කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු නිමල් වෙව්ලා අසනීප වුණා…

400

මියගිය නිමල් සමග විරෝධතාවට ගිය මිතුරා කියයි
අක්කා අසනීපෙන් ඉන්න නිසා මරණය ගැන තවම කිව්වේ නැහැ… මියගිය අයගේ මල්ලී කියයි

මගේ අයියා මෙවර පළාත් පාලන මැතිවරණයටද ඉදිරිපත් වුණා. ඒ ජාතික ජන බලවේගයෙන්. අයියා මියගියා කියා ඔහුගේ බිරිඳ මේ මොහොත වනතෙක් දන්නේ නැති බවත් ඇය අසනීප තත්වයෙන් පසුවෙන බවත් ජාතික ජන බලවේගයේ කොළඹ උද්ඝෝෂණයට සහභාගී වී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබද්දී මියගිය නිමල් අමරසිරි මහතාගේ සොහොයුරා වන ගාමිණී චන්දන මහතා පැවසීය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නිවිතිගල ප්‍රාදේශීය සභාව සඳහා නොරගොල්ල කොට්ඨාසය සඳහා තරග කරන නිමල් අමරසිරි මහතා (60) පුද්ගලික වතු කර්මාන්ත ශාලාවක ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කළ අයෙකි.

නිවිතිගල දෑල උඩඑරබද්ද ප්‍රදේශයේ පදිංචි ඔහුගේ නිවෙස වෙත ඊයේ පස්වරුවේ නිමල් අමරසිරි මහතාගේ මරණය අසා ගම්වාසීන් සහ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් විශාල පිරිසක් එහි පැමිණ සිටියහ.

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු නිමල් වෙව්ලා අසනීප වුණා…

මියගිය නිමල් අමරසිරි මහතාගේ බිරිඳ පද්මශීලි ගුණරත්න මහත්මිය රෝගීව නිවසේ රැඳී සිටී. නිමල් අමරසිරි මහතාගේ එකම පුතු ප්‍රශාන් චාමර අමරසිරි ඩුබායි රාජ්‍යයේ රැකියාවක නිරතව සිටී. ඔහු පියාගේ අභාවය වෙනුවෙන් ලංකාවට පැමිණිමට නියමිතව ඇතැයි නිමල් මහතාගේ සොහොයුරා පැවසීය.

නිමල් අමරසිරි මහතා ගේ බිරිඳ ඊයේ පස්වරුව වනවිටත් දැන සිටියේ තම සැමියා ශ්වසන අපහසුතා මත කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. නිවසට පැමිණි අයටත් ඇය හඬම්න් කිවේ තම සැමියාට ඉක්මනින් සුවය පතන බවය. නිමල් අමරසිරි මහතා සමග ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ නිවිතිගල ක්‍රියාකාරීකයෙකු වන නිමල් විජේතිලක මහතා මෙසේ පැවසීය.

මමයි නිමල් මහතායි දෙන්නාම එකට බස් එකෙන් ගියේ. කොළඹ දී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වුණේ එකට. ප්‍රහාරයෙන් පසු ඔහු ටික දුරක් මා සමග පාගමනින් ඇවිත් සිසිල් බීම එකක් ද බිව්වා. පසුව අනුර කුමාර දිසානායක මහතාගේ කතාවද අසා සිටියා. ඉන්පසු ග්‍රහලෝකාගාරය දෙසට ත්‍රිරෝද රථයකින් ගියා. එහිදී ඔහු වෙව්ලු‍වා. අසනීප වුණා. ඉන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. පසුව නිමල් අමරසිරි මහතා මියගියා.

කහවත්ත සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment