෙනස්ම සිනමා කෘතියක් තිළිණ කරලා තිබෙනවා. වෙඩි උණ්ඩ රෝස මල් කරන මැජික් එක ‘වෙඩි නොවදින ළමයි. සිනමා නිර්මාණයයි. ඉතිං ඉන්දික සමඟ මේ කතාබහ වෙඩි නොවදින ළමයි ගැනයි.

● වෙඩි නොවදින ළමයි චිත්‍රපටය නිර්මාණය වුණේ කොහොමද?

ඇත්තටම මම මේක තමයි ඉස්සෙල්ලම කරන්න හිටපු චිත්‍රපටය. හෝ ගානා පොකුණට කලින්. නමුත් පළමු චිත්‍රපටය විදිහට මට කරන්න ආරාධනා ලැබුණේ හෝ ගානා පොකුණ. 2012 වසර වෙනකොට මෙහි පිටපතේ පළමුවර ලිවීම කරලයි තිබුණේ. ඊට පස්සෙ මම මගේ ආචාර්ය උපාධිය සඳහා ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව ගියා. ආවාට පස්සේ තමයි මේ චිත්‍රපටය කරන්න හිතුවේ.

● හෝ ගානා පොකුණ තරම් අවධානයක් මේ චිත්‍රපටයටත් ලැබේවිද?

හෝ ගානා පොකුණට වඩා ටිකක් වෙනස් චිත්‍රපටයක් මේක. නමුත් හෝ ගානා පොකුණට ආකර්ෂණය වුණු හේතු තිබෙනවානේ. මම ටිකක් බරපතළ විදිහේ රසාස්වාදනමය අත්දැකීමක් ප්‍රේක්‍ෂකයාට ලබාදෙන්න උත්සාහ කරනවා. ඒක මම මගේ නාට්‍ය කලාවෙන් උත්සාහ කරපු දෙයක්. එතකොට මේ චිත්‍රපටයත් ඊට වඩා වෙනස් වෙන්නේ නෑ.

හෝ ගානා පොකුණට කලින් මේක තමයි කරන්න හිටියේ - මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු

● බස් එකක් ඇතුළේ රාත්‍රී 42 ක්. නළුවෝ 27 ක්” ෂූටින් කරනවා. මේක ලේසි වැඩක් නෙමෙයිනේ?

මේ රචනාව කරන මොහොතේම අපි දැනගෙන හිටියා මේක කොතරම් දුරට අභියෝගාත්මක වැඩක්ද කියලා. නමුත් නිර්මාණ කටයුත්තට අවශ්‍ය කරන සත්කාරය ලබාදෙන්න නම් විශේෂයෙන් සාමාන්‍ය ජීවිතයට වඩාම ළඟ ආර්ට් එක සිනමාව අපිට පාවිච්චි කරන්න වෙනවා. අපි මුලදී උත්සාහ කළා මේක ස්ටුඩියෝ එකක් ඇතුළේ කරන්න. නමුත් ඇත්තටම බස් එකක් ඇතුළේ ගමන් කරන හැඟීම ස්ටුඩියෝ එකක් ඇතුළේ ලබාදෙන්න බැහැනේ. ඒ හින්දා අපි අවසානයේ තීරණය කළා හොඳට හෝ නරකට මේ නළු නිළියන්ට රාත්‍රි 42 ක් නිදි මරන්න වෙනවා කියලා.

● ෂූටින් කළේ කොහේද?

අනුරාධපුරය” තන්තිරිමලේ ප්‍රදේශයේ. ඒ වගේම ඔයාමඩුව” ඉලයාපත්තුව වගේ ප්‍රදේශවල. ඒ පැතිවල විශාල පාරවල් තිබෙනවා ඒ වගේ වාහන යනවා ඉතාම අඩුයි.

● දැවැන්ත අභියෝගවලට මුහුණ දුන් අවස්ථා එහෙම තිබෙනවාද?

ඔව්. මෙහෙමයි. දැවැන්තම අභියෝගය තමයි දවස් 42 ක් මෙහි වැඩකරපු පිරිස ඇහැරවලා තියාගන්න එක. මෙහි හුඟක් චරිතවල තියෙන්නේ නොනවතින භාවමය ශෛලියක්. ෆිල්ම් එක දිගටම තමයි බස් එක ඇතුළේ සිද්ධ වෙන්නේ. එකමභාවය නොකඩවා පවත්වා ගැනීමට හරිම අපහසු වුණා. යම්කිසි විදිහකට කිව්වොත් නින්ද විසින් නිරන්තරයෙන් අභියෝග කරනවා නළු නිළියන්ට.

● චිත්‍රපටයට එන්න බැහැ කියපු අයත් ඉන්නවාද?

හෝ ගානා පොකුණට කලින් මේක තමයි කරන්න හිටියේ - මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු

මොකද ඇත්තටම සමහර අය කිව්වා මේ ෆිල්ම් එක කරන්න බැහැ කියලා. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය මුලින්ම කරන්න හිටියේ චන්න දේශප්‍රිය එක්ක. මගේ හෝ ගානා පොකුණ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂවරයත් ඔහු. අනික මට ඔහුත් එක්ක වැඩ කරන එක පහසුයි. අපි දෙන්නට අපි දෙන්නා දන්න හින්ද හරි පහසුයි. නමුත් චන්නට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි මෙච්චර දවස් ගාණක් නිදිමරන්න පුළුවන්ද කියලා. චන්න කොහොමටත් මහන්සි වන කෙනෙක්නේ. ඒ හින්ද තමයි මගේ ඊළඟ තෝරාගැනීම වන දිමුතු කාලිංග දහනායක තෝරා ගත්තේ.

● නළු නිළියන් එහෙමත් බැහැ කියපු අවස්ථා තිබෙනවාද?

නළු නිළියන් නම් කිසිකෙනෙක් බැහැ කිව්වේ නැහැ.

● මේ චිත්‍රපටයේ නිතර නොදකින මුහුණු කිහිපයක්ම දකින්න ලැබෙනවා?

මෙහෙමයි” මට තිබෙන්නේ එකම එක හේතුවයි. මම හිතනවා චරිත නිරූපණය කියලා කියන එක පදනම් වන ඕනෑම කලා භාවිතයක කාස්ටින් කියලා කියන එක අතිශය තීරණාත්මකයි. මම ඉතාම සැලකිලිමත් වෙනවා නළුවරණයේදී නළුවා හෝ නිළිය කොච්චර ජනප්‍රියද කියන කාරණාව මට කිසිසේත්ම අදාළ නෑ. හෝ ගානා පොකුණ මම හිතන්නේ ඒකට හොඳම උදාහරණයක්. ඒ මොහොතේ කොච්චර ජනප්‍රිය වෙච්ච නළු නිළියෝ දාගත්තා කියලා ෆිල්ම් දුවන්නේ නෑ ලංකාවේ. මොකද ලංකාවේ සුපර් ස්ටාර් රැජිනිකාන්ත් වගේ අය නෑනේ. මොකද අපේ ප්‍රේක්‍ෂකයන්ගේ සාමූහික විඥානය වැඩ කරන්නෙත් එහෙම නෙමෙයි.

● තරුණ පෙම් යුවළගේ තරුණිය හොයාගන්න ගොඩක් වෙහෙසුනා කියන්නේ ඇත්තද?

ඔව්. තරුණ පෙම්යුවළගේ තරුණිය තාරුකාව හොයාගන්න තරුණියන් 51 ක් හෝ 52 ක් අපි ඔඩිෂන් කළා. ඒ හැම අවස්ථාවකම අපි සියලු අංග ලක්‍ෂණ බැලුවා. අන්තිමේ මේ චරිතයට ගැළපෙනම කෙනා තමයි මම තෝරාගත්තේ. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිධාරිනියක්. මේක ඇයගේ පළමු චිත්‍රපටය. මේ කාරණයේදී ඇය කොච්චර ජනප්‍රියද නැතිද කියලා මට අදාළම නෑ.

● හෝ ගානා පොකුණේ හිටපු අනුසුයා සුභසිංහ මෙවරත් ඔබේ සිනමා නිර්මාණයේ ඉන්නවා?

මම කොහොමත් මීට පෙර වැඩකරලා තියෙන අය දෙවැනි වැඩේදී මගේ ෆස්ට් ඔෆ්ෂන්එක වෙන්නේ. මොකද මම දන්නවා එයාගේ කැපෑසිටිය. ඉතිං අනුසුයා ඒකට හසුවුණා එච්චරයි.

හෝ ගානා පොකුණට කලින් මේක තමයි කරන්න හිටියේ - මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු

● ජනප්‍රිය නම් සහ ලස්සන මුහුණු ඔබේ සිනමා කෘතිවල දකින්න ලැබෙන්නේ නෑ?

ඒකට හේතුව කලාවේදී ප්‍රේක්‍ෂකයා සම්බන්ධ වෙන්නේ මොනවගේ කරුණු එක්කද කියලා අපි දැනගන්න ඕනෑ. එතකොට අපි හදන සිනමා කෘති ප්‍රේක්‍ෂකයාට කොච්චර බලපානවාද කියලා දැනගන්නත් ඕනෑ.

● මේ වගේ අර්බුද කාලෙක චිත්‍රපටයක් තිරගත කරලා නිෂ්පාදිකාවට සාධාරණයක් ඉටුකළ හැකිද?

හෝ ගානා පොකුණ තිරගත කරන කාලෙත් සිනමාව තිබුණේ අර්බුදයක. ඒක මගේ පළමු චිත්‍රපටය. මාව ඇතැම් අය නාට්‍යකරුවෙක් විදිහට දැනගෙන හිටියට ඒ චිත්‍රපට ඇතුළෙත් සිනමා නළු නිළියෝ කියලා එහෙමට ස්ටැබ්ලිෂ් වෙච්ච අය හිටියේ නෑ. බොහොම සුළු පිරිසයි දන්නේ. නමුත් ඒ චිත්‍රපටය වෙනුවෙන් ප්‍රේක්‍ෂකයෝ සිනමා ශාලාවලට ආවා. නමුත් මේ වෙනකොට ඔබ හිතන අර්බුද සියල්ල වෙනස්වෙලා තිබෙනවා කියලා මට හැඟෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment