පොලිස්පති නැතිව දුවන පොලිසිය!

153

ව්‍යවස්ථාදායක සභාවට නම එවන තෙක් ඉන්න එපා -ඩලස්

ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කරන්න ඕනෑ -සජිත්

පැය 48කට පෙර පත් කරනවා-අගමැති දිනේෂ්

නව පොලිස්පති පත් කිරීම ඉතා ඉක්මනින් ඉදිරි පැය ගණනාව තුළ සිදු වනු ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) සඳහන් කළේය. අගමැතිවරයා මෙම අදහස් පළ කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් විසින් නව පොලිස්පතිවරයකු මෙතෙක් පත් නොකිරීම සම්බන්ධයෙන් ඊයේ නගන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී ඇති වූ සංවාදය මෙසේය-

ඩලස් අලහප්පෙරුම මහතා – අද දිනය උදාවෙන්නේ දින 12ක් මේ රටේ පොලිස්පතිවරයෙක් නැතුව. මේ පසුගිය දින කිහිපය වාර්තා වෙන්නේ සාමූහික ඝාතන සහ ඝාතන ප්‍රයත්නයන් වැඩි වශයෙන් වූ කාල වකවානුවක් ලෙසයි. මෙවැනි සංකීර්ණ කාලයකදීත් ඇයි පොලිස්පතිවරයෙක් තවමත් පත් නොකර ඉන්නේ. ජනාධිපතිතුමා ව්‍යවස්ථාදායක සභාවට නම එවන තෙක් ඉන්නේ නැතුව ඉදිරි පැය 48 තුළදීවත් අගමැතිතුමා ජනාධිපතිතුමාගෙන් අහලා හරි මේ ගැන පියවරක් ගන්න.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා-

පොලිස්පතිතුමාගේ විශ්‍රාම යෑම සිදුවීමෙන් පස්සේ පොලිස්පතිතුමාට සේවා දිගු කිරීමක් ජනාධිපතිතුමා දුන්නා. ඒ දිගු කිරීම දැන් හමාර වී පොලිස්පති ධුරය පිළිබඳ ජනාධිපතිතුමා ඒ තීරණය දැනුම් දීම අදාළ බලධාරීන් වෙත කිරීමට කටයුතු කරනවා. ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ජනාධිපතිතුමා නම් කරනු ලබයි. ඒ අනුව ඒ පත් කිරීම ඉතාම ඉක්මනින් වේවි. ඔබතුමා කියන පැය 48ට ඉස්සර වෙන්නත් පුළුවන්. ඒ ගැන කලබල තත්ත්වයක් නෑ. දැනට පොලිසිය රට පුරා ඇති සේවාව පිළිබඳ අවශ්‍ය සියලු කටයුතු ඒ දිස්ත්‍රික්ක ප්‍රධාන ඩීඅයිජී ලා විසින් කරගෙන යනවා. නමුත් පොලිස්පතිතුමා පත්කිරීම ඔබතුමා කියපු පරිදි ඉතාමත් ඉක්මනින් ඉදිරි පැය ගණනාව තුළ සිදුවෙයි.

සජිත් ප්‍රේමදාස මහතා – ඉතා ඉක්මනින් පොලිස්පති පත් කරනවා කිව්වා. නමුත් ඒ පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවෙන් එය අනුමක කරන්න ඕනෑ. ව්‍යවස්ථාදායක සභාව ලබන සතියේ රැස්වෙන්නෙත් නෑ. ඊළඟ සතියේ තමයි රැස්වෙන්නේ. එතකොට මේ ප්‍රමාදය තවත් කල් යනවා. පොලිස්පති කෙනෙක් නැතුව තමයි මේ රජය කටයුතු කරන්නේ. අද බලන්න මත්ද්‍රව්‍ය ජාවාරමක් වෙනවා. ඒ වගේම මදුරුවෝ මරනවා වගේ මිනිස්සු මරනවා. ඒ නිසා මේවාට පිළියම් අවශ්‍යයි.

ඩලස් අලහප්පෙරුම මහතා – මේ රටේ පොලිසිපති පත් කිරීම ගැන කවදාවත් නොවූ දෙයක් තමයි මේ සිදු වන්නේ. මේක බරපතළ ප්‍රශ්නයක්. නීතිය නොසලකා හැරීමේ කටයුත්තක් මේක.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment