ගී අඹරේ පුරපස සඳ මඬල…

67

ඊයේට (07 දා) යෙදී තිබූ අමරණීය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ 36 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

ජීවිතය ඉතා සරලව හා සැහැල්ලුව සැලකූ මිනිසෙක් නොසිතූ මොහොතක වියෝවී විශ්වය තුරුලේ නිහඬව සැතපෙයි. එහෙත්, ඔහුගේ අපූර්ව කටහඬ විශ්වයේ රිද්ම රේඛා අතරින් මෙපිට මායිමට පැන නිංනාද නංවා දහසක් රසික සිත් අදත් රසානන්දයට පත් කරයි. එච්. ආර්. ජෝතිපාල මරණය තුළ අද ජීවත් වෙන්නේ එපරිද්දෙනි.

ජෝති කවරදාවත් ජීවිතය බැරෑරුම් කොට නොසිතීය. ඔහු සරල රේඛාවක් පුරතිථිය කොට උපන් සඳමඬලක් වැන්න. කලබලයක් නැති අහසක නිසන්සලේ පෑයු දිප්තිමත් පුරා හඳක් සේ වැඩිණි. සඳ දිය සේම “හඳ සොමි ගුණ ගිහිණි” විය. ගී රැස් වතුරෙන් ලොව සිත් සිහිල් කොට නොසිතූ අව තිථි දිනෙක බැස ගියේය.

‘සිරියමෙ සාරා’ ගීතය ගැයූ දා සිට සරුසාර කීර්තිය ඔහුගේ ජීවිත පිල් කඩෙහි ලැගුම් ගත්තේය. ජනානන්දය ඔහුගේ ජීවිත දොරටුව අසල නේවාසික විය. එහෙත්, ජෝති ඒ සියල්ලට උඩින් පැන ඔහුට ආවේණික සරල රේඛාවෙන් හුස්ම ගත්තේය. නිහතමානි නිමල සුවඳ පෙනහලු තුළ පිරී තිබිණි. කීර්තියේ විජිතයෙන් බිමට බැස චාම් මිනිසා වෙසෙන බිම් මහලට පැමිණ පැදුරක් එළා එතැන වාඩිවිය. පොදු මිනිසා හුස්ම ගත් නවාතැන්පොළ ඔහුගේ ජය භූමිය විය. කිසිම ගාන්ධර්වයකුගෙන් ඔහු සිප්සත නොහදාළේය. සංගීතායතනයක හෝඩිය නොකීවේය. එහෙත්, ඕනෑම ස්වර රචනයක නාද රිද්මය ඉවෙන් දැන සිටියේය. මිනිසා උපතින් ගෙනෙන බොහෝ දේට වැඩි යමක් ජෝති මව්කුසින් රැගෙන ආවේය. පොදු මිනිසාගේ හද ගැස්ම හැඳිනීම මව් කුසේදීම ඔහු ලැබූ දායාදයක් විය. ඔහු ගීතයේ රිද්මය මවු කුසේදී උගත්තේය.

ඔහු උපන් නැකැත් තිථිය මේ රටේ මහා සම්ප්‍රදායක් වෙනස් කළේය. මහ කඳු සිඛර පෙරැළෙන්නාසේ සංගීත සම්මතයන් සමතලා විණි. ජෝති ගීයක් ගයනා විට මිහිකතද සෙලැවිණි. එතරම් මියුරු රිද්මයක් ද චලනයක් ද ඔහුගේ කටහඬෙහි විය. ඔහුගේ මුව විටින් ගලා ආ රස රැව් පොදු මිනිසාගේ ක්ෂුද්‍ර ගින්නට ද අහරක් විය.

එය ඔවුන්ගේ ජීවන රිද්මයේ සත්‍ය සලකුණ විය. ජෝතිගේ හඬින් තමන්ගේ ආත්මයේ නිංනාදය නිදහස් ගුවන් කුස තටු සලනු ඔවහු අසා සිටියහ. රිදී තිරය දෙස බලා සිටි සාමාන්‍ය මිනිසාගේ නෙතෙහි නළුවා නොරැදුණත් සවනෙහි ජෝති අමරණීය විය. ජෝතිගේ කමිසයක් හෝ කලිසමක් හෝ මැසූ සාක්කුවේ කැබැලි ඔහුගේ විනෝද හසරැලි අතර නිබඳ විසිර තිබිණ. දකුණතින් සාක්කුවේ නූල් පට ලියා ඒ අතටත් නොදැනෙන සේ ඔහු එය මිතුරනට විවර කළේය. ගීතෝපදේශයේ තිබූ පාඩම ඔහුට වලංගු වූයේ නැත. හිත හොඳකම ඉහට උඩින් ගැලූ විටද ඔහු කළේ ඉවුරට පිහිනීම නොවේ. ඇතිවන තුරු එහිම කිමිද වැඩිම වේලාවක් දිය යට සිටීමේ විනෝද ක්‍රීඩාවට මිත්‍රයකු මාට්ටු කර ගැනීමය.

ආදරයට මෙතරම් ආදරය කළ රසවතකු මගේ ජීවිත කාලය තුළ මට අද වනතුරු හමුවී නැත. ඔමාර් කයියාම් ගැන හෝ කලීල් ජීබ්රාන් ගැන හෝ ජෝති නොදැන සිටිය ද ප්‍රේමයත් ගීතයත් මීවිතත් තුන් කල් දක්නා ඉසිවර නුවණින් ඔහු දැන හැඳින සිටියේය.

ඔහු ප්‍රේමයේ පාඩමට ගීතයෙන් අත්පොත් තැබී යැයි සිතමි. ප්‍රේමය කුසුමක් නෙළා සුවඳ විඳින්නට පෙර තම හද එයට පුදසුනක් කළේය. කුසුම නෙළා හිස මත තබා බුහුමන් දී ඉන්පසු සුවඳ වින්දේය. බඹරු ගුම් නදින් ගුල්ම පහන් ගැබ සොයනු වෙුනවට කුසුම් සුවඳ සලා භෘංගයා සොයා ඒමේ යෝගය ජෝතිගේ හතර කේන්දරයේම පොදු ලක්ෂණය විය. සුරතුර දිනු දෑතින්ම ඔහු සුරකත් සුව වින්දේය.

අමයුරු පහස ලද තමා ගැන ඔහු කිසිවක් නොසැඟවීය. අනංගයා මං කීවත් ඔහු අනංගයාටත් වඩා අසාමාන්‍ය විය.

කවර අපේක්ෂාවක් බිඳ වැටුණ ද ඔහු ඒ ගැන කිසිදා නොතැකුවේය. ඔහුට අපේක්ෂා වශයෙන් යමක් ජීවිතයේහි ඉතිරිව නොතිබිණි. එක් රැයකදී ඉපැයූ මුදල එක පැයකදී වියදම් කළේය. එක පැයකදී හම්බකරගත් සියල්ල එක් රැයකදී පූජා කළේය. ජෝති ජෝතිටම මිස වෙනකකු හා සමකළ නොහැකි මෙලොව බිහිවූ අපූර්වම පුද්ගලයාය.

වියත් පඬි බස නොදත් නිසාත් බොහෝ පඬිවරුන් ළඟින් ඇසුරු නොකළ නිසාත් මැරෙන තුරාම නිර්ව්‍යාජ මිනිසකු ලෙස ජීවත් වීමට ඔහුට හැකිවිය.

ඇතැම් රැයකදි රුපියල් විසි තිස් දහස ඉපැයූ මේ අරුම පුදුම මිනිසා මාලිගාවත්තේ මහල් නිවාසයක පහළ පඩිය මත වාඩිවී බත්පත පාඩුවේ ලිහාගෙන කෑවේය. වස්ත්‍රයක් පතා ආ දුගියාට තම ඉණවට තුවාය දවටා ඇඳි වත ගලවා දුන්නේය. අන්තිම රුපියල් පහට ගෙනා ටොපි අහුර පඩි පෙළ පාමුල දරු කැලට බෙදා දී ඔවුන්ගේ හුරතලය විඳ ඔවුන් එළා දුන් පැදුරේ වාඩිවී සින්දුවක් කීවේය.

තමාගේ වටිනාකම ජෝති දැන සිටියත් මිත්‍ර සත්තතාවයට ඔහු එයට වැඩි වටිනාකමක් දුන්නේය. මිත්‍ර සමාගමේ ඇසුර ප්‍රිය කළේය. ඔහු මිතුරනට දුක සැප දෙකෙහිම පැවැති මිතුරු තුමෝ වූහ. උගුර අස්සේ වචන හංගා තලු මැරීම ඔහුට ප්‍රිය නොවීය. ගායනයෙහිදී මෙන්ම කතාවේදීත් එය එසේම විය. විවර සිත සිතු දෑ මුවද විවර කොට ගඟක් සේ ගලන්නට ඉඩ හසර සැලසීය.

ජෝතිගේ සිරුර දැවුණ දින කම්පාවට පත් රසිකයන්ගේ කඳුළින් කනත්ත දෙගොඩ තළා ගියේය. ඔහුගේ සිරුර විශ්වය හා එක්වූ මොහොතේ ඇති වූ චලනය කනත්තේ එක් පදාසයක කැටපත් විය. හෙළ ගාන්ධර්ව ලෝකයේ වැළලී ගිය බොහෝදෙනා මෙන් නොව ජෝති දවා හළුවූ ගින්න නිවීගිය පසු වඩාත්ම දිදුළු දෙන ගී තරුව බවට පත් විය.

මරණය තුළ ඔහු ජීවමාන වෙයි. මරණය තුළ මේ අන්දමින් ජීවමාන වූ වෙනත් කලා ශිල්පියකු ගැන නොදනිමි.

ගී අඹරේ පුරපස සඳ මඬල…

ධර්මසිරි ගමගේ

එදා ලියූ ලිපියක නැවත පළ කිරීමකි මේ.

advertistmentadvertistment
advertistmentadvertistment