කුරුන්දි හා තිරියායට අක්කර 5000ක් ඇයි- ජනපතිගෙන් විද්වත් කමිටුවක්

607

පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් යැයි කියමින් මුලතිව් කුරුන්දි විහාරයට හා ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 5000ක භූමි ප්‍රදේශයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කර වාර්තා කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

මුලතිව් කුරුන්දි විහාරයට අක්කර 3000ක භූමි ප්‍රමාණයක් ද ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 2000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ඉඩම් දෙපාර්තමේන්තුවට හා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම්වලින් මේසා විශාල ඉඩම් ප්‍රමාණයක් පුරා විද්‍යා භූමි බව කියමින් ඉල්ලා සිටීමේ පදනම කුමක්දැයි වහාම සොයා බලන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලයේ පිහිටුවන ලද පුරාවිද්‍යා ජනාධිපති කාර්ය සාධක බළකාය මගින් මෙම භූමි ප්‍රමාණය වෙන් කර ඇති අතර ඒ භූමි ප්‍රමාණය පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන්කළ යුතු බවට කාර්ය සාධක බළකාය මගින් නිගමනය කර තිබේ.

බෞද්ධ මූලස්ථානය ලෙස සැලකෙන අනුරාධපුර මහා විහාරයට හෝ ජල උද්‍යාන වැව් පොකුණු සහිත සුවිශේෂී ශිෂ්ටාචාරයකට උරුමකම් කියන සීගිරියටවත් නැති ඉඩම් ප්‍රමාණයක් මෙලෙස කුරුන්දි විහාරයට හා තිරියාය විහාරයට ඉල්ලා සිටින බවත්, ඒ මන්දැයි විද්‍යානුකූල දත්ත, සාක්ෂි සහිතව සොයා බැලීමට මෙම කමිටුව පත් කළ බවත් ජනාධිපතිවරයා කියා ඇත.

අනුරාධපුර රාජධානියේ වෛතුල්‍යවාදීන් සිටි ප්‍රදේශත් මහා විහාරයට අයිති යැයි සිතා ඇතැමුන් ප්‍රකාශ නිකුත් කරන බවත් එබැවින් මහා විහාරයට අයත්ව තිබූ භූමිය ද නිශ්චිතව ගවේෂණය කර හෙළි කරන්නැයි විද්වත් කමිටුවට දැනුම් දෙන ලෙසත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

මුලතිව් කුරුන්දි විහාරයට හා ත්‍රිකුණාමලය තිරියාය විහාරයට රජයේ ඉඩම් මෙතරම් ප්‍රමාණයක් ඉල්ලා සිටින්නේ කුමන පදනමකින්ද? මෙම විහාරස්ථාන සතුව සැබෑ ලෙසම මෙතරම් භූමි ප්‍රමාණයක් පැවති බවට පුරාවිද්‍යා සාක්ෂි තිබේද යන්න සොයා බලා වහාම වාර්තා කිරීම ද ජනාධිපතිවරයා විසින් පත් කරන අදාළ කමිටුවේ වගකීමක් වනු ඇත.

ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී කුරුන්දි විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සහ ඉන් පසුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීමත් සමඟ මතුවූ මත ගැටුම විසඳා සත්‍ය කුමක්දැයි හෙළිදරව් කිරීම ද විද්වත් කමිටුව පත් කිරීමේ තවත් අරමුණක් වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (17 දා) යුරෝපා සංචාරයකට සහභාගි වීමට නියමිත අතර ඊට පෙර මෙම කමිටුව පත් කරනු ඇතැයි වාර්තා වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment