ඩයනාගේ පාස්පෝට් මුල් ලිපිගොනු අතුරුදන්

1595

ඩයනාගේ නඩුව අතරේ නීතිඥයෝ පැටලෙති නීතිඥයන් තමන්ගේ තරම දැනගෙන හැසිරෙන්න
– ප්‍රධාන මහෙස්ත්‍රාත් අවවාද කරයි

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාරදි ඇති ලේඛන අස්ථාන ගතවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කළ යුතු වන්නේ යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (02දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවසීය.

වර්තමානයේ සිදුවනුයේ එවැනි ක්‍රියාවන් බව පැවසූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඩයනා ගමගේ මහත්මිය විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබාදී ඇති උප්පැන්න සහතික ඇතුළු ලේඛනවල මුල් පිටපත් නැතත් ස්කෑන් කළ ලේඛන ඇති බැවින් ඇයට එරෙහි නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නැතැයි ද පැවසීය.

1980 වසරේදී පමණ වෙනත් නමකින් විදේශ ගතවී ඇති ඇය පසුව බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙස බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඩයනා ගමගේ නමින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඇය ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ දැයි නිශ්චිතව අනාවරණය කරගත හැක්කේ බි්‍රතාන්‍යයේ පිහිටි බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයෙන් ලැබෙන ලේඛන පදනම්ව බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි නීතිඥ චානක සිල්වා මහතා අධිකරණයට පැවසීය.

ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ බි්‍රතාන්‍ය පුරවැසිභාවය ඉවත්කර ගෙන බවට හා ඊට පසු යළි ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවට ඇය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කුමක් අනාවරණය වී ඇති දැයි විමර්ශන නිලධාරීන් ගෙන් විමසූ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇය සැබෑවටම බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බව අනාවරණය වූයේ දැයි ද විමසා සිටියේය.

ඇයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් තම අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්තට සහාය ලබාදීම සඳහා නීතිපතිවරයා වෙනුවෙන් නීතිඥ නියෝජනයක් ලබා ගැනීමට සුදුසු බවට නිගමනය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරි නඩු දිනයේදී ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත දන්වා යැවීමට ද නියෝග කළේය. එකී විමර්ශනයේදී ඩයනා ගමගේ මහත්මියගෙන් ලබාගත් ප්‍රකාශවල හා සෙසු සාක්‍ෂිකරුවන්ගෙන් ලබාගත් ප්‍රකාශවල සම්පූර්ණ සාක්‍ෂි සටහන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව නිරීක්‍ෂණය වූයේ යැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 2021 වසරේ අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව මගින් කියා දී ඇති බැවින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් කරන්නැයි පැමිණිලිකාර ඕෂල ලක්මාල් හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මුල් පැමිණිලිකරුගේ නීතිඥවරයා කළ එම ඉල්ලීමට ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විරෝධතාවය දැක්වූ අතර එහි දී එම ජනාධිපති නීතිඥවරයා හා නීතිඥ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි ගුණරත්න වන්නියාක මහතා හා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිත ගුණසේකර යන මහත්වරුන් අතර උණුසුම් කතාබහක් ඇති විය. කුමන තරාතිරමක නීතිඥවරයෙකු වුවද නීතිඥවරුන් තමන්ගේ තරම දැනගෙන නීතිඥවරුන් ලෙස හැසිරීමට වගබලා ගන්නා ලෙසට අවවාද කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නඩු කටයුත්ත කැඳවීම පසුවට කල් තැබීමට නියෝග කළේය.

ඇයගේ විදේශ ගමන් බලපත්‍ර විමර්ශන කටයුතු සඳහා භාරදෙන ලෙසට දැනුම් දී ඇතත් මේ දක්වා ඒ අනුව ඩයනා ගමගේ මහත්මිය කටයුතු කර නැතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පැවසීය. දැනුම් දී තිබියදී සැකකාරිය ඇගේ විදේශ ගමන් බලපත්‍ර විමර්ශන නිලධාරීන්ට භාර නොදීම විමර්ශනවලට සිදුකරන බාධාවක් නොවේ දැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එහිදී විමර්ශන නිලධාරීන්ගෙන් විමසූ අතර ඇගේ එම ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී අධිකරණයෙන් සුදුසු නියෝගයක් ඉල්ලා සිටින බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. එම නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment