නිල නිවාස කතාවට මනූෂ – චන්න පැටළෙති

222

මෙයා දොස්තර කෙනෙක්ද? – මනූෂ
පරිණාමය නොවුණු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා – චන්න ජයසුමන

තමන් තවමත් රජයේ නිල නිවසක රැඳී සිටීම සම්බන්ධයෙන් මතු වූ තත්ත්වයක් සම්බන්ධයෙන් මන්ත්‍රී චන්න ජයසුමන මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේ දී විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

එහිදී ඔහු සමග ඇමැති මනූෂ නානායක්කාර එකඟ නොවීම හේතුවෙන් ජයසුමන මහතාගේ එම විශේෂ ප්‍රකාශයෙන් පසුව දෙදෙනා අතර උණුසුම් කතාබහක් ඇති විය. එය පහත පරිදිය.

මනූෂ නානායක්කාර මහතා- රජයේ නිල නිවසක් ඇමැතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙක් විදිහට ලැබුණම ඒ නිවස තනතුර ඉවරවුණාම නැවත භාර දිය යුතුයි. ඒ වගේ භාර නොදී අවභාවිත කිරීම තමයි අද මැති ඇමැතිවරන්ට තිබෙන බරපතළ චෝදනාව. ඇමැතිකම නැති වූ පසුවත් රැඳිලා ඉන්න එක මුළු රටේ ජනතාවගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. මන්ත්‍රීවරයෙක් විදිහට ආණ්ඩුවේ ගෙදරක රැඳිලා ඉන්න එක ලැජ්ජයි. ඒක මාධ්‍ය මගින් කියන්න ඕනා තමයි. මේවා නිවැරදි වෙන්න ඕනා වැරදි.

චන්න ජයසුමන මහතා- මේක වුණේ මගේ ගේ ගිනි තිබ්බට පසුව වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සිදුවීමේදීයි. මම ආණ්ඩුවේ සිට විපක්ෂයට ආ නිසා තමයි මාව නොසලකා හැරියේ. ඒ වගේම ඔය නිවස මම හැමදාම ඉන්න නොවෙයි ඉල්ලන්නේ. මට අසාධාරණයක් වුණා කියලා මානව හිමිකම් කොමිසමෙන් තීන්දුවකුත් ලබා දීලා තිබෙනවානේ. එහෙනම් මේ නිවසට මගෙන් කුලිය ගත්තේ ඇයි. මම සියලුම බිල් ගෙව්වා. මේ ගැන අධිකරණයේ විභාගවෙන නඩුවක් තිබෙනවා. ඒ නිසා ඒ වැරදි අවබෝධයක් ඇති කරවන්න එපා.

මනූෂ නානායක්කාර මහතා- මම හිතුවේ පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නෑ කියලා. බලනකොට මේකා දොස්තර කෙනෙක් නොවෙයි පිස්සෙක්. නැත්නම් තොප්පිය ඔළුවේ දාගන්නේ නෑනේ.

චන්න ජයසුමන මහතා- මානව පරිමාණයේදී මිනිසාට කටට උඩින් ඔළුවක් පිහිටලා පරිණාමය වෙලා තිබෙන්නේ මොළය පාවිච්චි කරලා කතා කරන්න. නිසි විදිහට පරිණාමය නොවුණු පුද්ගලයෝ මේ පාර්ලිමේන්තුවේ හිටියාට මට කරන්න දෙයක් නෑ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment