කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැහැ

203

ජනාධිපති ලේකම් එල්ලාවල මේධානන්ද හිමියන්ට ලිපියකින් දන්වයි

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැතැයි ජනාධිපති ලේකම්වරයා පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිළි කරදී තිබේ.

පසුගිය ජුනි 08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු දැක්වීමක් සිදුකර තිබිණි.

එම ලිපිය මගින් කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් මහජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මගින් දැනගත් බවත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් ඇති බවත්, එබැවින් රජයේ ඉඩම් බෙදාදීම නුසුදුසු බවත් ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් දන්වා තිබිණි. දැනට රජයෙන් ඉඩම් බෙදා දුන්නද නුදුන්නද වැරදි ලෙස බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති බව දක්නට ඇති බවත් එබැවින් මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් උන්වහන්සේ අදාළ ලිපිය මගින් වැඩිදුරටත් කරුණු සඳහන් කර ඇත. මෙම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත කරුණු පැහැදිළි කරමින් 2023 ජුනි මස 15 දින ලිපියක් මගින් පැහැදිලි කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment