නීති දැඩි කෙරේ -වෘත්තීය සමිති හදන්න හතෙන් බෑ 100ක් ඕනෑ

698

25% කාන්තා නියෝජනය අනිවාර්යයි

කාන්තාවන්ට රෑ වැඩට ඇති කොන්දේසි ලිහිල් කෙරේ

අවම වැටුප තීරණය කරන්න කවුන්සිලයක්

පත්වීමේ ලියුම් දීම අනිවාර්යයි

වන්දි ගෙවා සේවය අවසන් කිරීමේ ක්‍රියාවලිය වේගවත් වෙයි

වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා දැනට අවශ්‍ය සාමාජික සංඛ්‍යාව හතේ සිට 100 දක්වා වැඩි කිරීමටත්, වෘත්තිය සමිතියක විධායක සභාව සඳහා 25%ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමටත් යෝජිත නව කම්කරු නීති පද්ධතියට ඇතුළත් කර තිබේ. නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වන දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා මාධ්‍යයට අදහස් දැක්වමින් මේ බව කීවේය.

සේවායෝජකයන් සිදුකරන අසාධාරණ කම්කරු පිළිවෙත් දැනට නීතියෙන් තහනම් කර ඇති ආකාරයටම වෘත්තීය සමිති සිදුකරන අසාධාරණ කම්කරු පිළිවෙත් ද නීතියෙන් තහනම් කළ යුතු බවට ප්‍රතිපාදන හඳුන්වා දීමටත් යෝජනා කර ඇත.

සාමාජික මුදල් වැටුපෙන් අඩුකර සමිතිවලට යැවීම අනිවාර්ය කිරීම, වැඩ වර්ජනය කිරීමට පෙර සේවායෝජකයා දැනුවත් කිරීම, වර්ජනයකට සාමාජික බහුතර කැමැත්ත ලබාගැනීම පිළිබඳ ප්‍රතිපාදන සැකසීමට ද මෙමගින් යෝජනා කර තිබේ.

මේ අතර රැකියා කරන ස්ථානවල සියලු ආකාරයේ හිරිහැර කිරීම්, ලිංගික හිංසන වැළැක්වීමට නව නීතිමය ප්‍රතිපාදන ගෙන ඒමටත් සේවා නියුක්තිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව සෞඛ්‍ය සුබසාධනය සුබසාධනයට අදාළ නව නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමටත් කටයුතු කරන බව ඇමතිවරයා කීවේය.

නව කම්කරු නීති පද්ධතියට ඇතුළත් වන ප්‍රතිපාදන පහත දැක්වෙයි.

■ සේවයට බඳවා ගැනීමේ දී හෝ සේවා ස්ථානය තුළ හෝ සේවා නියුක්තිකයකු වෙනස් කොට සැලකීම (Discrimination) වැළැක්වීමේ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.

■ රැකියා ස්ථානයේ සියලු ආකාරයේ හිරිහැර කිරීම් හා ලිංගික හිංසනය වැළැක්වීමට අදාළ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.

(ප්‍රචණ්ඩත්වය හා හිංසනය පිළිබඳ අංක 190 දරන ජාත්‍යන්තර සම්මුතිය අපරානුමත කිරීමට මෙම ප්‍රතිපාදන ඇතුළත් කිරීම මඟින් හැකියාව ලැබීම)

■ සේවා නියුක්තිකයිගේ වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය, සුබසාධනය පිළිබඳ නව නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීම (OSH)

(වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය, සුබසාධනය පිළිබඳ අංක 155 දරන ජාත්‍යන්තර සම්මුතිය අපරානුමත කිරීමට මෙම ප්‍රතිපාදන ඇතුළත් කිරීම මගින් හැකියාව ලැබීම)

■ පාරිතෝෂික ගෙවීමේ දී දැනට පවතින අවුරුදු 5ක සේවා කාලය සහ සේවකයන් 15ක් සිටීමේ සීමාව ඉවත් කර වර්ෂයකට දින 180ක් සේවය කරනු ලබන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවීමට නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.

■ කර්මාන්තශාලාවක හෝ කාර්මික ව්‍යාපාරයක රාත්‍රී සේවයේ නියුක්ත වන කාන්තාවන්ට පමණක් නොව සෑම සේවා නියුක්තිකයකුටම පැයට ගෙවන ගෙවීම මෙන් පැය එකහමාරක ගුණයක ගෙවීමක් කර සේවයේ යෙදවීම සඳහා නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.

■ පඩිපාලක සභා ආඥා පනතේ හා සාප්පු හා කාර්යාල පනතේ සේවා තත්ත්වයන් හා කොන්දේසි පිළිබඳව සඳහන් විධිවිධාන අතර ඇති විෂමතාවන් ඉවත් කර සෑම සේවා නියුක්තිකයෙකුටම සමාන ආකාරයේ විධිවිධාන ඇති කිරීම.

■ අනියම් ස්වභාවයේ රැකියාවක නියුක්ත සේවා නියුක්තිකයන් හැර අනෙකුත් සියලුම සේවා නියුක්තිකයන් සඳහා සේවයට බඳවා ගන්නා අවස්ථාවේ දී සේවා තත්ත්වයන් හා සේවා කොන්දේසි ඇතුළත් කර පත් වීමේ ලිපියක් ලිඛිතව ලබා දීමට සේවායෝජකයකුට අනිවාර්යය කිරීම.

■ සේවා නියුක්තිකයන්ගේ කැමැත්ත අනුව දින 05 සතියක් හා නම්‍යශීලී වැඩ කරන වේලාවන් හඳුන්වා දීම.

■ යම් කොන්දේසිවලට යටත්ව කාන්තා සේවා නියුක්තිකයින් රාත්‍රී සේවයේ යෙදවීම සඳහා දැනට පවතින නීතියේ සඳහන් නෛතික ප්‍රතිපාදන ලිහිල් කිරීම.

■ අතිකාල වැඩ කරන පැය ප්‍රමාණය හා ගෙවිය යුතු ගණනයන් සම්බන්ධ ඒකාකාර ක්‍රමයක් හඳුන්වා දීම.

■ අර්ධ කාලීන (Part time) රැකියාවල නියුක්ත වීමට අදාළ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.

■ පුහුණුවන්නන්, ආධුනිකයන් හා අධ්‍යාපනික ආයතනවල ඉගෙනුම ලබන ගමන් වැඩ කරන තැනැත්තන්ට අදාළ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.

■ පීතෘ නිවාඩු සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම.

■ නිවසේ සිට වැඩ කරන සේවා නියුක්තිකයන්ගේ (Work from home) අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.

■ විදේශික සේවා නියුක්තිකයකු ශ්‍රී ලංකාවේ සේවය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් හඳුන්වා දීම.

■ ගෘහ සේවය කම්කරු නීතියේ ආවරණයට ඇතුළත් කිරීම.

■ පඩිපාලක සභා තීරණ මඟින් හා ව්‍යවස්ථාපිත නීතිය මඟින් අවම වැටුප් තීරණය කරන ක්‍රමය වෙනුවට ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වා දී එම ආයතනයට කාලීනව හා පිළිගත් නිර්ණායකයන් මත අවම වැටුප් තීරණය කිරීමට බලය පැවරීම.

■ සේවා නියුක්තිකයන් විසින් සිදු කරනු ලබන විෂමාචාර ක්‍රියාවන්ට අදාළ අවසාන විනය තීරණයන් නිශ්චිත කාලසීමාවක් තුළ ලබා දීමට සේවායෝජකයින්ට නීතිමය බැඳීමක් ඇති කිරීම.

■ සේවායෝජකයන් සිදු කරන අසාධාරණ කම්කරු පිළිවෙත් දැනට නීතියෙන් තහනම් කර ඇති ආකාරයට වෘත්තිය සමිති මඟින් සිදු කරන අසාධාරණ කම්කරු පිළිවෙත් ද නීතියෙන් තහනම් කළ යුතු බවට ප්‍රතිපාදන හඳුන්වා දීම.

■ අසාධාරණ කම්කරු පිළිවෙත් පිළිබඳ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමේ දී දෙපාර්ශ්වයටම නඩු පැවරීමට අවස්ථාව ලබා දීම.

■ වැටුපෙන් සාමාජික මුදල් අඩු කර වෘත්තීය සමිතිවලට යැවීම සඳහා සේවායෝජකට අනිවාර්යය කිරීම.

■ වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා දැනට අවශ්‍ය අවම සාමාජික සංඛ්‍යාව 07 සිට 100 දක්වා ඉහළ දැමීම.

■ වෘත්තීය සමිතියක විධායක සභාව සඳහා යම් 25% ප්‍රතිශතයක් කාන්තාවන්ගේ නියෝජනය අනිවාර්යය කිරීම.

■ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෙර සේවායෝජකව දැනුවත් කිරීම හා වැඩවර්ජනය කිරීම සඳහා සාමාජිකයන්ගේ බහුතර කැමැත්ත ලබා ගැනීම පිළිබඳ ප්‍රතිපාදන.

■ යම් මාර්ගෝපදේශයන්ට යටත්ව සේවායෝජකට සේවා ස්ථාන රීති හඳුන්වා දීමට සහ එම සේවා ස්ථාන රීති සඳහා නෛතික බලයක් ලබා දීම.

■ දුර්වල කාර්යසාධනය, තාක්ෂණික දියුණුව ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ව්‍යාපාර ප්‍රතිසංවිධානය හේතුවෙන් රැකියා අතිරික්ත වන විට වන්දි ගෙවා සේවය අවසන් කිරීමට පවතින ක්‍රියාවලිය වඩා වේගවත් හා සරල කිරීම.

■ අමුද්‍රව්‍ය නොමැති කම, ඇණවුම් නොමැති කම, යන්ත්‍ර සූත්‍ර බිඳ වැටීම හෝ සේවායෝජකයාගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතු මත කෙටිකාලීනව සේවය නතර කිරීමට (Lay off) කම්කරු කොමසාරිස් ජනරාල්ගේ අවසරය ලබා ගැනීම.

■ සේවා නියුක්තිකයෙකු ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත්ව යෑමේ දි මාසයකට කලින් සේවායෝජකව දැනුවත් කර සේවයෙන් ඉවත් වීමට අදාළ ප්‍රතිපාදන ඇති කිරීම.

■ විශ්‍රාම යෑමේ වයස නැවත සමාලෝචනය කිරීම.

■ සෑම වෘත්තියකට හෝ රැකියාවකට ගරුත්වයක් ඇති කිරීම සඳහා ඒ ඒ රැකියාවන් සඳහා අනුගමනය කළ යුතු ප්‍රමිතීන් හා සම්මතයන් හඳුන්වා දීම.

■ සමාජ ආරක්ෂණ රක්ෂණ අරමුදලක් මඟින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍ය සහ විරැකියාවක දී වන්දි ලබා දෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සැකසීම.

■ සේවා නියුක්තිකයෙකුගේ කාර්යය සාධනය මැන බැලීම සඳහා සේවායෝජකට නෛතික බලයක් ලබා දීම.

■ මිනිස්බල සැපයුම් ආයතන හා රැකියා නියෝජිත ආයතන නියමානුකූල කිරීම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම.

■ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් වේතන (E- Wages System) ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීම.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment