හෙළ දස්කම් විදහාපාන ජාතියේ අතීත ශ්‍රී විභූතිය රිටිගල..!

170

රිටිගල පුරාණයේ රකුන්ගිර සච්චඛද්ධ ගිරිය සත්හානා ගිරි දේශය යනුවෙන් හැඳින් වූහ. රිටිගල ක්‍රි. පූ. 437 රජ පැමිණි පණ්ඩුකාභය කුමාරයාගේ බළකොටුවය. සිය මාමාවරුන් සමග කළ බිහිසුණු සටනේදී පණ්ඩුකාභය රජතුමන්ට ජය ලබාගත හැකි වූයේ මේ විජය භූමියේදීය. සටන දිනූ පණ්ඩුකාභය කුමාරයා අනුරාධපුරයට ගොස් හා පුරා එය නගරයක් වශයෙන් නිර්මාණය කළේය.

හෙළ දස්කම් විදහාපාන ජාතියේ අතීත ශ්‍රී විභූතිය රිටිගල..!
ගල් පඩි මාවත

අපේ අතීත මුතුන් මිත්තන්ගේ හෙළ දස්කම් විදහාපාන රන්කැට පතක් බඳුවූ රිටිගල අද මහ වන ප්‍රවාහයකින් වැසී ඇත. අනුරාධපුරයට ඊසාන දිගින් පිහිටි මෙය රජරට උසම කන්ද ය. දැනට මෙහි සොයාගෙන ඇති නෂ්ටාවශේෂ ප්‍රධාන කොටස් කිහිපයකි. පොකුණු, පියගැට පෙළ, ගොඩනැඟිලි, ගල්පාලම්, ගල් ලෙන්, හිරුනැමැඳුම් ස්ථානය වශයෙනි.

රිටිගල නැඟෙනහිර පැත්තේ ඇති මාලිගාතැන්න බැලීම සඳහා යන කෙනෙකුට මුලින්ම හමුවන්නේ බන්දා පොකුණයි. මෙය අක්කර භාගයක පමණ විශ්කම්භය හා අඩි විස්සක් පමණ ගැඹුර ඇති කවාකාර පොකුණකි. මෙහි පතුලේ සිට මුදුන දක්වා කපා ඔප මට්ටම් කළ දිග අඩි පහේ හයේ පමණ ගල්පේලි දිගට පඩි වශයෙන් අල්ලා තිබේ.

දිය පාරක් හරස් කොට කඳු බෑවුමේ යටි පැත්තෙන් පස්වලින් බැම්මක් බැඳ පොකුණේ ඇතුළු පැත්තට රළපනාව (ගල්) ඇල්ලීමෙන් පොකුණ සාදා තිබේ.

රිටිගල සමෘද්ධිමත් යුගයේ මේ පොකුණෙහි කාවයි, පෙති, ලූල් ආදී මත්ස්‍ය සමූහයාගෙන් ග්‍රහනව ඕලූ, නෙළුම් මානෙල් ආදි පස්පියුමෙන් විභූෂිතව හංස, සාර, සාදි, ජලවර පක්‍ෂණීන්ගේ රාව ප්‍රතිරාවයෙන් කන් කළුව සුනිල් සිසිල් දිය දහරින් පරිපූර්ණව තිබුණ බව නිගමන කළ හැක.

බන්දා පොකුණේ සිට තැන්න මුදුනේ ඇති ප්‍රධාන ගොඩනැඟිලි දෙක දක්වා ඉදිකොට තිබෙන පියගැට පෙළ සැතපුම් භාගයක් පමණ දුරය. කපා ඔප මට්ටම් කළ අඩි හතරහමාරක් පමණ පළල ගල්ලෑලි පියගැට පෙළට අල්ලා තිබේ. මෙම ගමන්මගේ ස්ථාන කිහිපයක කවාකාර ගල්වලින් කළ වටරවුම් ද වේ. මෙම වටරවුම් අසල ඇති නාගස් නිසා පෙර රජ දවසේ විශ්ව ශක්තියෙන් පණිවිඩ යැවූ බව ජනප්‍රවාදයකි. පියගැට පෙළේ දකුණු පස බෑ වුමක් සහිත තැනි තලාවකි. මෙහි නොයෙක් තැන්වල විවිධ මාදිලියේ ගල්කණු ආදිය සකරමර්යන්ගේ අනිසි බව පළකරමින් කාලයත් සමග කළ මහ සටනින් යුද පිටියක පරාධීනව ඇද වැටුණ රණශූර සෙබළ මුලක්සේ තැන තැන ඇදහැළි විසිරී ඇත.

හෙළ දස්කම් විදහාපාන ජාතියේ අතීත ශ්‍රී විභූතිය රිටිගල..!
ගල් පාලමක්

පියගැට පෙළේ කෙළවර පිහිටි ගොඩනැඟිලි දෙකෙන් පළමු වැන්නේ ඉදිරියෙන්ම ඇති ශාලාවේ එක ගල්ලෑලක දිග අඩි විසිපහක්වන අතර පළල අඩි තුනහමාරකි. මේවා හොඳින් කපා ඔපමට්ටම් කොට පේකඩ බේරා පෙට්ටියක් මනාව එකට යා කොට තිබේ. දෙවන ගොඩනැඟිල්ල යාර දහයකට උඩින් ඉදිකොට ඇත. ගොඩනැඟිලි දෙකේම සැලැස්ම බොහෝදුරට එක හා සමානය. පසුපස කාමරයට වඩා ඉදිරියෙන් ඇති ශාලාව විශාලය. පසු පස කාමරයට යා කොට ඇති තැනින් දෙපසට පියගැට පේළි දෙකක් වේ. කාමරය පිටුපස ගල් කණු තිබෙන අතර එය මත වහල සෙවිලිකර තිබෙන්නට ඇත.

මීට අමතරව අඩිහතරක් පමණ පළල අඩි හැත්තෑවක් පමණ දිග වේදිකාවක් මත දෙකළවරේ පිහිටා ඇත. මෙය සක්මන් මළුවක් ලෙස දැක්විය හැක.පියගැට පෙළ නැඟ මද දුරක් ගොස් වමට හැරී අඩි පාරක් දිගේ යාර විස්සක් ගමන් කළවිට ගල්පාලම දක්නට ලැබේ. මෙය බන්දා පොකුණට ජලය ගලා ගෙන යන ප්‍රධාන ඇළෙන් එගොඩවීම සඳහා සාදන ලද්දකි.

ගල් පාලම දමා ඇති ඇළ දිගේ ඉහළට ගමන් කරතොත් දක්නට ලැබෙන්නේ අහස වලා පෙළ සිප ගන්නා රිටිගල කඳු ශිඛරයේ සිට එය පහළට ගලාගෙන එන්නක් බවය.

සමහර තැන්වල ද කපාමට්ටම් කළ ගල්ලෑලිවලින් මේ දිය ඇල්ල කොටුකර තිබූ බව පෙනේ. ඇතැම් තැන්වල ගල්පීලි ද තිබේ. මෙය පොකුණක් වශයෙන් පරිහරණ කරන්නට ඇත. වැසි සමයේ සිසිල් දිය දහර ගල්කුළුවල හැපි හැපී සුදු පෙණ පිඬ නඟ නඟා සුන්දර සුලලිත කෝමල ලීලාවෙන් ගලා බස්නා චමත්කාරය රිටිගල කුමාරිය ඔපවත් කරන්නීය. ගල්පාලමෙන් එගොඩ වූ විට විවිධ මාදිලි නොඩනැඟිලි නටබුන් රාශියකි. ඒවා සැතපුම් භාගයක පමණ දුරක විසිර පවතී.

ඉන් ඔබ්බෙහි කටාරම් කෙටූ විශාල ගල්ලෙනකි. ඇතැම් නටබුන් කැලෑවෙන් වැසී ගොසිනි. ලෙන තුළ කුඩා සෙල් පිළිම දෙකක් නිධන් සොරුන් විසින් කඩා දමා ඇත. ගල්ලෙන ඉදිරියේ හාන්සි පුටුවකට සමාන ගල් ආසනයකි. එය පාමුල ගලින් නෙළන කවාකාර පාපිස්නයක් ද ගල් පාත්‍රයක් ද දැකිය හැක.

හෙළ දස්කම් විදහාපාන ජාතියේ අතීත ශ්‍රී විභූතිය රිටිගල..!
පළමු ගොඩනැඟිල්ල

බලන්න ලස්සන රිටිගල කඳු වළලු කිහිපයක් එකට එක්වී සැදුණු විශාල කන්දකි. මෙහි ආඬියා කන්ද, කරඹහින්න, නාඋල්පත, වේවැල්තැන්න යන තැන්වලින් සෙල්ලිපි දහ අටක් සොයාගෙන ඇති බව ශීලා ලේඛන සංග්‍රහයේ සඳහන් අතර එම සෙල්ලිපිවල සඳහන් වන්නේ භික්ෂූන් වහන්සේට ගල්ලෙන් කරවා පූජා කළ බවය. සෙල්ලිපිවල සඳහන් නැති ගල්ලෙන් සිය ගණනක් රිටිගල ඇත.

බුද්ධාගම ලංකාවට ගෙනා මුල් කාල පරිච්ඡේදයේ භික්‍ෂූන් වහන්සේ වඩාත් ප්‍රිය කළේ ආරණ්‍ය සේනාසනවල විසීමටය. ලෞකික ආශාවන්හි කලකිරුණු ලෝකෝත්තර ආර්ය මාර්ගයෙහි ඇළුණු භික්‍ෂූ ජීවිතය සාර්ථක කර ගැනීමට අදහස කළ උතුමන්ට ඒ සඳහා ආරණ්‍ය සේනාසනය මහෝපකාරී විය.

මේ නිසා ලංකාවේ සෑම කඳු ගැටයකම ලෙන් කටාරම් කොටා භික්‍ෂූන්ගේ වාසයට යෝග්‍ය පරිදි සකස් කොට පූජා කිරීම මහ පිංකමක් වශයෙන් රජරට විසූ ශාසන මාමක බෞද්ධයන් කටයුතු කළේය. එය රිටිගල ගෘහ ලිපිවලින් පැහැදිලිවේ.

රිටිගල නටබුන්වල ඇති විශේෂ ලක්‍ෂණයක් නම් ලංකාවේ අනිකුත් පෞරාණික රාජධානිවල මෙන් වාමන රූප, ලියවැල් ආදිය දක්නට නොලැබීමයි.

හෙළ දස්කම් විදහාපාන ජාතියේ අතීත ශ්‍රී විභූතිය රිටිගල..!
හිරු නැමැඳුම් ස්ථානය

එයින් පැහැදිලි වන්නේ රිටිගල නටබුන් අනුරාධපුර යුගයටත් එහා ගිය ඒවා බවය. රටිගල ලෙන් හැත්තෑවක් තිබෙන අතර පූර්ව බ්‍රාහ්මි සෙල්ලිපි තිස් පහක් පුරාවිද්‍යාවෙන් හඳුනාගෙන තිබේ.

එදා මෙදා තුර සිදුවූ සියලු පර සතුරු උවදුරු ඉවසමින් ඉන්ද්‍රඛීලයක්සේ නොසැලි රිටිගල කන්ද අදත් හිටිවනම බලා සිටි. එය මහ රාවණා සේ ප්‍රතාපවත්ය. මහසෝනා සේ ගුප්පතය. අරිට්ඨ කුමරුගේ ගම ය. ඒ නිසාම රිටිගල අරිට්ඨ පබ්බත ද විය.

පස්වලින් ගොඩවී ඇති බන්දා පොකුණ ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇත. පෙර රජ දවසේ තිබුණ පරිදි බන්දා පොකුණ සෑදීමෙන් දේශීය මෙන් විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය ලබාගත හැක. රිටිගල දුටුදේ බිඳකි.

නොදුටු දේ ගොඩකි. විශාල පුරාවස්තු සහ ආරාම කැලෑව ගිලගෙන ඇත. මේවා එළි පෙහෙලිකර සංරක්‍ෂණය කර මතු පරපුරට දායාද කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමකි.

කැකිරාව සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment