ගෝඨාභය වැරැදියි – භාරත ඝාතන නඩුවේ වැරදිකරුට දුන් පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

1014

පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා – ශ්‍රේෂ්ඨාධිකරණය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර ආර්. දුමින්ද සිල්වා මහතාට විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබියදීත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොදු සමාවක් ලබාදී ඇත්තේ නීත්‍යානුකූල ක්‍රියාදාමය අනුගමනය නොකර බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පොදු සමාව බලරහිත කරමින් ඊයේ (17 දා) නියෝගයක් නිකුත් කළේය.

හිටපු ජනාධිපතිවරයා එම පොදු සමාව ලබාදී ඇත්තේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් නොවන බවට ඒකමතිකව නිගමනය කළ ප්‍රීතිපද්මන් සූරසේන, ගාමිණී අමරසේකර හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එමඟින් සුමනා ප්‍රේමචන්ද්‍ර හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළහ. විත්තිකාර ආර්. දුමින්ද සිල්වා මහතා සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද විනිසුරු මඬුල්ල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළහ.

2011.10.08 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙමින් තිබියදී හිඹුටාන ප්‍රදේශයේදී ඇති වූ ගැටුමකදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනකු වෙඩි ප්‍රහාරවලට ලක්ව මියගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විමර්ශන උධෘත සලකා බැලූ නීතිපතිවරයා ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ 2015.02.27 අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබිණි. එම නඩුව විභාග කළ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු පද්මිණි එන් රණවක මහත්මිය හා එම්. සී. බී. එස්. මොරායස් මහතා තීන්දුවක් නිකුත්කරමින් ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු පස්දෙනකුට මරණ දඬුවම නියම කළ අතර සෙසු විත්තිකරුවන් අටදෙනා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබිණි. එම විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ ශිරාන් ගුණරත්න මහතා වෙනම තීන්දුවක් නිකුත්කරමින් විත්තිකරුවන් 13 දෙනා සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවට නිගමනය කර තිබිණි.

එකී දණ්ඩන තීන්දුවට එරෙහිව ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකු ගොනු කර තිබූ අභියාචනා සලකා බැලූ එවකට අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ ප්‍රියසාද් ඩෙෆ් මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් 2018.10.11 වැනිදා ඒකමතිකව තීන්දුවක් ලබාදෙමින් මහාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව තහවුරු කර තිබිණි. කෙසේ නමුත් ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවෙන් මරණ දඬුවම නියම කර තිබූ පොලිස් කොස්තාපල් අනුර තුෂාර ද මෙල් එකී දඬුවමින් නිදොස් කොට නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබාදී වසර දෙකකුත් මාස අටක් හා දින 13 කට පසුව එනම් 2021.07.24 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස ආර්. දුමින්ද සිල්වා මහතාට පොදු සමාවක් ලබාදී මුදාහැර තිබිණි. එකී, පොදු සමාව අභියෝගයට ලක්කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා නීතිඥ ගසාලි හුසේන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර තිබිණි. එම පෙත්සම් සලකා බැලූ ප්‍රිති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් 2022.05.31 වැනිදා නියෝගයක් නිකුත්කරමින් ආර්. දුමින්ද සිල්වා මහතා වහාම බන්ධනාගාර භාරයට පත්කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කොට තිබිණි. එකී නියෝගය නිකුත්කරන විටත් ආර්. දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වී තිබූ අතර ඔහු මේ දක්වා බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටිමින් ප්‍රතිකාර ලබාගන්නා බව ද අනාවරණය විය. එකී පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියක් මගින් ප්‍රධාන කරුණු හතරක් පෙන්වාදී ඇතත් ඒවා තම අධිකරණයට පිළිගත නොහැකි වන්නේ යැයි ද සිය තීන්දුව මගින් විනිසුරු මඬුල්ල පෙන්වාදී තිබිණි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) ව්‍යවස්ථාව අනුව අධිකරණයක් විසින් දඬුවම් නියම කරනු ලබන කුමන හෝ චූදිතයකු සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් දීමට ජනාධිපතිවරයාට බලය ඇතත් ඒ සඳහා නීතියෙන් නියම කර ඇති නිසි ක්‍රියාදාමය අනුගමනය කළ යුත්තේ යැයි ද සිය තීන්දුව මගින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල තම අධිකරණය හමුවට සියලු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ ලේඛන හා කළ කරුණු දැක්වීම් අනුව හිටපු ජනාධිපතිවරයා එකී ක්‍රියාදාමය අනුගමනය නොකර ඔහුගේ කැමැත්ත අනුව අත්තනෝමතිකව හා අහේතුක ආකාරයෙන් කටයුතු කර ඇති බව පෙනී යන්නේ යැයි තීන්දුව මගින් පෙන්වා දුන්හ. නීතිඥ දුමින්ද විජේරත්න, ජෙනගන් සුන්දුමුර්ති, නීතිඥ ෂෙහාන් චාමික සිල්වා යන මහත්වරුන් සමග නීතිඥ කුරුප්පුආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා පෙත්සම්කාර සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටියේය. නීතිඥ සුරේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන්, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කනගඊෂ්වරම් යන මහත්වරුන් සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා හා ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ආර්. දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment