මහවැලි ඒ සහ බී කලාප සංවර්ධනය කර ජනතාවට ප්‍රතිලාභ ලබාදෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

35

ගාමිණී දිසානායක චරිතය දේශපාලන පූර්වාදර්ශයක් – හිටපු කථානායක කරු ජයසූරිය

රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින් එදා ගාමිණී දිසානායක මැතිතුමා මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මැතිතුමාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ඉකුත් 20 වැනිදා පස්වරුවේ එක්වෙමිනි.

උත්සවය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එම පිළිරුව අභියසදී පැවැත්විණි.

ගාමිණී දිසානායක මහතා පිළිබඳ අතීත මතකය මෙහිදී ආවර්ජනය කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගාමිණී දිසානායක මැතිතුමාගේ කැපවීම සියලුදෙනාට ආදර්ශයක් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගාමිණී දිසානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරිණි.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ජන්ම දින සැමරුම් උත්සවයේ කටයුතු අරම්භ වූ අතර ශ්‍යාමෝපාලිවංශික මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක, වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ විහාරාධිපති, එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නායක හිමිපාණන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

රට වෙනුවෙන් දිවිපිදූ සියලු වීරෝධාර රණවිරුවන් සහ 1994 ඔක්තෝබර් 23 වැනි දින ගාමිණී දිසානායක මැතිතුමා සමග තොටලඟ ඛේදවාචකයට මුහුණ දෙමින් මියගිය සියලුදෙනා සහ ජාතික නායකයන් මෙන්ම ගාමිණී දිසානායක පදනමේ නිර්මාතෘ අභාවප්‍රාප්ත අධිනීතිඥ ශ්‍රීමා දිසානායක මැතිනිය ඇතුළු සියලුදෙනා සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

උත්සවයේ පිළිගැනීමේ කථාව ගාමිණී දිසානායක පදනමේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා විසින් සිදු කළේය.

මහවැලි ඒ සහ බී කලාප සංවර්ධනය කර ජනතාවට ප්‍රතිලාභ ලබාදෙනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ ගාමිණී දිසානායක චරිතය දේශපාලන පූර්වාදර්ශයක් බවයි. එතුමා ජනාදරයට පත් වූයේ ජනතාවට සේවය කරමින් බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා එතුමාගේ නිවැරදි කළමනාකරණය ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයකට නතු කිරීමට හැකි වූ බවද සඳහන් කළේය.

ගාමිණී දිසානායක පදනමේ සභාපති සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ක්‍රමය රටට ගැළපෙන බව තම පියාණන් සෑමවිටම ප්‍රකාශ කළ බවයි. ඉදිරියේදීත් තමන් බලාපොරොත්තු වන්නේ මධ්‍යස්ථ දක්ෂිණාංශික ව්‍යාපාරයක් බව පැවසූ ඒ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී එවැනි නායකයෙක් ජනතාව විසින් තෝරාපත් කරගනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment