සසර ස්වභාවය අවබෝධ කර ගනිමු

226

“ගබ්භමෙතේ උප්පජ්ජන්ති
 නිරයං පාප කම්මිනෝ
 සග්ගං සුගතිනෝ යන්තී
 පරිනිබ්බන්ති අනාසවා”

 “ධම්මකාමෝ සුඛංසේති – ධම්ම දෙස්සී පරාතං යන උතුම් බුද්ධ අවවාදයට අනුව ධර්මයෙහි හැසිරෙන්නා සැප ලබන අතර ධර්ම ද්වේශ කරන්නා පිරිහෙන බව දක්වා ඇත. ඒ අනුව බෞද්ධයාගේ අත්පොත වන ධම්ම පදයෙන් පාප වග්ගයට අයත් ඉහත සඳහන් ගාථාවෙන් කියවෙන අරුත අප සියලු දෙනාගේම දෙලොව දිවියට අතිශයින් වැදගත් වනු ඇත. එමගින් පෙන්වා දෙන්නේ සත්ත්වයාගේ සසර ස්වභාවයයි. එහි ගාථාර්ථයක ‘සමහර සත්ත්වයෝ මව් කුස තුළ උපදී පව් කරන්නෝ නිරයට යති. පින් කරන්නෝ සුගතියට යන අතර කෙළෙස් නැත්තෝ පිරිනිවීම හෙවත් සසර දුකින් එතෙර වෙති” යනුවෙනි.

 සැවත් නුවරට නුදුරු ගමක ඉතා දක්ෂ මැණික් කපන ශිල්පියෙක් වූ අතර හෙතෙම අතිශයින් සැදැහැතිය. ඔහුගේ අඹුදරුවන්ද එලෙස ක්‍රියා කළ අතර තිස්ස නම් මහ රහතන් වහන්සේ දොළොස් වසරක්ම දන් වළඳනු ලැබුවේ මැණික් කපන පුද්ගලයාගේ නිවසෙනි. සියලු උපස්ථානයද එහිම කළ අතර බොහෝ ශ්‍රද්ධාවෙන් මොවුන් ක්‍රියා කළ නිසාම පසුකාලීනව තිස්ස මහතෙරුන් හඳුන්වනු ලැබුවේ ‘මණිකාර කුලුපගතිස්ස’ යන අන්වර්ථ නාමයෙනි.

 දිනක් උන්වහන්සේ පිණ්ඩපාතය සඳහා වැඩම කරන විට මැණික්කරු යම් මස් වර්ගයක් කපමින් සිටියේය. එම අවස්ථාවේදීම පසේ නදි කොසොල් මහරජතුමා ඉතා වටිනා මැණිකක් ඔප දමාගෙන එන ලෙස සේවකයෙක් මොහුගේ නිවසට පිටත් කර හැරියේය. එම අවස්ථාවේදී ලේ තැවුරුණු අතින් මැණික ලබාගත් හෙතෙම එය අසල ස්ථානයක තබා මස් කපන්නට විය. එය දුටු නිවසෙහි සුරතලයට ඇති දැඩි කරන කොස්වා ලිහිණියා එතැනට පැමිණ ලේ වහනය දැනුන සැණින් මැණික ගිල දමන්නට වූයේය. මස් කපා අවසන්කොට මැණික තැබූ ස්ථානය පරීක්‍ෂා කොට බලනවිට එය නොදුටු මැණික් කරු බොහෝ සෙයින් නොසන්සුන්ව මැණික සොයන්නට වූ අතර තම නිවසෙහි වැඩ විසූ මහරහතන් වහන්සේගෙන්ද එය දුටුවේ දැයි විමසීය. නිශ්ශබ්දව පසුවූ උන්වහන්සේ පිළිබඳ දැඩි සේ උරණවූ මොහු අඹුදරුවන්ගේ පවා දැඩි විරෝධය මැද කඹයක් ගෙන තෙරුන්ගේ හිස වටා ඔතා අතිශයින් ග්‍රහණය දැඩි කොට වධ වේදනා දෙන්නට විය. එවිට දෑස් කන් නාසාවලින් ලේ වහනය වන්නට විය. එය දුටු ලිහිණියා ලේ බීමට සැරසුණු විට දැඩි කෝපයෙන් පසුව මැණික්කරුගේ පා පහරකට ගොදුරු වූ කොස්වා ලිහිණියා මැරී වැටුණේය. එය දුටු මහ තෙරුන් මැණික් කරුට පවසන්නේ ලිහිණියාගේ කුසෙහි මැණික තිබේදැයි බලන ලෙසය. කුස පලා බලන විට මැණික දුටු හෙතෙම බෙහෙවින් දුකට වේදනාවට හා පසුතැවීමට පත්ව හිස වට ඔතා තිබූ බැමි ඉවත්කොට මහරහතන් වහන්සේගේ දෙපා නැමද සමාව අයැද තුවාල සඳහා බෙහෙත්ද ආලේප කළේය. එහෙත් උන්වහන්සේ සුළු වෙලාවකට පසු පිරිනිවන් පා වදාළහ.

 මෙම සිදුවීම මුල්කොට ගෙන දම් සභා මණ්ඩපයේදී ඇතිවූ විමසීමකදී තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ ඉහත ගාථා ධර්මයට අනුව සසර සත්ත්වයාගේ උපත පිළිබඳවයි. උපදිමින් මැරෙමින් යන මේ සංසාරික දිවි මගෙයි පිරිසක් එලෙසම ඉපදීම හා මරණය සිදුවන අතර පින් කළ පුද්ගලයන් උසස් සැපවත් ආත්ම භාව ලබති. අකුසල් සිදු කළ තැනත්තන් සසර අපාගත වී බොහෝ දුක් වේදනා විඳින බවත් සියලු කෙළෙස් නැති කළ උතුමන් නැවත නැවත ඉපදීම හා මරණය දුරුකොට ගනිමින් ‘නිවන’ පසක් කර ගන්නා බව ඉහත ගාථා ධර්මයෙන් බුදු රදුන් ධර්මය දේශනා කොට වදාළහ.

 මෙමගින් පෙන්වා දෙන්නේ මෙම බියකරු සසරෙහි ස්වභාවයයි. ‘දුල්ලභඤ්ච මනුස්සත්ථං” දුර්ලබ මිනිසත් බව ලද අප හැම දෙනාම මෙකී යථාර්ථය හැම විටම අවබෝධ කරගත යුතුය. තණ්හාව, වෛරය, ක්‍රෝධය හා මානය ආදී අකුසල චේතනාවන් ඔස්සේ ගමන් කරන සසර සත්ත්වයා කුසල ධර්මයන් තුළින් යහපත් චේතනාවන් උද්දීපනය කර ගනිමින් මෙම සසර ස්වභාවය මනාව අවබෝධ කර ගැනීම බෙහෙවින් වැදගත් වනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි ප්‍රඥාවයි. දහම තුළින් අමාමෑණි තථාගත බුදු හිමියන් පෙන්වා වදාළේ එකී ප්‍රඥාවේ මාර්ගයයි. මෙම බියකරු සසර ගමන පිළිබඳ මැනවින් අවබෝධ කරගෙන නිවන පසක් කර ගැනීම උදෙසා අප සැවොම ක්‍රියා කිරීමට අදිටන් කර ගනිමු. එයට අවැසි නුවණ ඔබ සැමට ලැබේවායි පතන්නෙමු.

ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙණේ ආචාර්ය දර්ශනපති
 කනංකේ විජිත නන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment